ඟ ළඟම ඡන්දයක් එනව. නිකම්ම නිකන් පළාත් සභා ජන්දයක් එහෙම නෙමෙයි,ජනාධිපතිවරණයක්..!

“ඉතින් ? ගෑනු අපට මොකටද දේශපාලනය? ඔය හැමදාම විදියට ගිහින් ජන්දෙ දාල එන්න බැරියැ. ඒකත් වේලාසනින් රෙදි ටික සෝදල ගෙදර වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් උනොත් තමයි”

ඔන්න ඕක තමයි කාන්තාවන් බහුතරයකගේ දේශපාලන සහභාගීත්වය.ඇත්තටම විය යුත්තේ මේකම ද?ඇත්තටම කාන්තාවන් වෙච්ච අපට දේශපාලනය වැදගත් නැති ද? ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් කියල තියෙනව, “මිනිසා උපතින් ම දේශපාලනික සත්වයෙකි” කියල. එහෙම බැලුවම කාන්තාවක් වුවත් පුරුෂයෙක් උවත් සක්‍රීය දේශපාලනික සහභාගීත්වයක් අත්‍යාවශ්‍යයි.

විශෙෂයෙන් ම කාන්තා නියෝජනය 52% ක් වෙච්ච රටක,කාන්තාවන්ගේ දේශපාලනික සක්‍රීයභාවය. මීට වඩා යහපත් තැනක තිබිය යුතුමයි. කාන්තාවක් උනහම ස්වාධීන වෙන්න ඕනිය, සමතැන ලැබෙන්න ඕනිය කියල තර්ක කරන්න අප හරි ආසයි. නමුත් ,“අප අපට සමතැන නෙමෙයි නිසි තැනවත් ලබාගන්න උත්සාහ කළ යුතු අවස්ථාවේ කර අරින්නේ ඇයි?” කියල මං ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ? ඇත්තටම ඔබ කල්පනා කරනව ඇත්තෙ නිසිතැන ගන්න දේශපාලනය බලපාන්නෙ කොහොම ද කියල වෙන්න ඇති. ඇත්තටම ඔබ නොසිතුවාට ,සෘජුවම ඒක එහෙම වෙනව.

ඔබ කාන්තාවන් වූවත් පිරිමියෙක් වූවත්,ඔබ නිසි පරිදි චන්දය භාවිතා කළහොත්, ඔබගේ ජන්දය වලංගු එක් ජන්දයක් පමණයි. එයට විවාදයක් නැහැ. මා මේ කියන්නට උත්සාහ කරන්නේ එය නොවේ. ඔබ භාවිත කරන වටිනා ඡන්දය භාවිතා කළ යුත්තේ, රටට අවශ්‍ය සුදුසු ම කෙනා පත් කරන්න ට යැයි යම් අදහසක් ඔබට තිබෙනවා ද? කළ යුත්තේ එය යැයි ඔබ දන්නවා ද?

“අපේ මී මුත්තාගෙ ඉඳලා ඡන්දෙ දෙන්නෙ මෙයාට ..ඉතින් මාත් නොදී කොහොමද ?
“මම ඡන්දෙ දෙන්නෙ අපේ හබී දෙන.එහෙකට..එයා ඉතින් හැමදේම දන්නවනෙ..”
“අර අරයාගෙ මූන හරී සිරියාවයි. ඒ සිරියාව ඇති රටට කිරි උතුරන්න. මම නම් ඡන්දෙ දෙන්නෙ එයාට “
“බලන්නකො. අනේ තේජස..පුදුම පිරිමිකමක් ඒක. ඉතින් වෙන කවුද ඉන්නෙ ඒ වගේ”
“අර කෙනා අපේ රැලියට ආපු දවසෙ, අපෙ නැන්දගෙ බාල දූගෙ පොඩි එකාව වඩාගෙන උන්නනේ. සිරියාවතීලැයි අර හිච්චි එකාගෙ ඔලුවත් අතගාල ගියේ. පුදුම ලෙංගතුකමක්. අනේ වාසනාවන්..!”

ඇත්තටම කාන්තා අපිට ඔයිට එහා වපසරියකින් හිතන්නටම බැරි ද?

මා ඔබට පවසන්නේ කිසිවකට, කිසිවෙකුට මුළා නොවී සුදුසුම පාලකයා පත්කර ගැනීමෙදී මූලිකත්වය දිය යුතු කරුණු කාරණා ගැනයි. මෙහිදී මා මුලිකත්වය දී ඇත්තේ දේශපාලකයන් උපක්‍රමශීලීව ඔබව රවටනා කරුණු සහ ඔබ විසින් ම රැවටෙනා කරුණු පිලිබඳවයි.

මෙහිදී සටහන් විය යුතු කරුණු ගණනාවක් ඇතත් සියල්ල සාරාංශගත කොට හැකි තරම් කෙටියෙන් හා සරලව සඳහන් කරන්නම්.. මා හට මඟ හැරෙනා කරුණු ඔබ මතක් කර දේ යැයි මා ආදරයෙන් බලාපොරොත්තු වෙනව…

ජනතාවගේ හැඟීම්, මති මතාන්තර අවභාවිතය

අප වැනි තුන්වන පන්තියේ රවල්වල පාලකයන් විසින් ජනතාව මුළා කිරීමට යොදාගන්නා ප්‍රධානතම අවිය වන්නේ මෙයයි. මෙය අපේ රටට බලපා ඇති ආකාරය අනුව ලඟම උදාහරණ ගෙන බලමු.

