නීපාරක්ෂක තුවා පිළිබඳව කතිකාවත ඔස්සේ අප මැන ගත යුත්තේ මිනිසුන්ගේ ඡන්දය පිළිබඳව නොව, ඔවුන්ගේ නිවෙස් වල ජීවත් වන කාන්තාවන් ගෙවනා ජීවිතවල ඇති දුක්ඛිතභාවයයි!

ඡන්ද පොරොන්දු පිළිබඳව වඩා බරපතලව නොසිතා හිඳීමට මෙරට මිනිසුන් හට දැන් පුරුදුය. ඒ නිසාවෙන්ම එක් අපේක්ෂකයකු නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා කියූ පමණින් ප්‍රීතියෙන් උදම් අනන්නට තරම් මෙරට ගැහැනුන් මෝඩ නැත. එහෙත් ඒ ඡන්ද පොරොන්දුවත් සමඟම ඇති වූ කතිකාවතේදී විරුද්ධ පාක්ෂිකයින් විසින් අවඥාවට ලක් කරමින්, හිනැහෙන සහ පහත හෙලනා සියලු ගැහැනුන් අතර ඔවුන්ගේ මව්වරු,සොයුරියන්,පෙම්වතියන් සහ බිරින්දෑවන් සිටිනා බව සිහිවන විට ඒ ගැහැණුන් පිළිබඳව දැනෙන්නේ වේදනාවකි. අනුකම්පාවකි!

මා හැදුණු නිවසේ ඔසප්වීම සැඟවිය යුතු කරුණක් නොවුණු අතර පසු කලක විවිධ වැඩ කටයුතු සඳහා ලංකාව පුරා යනෙන ගමන් වලදී අප සමඟ එකට එක්ව වැඩෙහි යෙදුණු සොයුරන්, පූජකවරුන් සහ වැඩිහිටියන් විසින් කිසිම දිනෙක ඔසප්වීම හෝ එදින වලදී අප විඳිනා වේදනාව අප විසින් සැඟවිය යුතු යමක් බවට අපට කියා තිබුණේ නැත. කෝපී සාදා දී “බොනවා හලෝ මේක” යැයි පවසමින්, “කඩයක් හොයාගෙන පැකට් එකක් අරන් එන්නද” යනුවෙන් අසමින් ඔවුහු අප හා එම වේදනාවට සංවේදී වූහ.

මෙය එක් අපේක්ෂකයකුට පක්ෂ වීම පිළිබඳව කතිකාවතක් ලෙසට බාර ගන්නට තරම් බොහෝ ගැහැනුන් සහ පිරිමින් අසංවේදී වී ඇත. ජනාධිපතිවරණය නොවැම්බර් 16න් අවසන් වනු ඇත එහෙත් මෙරට ගැහැනුන් ඔසප් වීම ඒ දහසයවෙනිදායින් අවසන් වන්නේ නැත. එම කතිකාවත් වඩාත් ඵලදායි අයුරින් ඉදිරියට යා යුතුය. ඒ වෙනුවෙන් ලියන හඬ නගන විශිෂ්ට මිනිසුන් මේ අවකාශයේ ඇත.

ඔවුන්ට එය කරගෙන යාමට ඉඩ නොහරිනා, මේ සරල කාරණා නොතේරෙනා මහතුනි,

මව හෝ පෙම්වතිය හෝ බිරිඳ සමඟ නිවීසැනසිල්ලේ අසුන් ගෙන ඔසප්වීම යනු කුමක්ද යන්න සිට ඒ හා ආශ්‍රිත කරුණු කාරණා මදක් විමසන්න. පිරිසිදුව සිටින ගැහැනියකට කී වතාවක් සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදු වේ දැයි ඔවුන්ගෙන් අසන්න. ගුණාත්මක සනීපාරක්ෂක තුවා පැකට්ටුවක අවම මිල විමසා දැන ගන්න.

ඔබ ඒ පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන, පත්තර කොළේකින් ඔතා නිවසට ගෙන ආ සනීපාරක්ෂක තුවා පැකට්, බිස්කට් පැකට් යයි වරදවා වටහාගෙන උස්මහත් වූ දරුවෙකු විය හැකිය. ඉතින් දැන්වත් ඔබට මඟ හැරුණු පාඩම් කිහිපය ඉගෙන ගන්න.

පිනට ලබා දෙන කිසිවක් මට අවැසි නැත, එමෙන්ම මගේ ඔසප් වීම වෙනුවෙන් රජයට බදු ගෙවීමටද මම සූදානම් නැත. ඔබේ නිවෙස් වල කාන්තාවන් එසේ සූදානම් වූවාට අපට ඇත්තටම කරන්නට දෙයක් නැත.

( මෙම සටහන Shenu Perera මෙනවියගේ FB වෝලයෙන් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී. සටහනේ හිමිකම ඇයට හිමිවේ )

SHARE