මෑතකදී සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පසුව එක් එක් පක්ෂ එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් කියා සිටියේ ප්‍රහාරයේ වගකීම ගත යුත්තේ, තමන් නොවන බවත් එය වලක්වාගැනීමේ වගකීම තිබුනේ ආණ්ඩු පක්ෂයට පමණක් කියාය. එහි ප්‍රධාන වගකීම ආණ්ඩු පක්ෂයට එල්ල වීම සාධාරණ වුවත්,එ දවස එම සිදුවීම පාදක කොට විශිෂ්ඨ තිර රචනයක් නිමැවුන අතර මේ දිනවල ප්‍රධාන පක්ෂයකින් ඔබට දකින්න ට දිගහැර ඇත්තේ,එම සිනමාපටයයි.

” අපට ඡන්දය දෙන්න අප ඔබගේ ආරක්ෂා තහවුරු කරන්නම්.” යන්නයි..තවමත් සිතින් බෝම්බ බිය පහව නොගිය, ඔබ සිතන්නේ රටට කුමක් වුවත් පණ බේරාගෙන ඉන්නට නම්, මොහුට ම චන්දය දිය යුතු බවයි.

ඔවුන් ඔබට නොකියනා ඇත්ත නම්,

මෙහිදී ඔබ මතක තබාගත යුතු සරල කරුණ වන්නේ,

කුමන අපේක්ෂකයෙකුට ඔබ ඡන්දය ලබා දුන්න ද ඔහු, රටේ ආරක්ෂාව, ආගම් අතර ගැටුම්, ජාතිවාදය සංස්කෘතිය යන සංවේදී කාරණා තම දේශපාලනයට ඉත්තෙකු කර නොගත්තෙකු විය යුතුය.

පුද්ගලානුබද්ධ දේශපාලනය නොහොත් පුද්ගලයෙකු කේන්ද්‍රකොට ගත් පාලනයක් ඉල්ලා සිටීම. මෙය ද එක්තරා ආකාරයක මුලාවකි. නැතහොත් ඇදහීමකි. යම් රටක පාලකයා එම රටෙහි මිනිසුන්ගේ ආරක්ෂා සහ සුබසිද්ධිය තකා,යම් යහපත් ක්‍රියාවක් කලා නම්, එම රටෙහි සාමාන්‍ය ජනතාව එයට ස්තූතිවන්ත වීම අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයකි.නමුත් එම ක්‍රියාව ඉත්තෙක් කොට තබාගෙන එම පුද්ගලයා හෝ එම පුද්ගලයා වටා සිටිනා පිරිස විසින් සිදු කරන කවරාකාරයේ දූෂිත ක්‍රියාවක් වුවද නිහඬව ඉවසාගෙන සිටීමට තරම් රටෙහි සාමාන්‍ය ජනතාව වහලුන් නොවිය යුතුය.

පවතින තත්ත්වයට අනුගත වී වෙනස් වීමට තරම් කොන්දක් සාමාන්‍ය ජනතාවට තිබිය යුතුය.එසේ නොමැති විට,එමඟින් අසහාය ඒකාධිපති පාලකයකු බිහි වීම හරහා අත්තනෝමතික පාලන තත්ත්වයක් නිර්මාණය වීම වැළකිය හැකි නොවන බව මතක තබා ගත යුතුය.

හරි දේ හයිලයිට් නොවන මාධ්‍යයන් එක්ක අපි.

මෑතකදී PAD MAN ටත් එහා ගිය ආකාරයකට විහිළුවක් බවට පත් වූයේ ද ජනාධිපති අපේක්ෂකයෙකි. ඇත්තටම ඒ සිනාසුණේ ඔහුට ම ද නැතිනම් අප අපටමද කියනා එක ද ගැටලුවකි. බොහෝ අයට අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිර්ලජ්ජිත ප්‍රකාශයකි. සැඟවිය යුතු දෙයක් එළිපිට පවසා ඇත.

එයට හුරේ දමනා බොහෝ අය කාන්තාවෝය.ඔහු පවසන දේ පිළිබඳව නොව, ඔහුගේ පක්ෂය දෙස පමණක් බලා තීන්දු තීරණ ගෙන ඔහුට සිනාසුණ බහුතරය අතර කාන්තාවන් සිටියෝය.

ඇත්තටම කාන්තාවක් ඔසප් වීම හෝ ඒ අශ්‍රිත සනීපාරක්ෂක කටයුතු ඔය තරමට සැඟවිය යුත්තේ ඇයි දැයි මා ඔබෙන් අසන්නේ, කාන්තාවන් 100 ක් දූෂණය කර පාටි දැමූ මන්ත්‍රීවරුන් සිටින්නේ ද මේ අප සිටිනා සමාජයේ ම බැවිනි. කාන්තාවන් ට අපහාස කිරීමෙන් කෙළවරට ම ගිය මන්ත්‍රීවරුන් සිටින්නේ ද මේ දේශපාලනයේම බැවිනි.එවැනි ආණ්ඩුවක් තුළ ඔබ කෙතරම් ආරාක්ෂාකාරී ද යන්න ද ගැටලුවකි.

කරුමයකට ඒවාට සිනා සෙන්නට ද අඬන්නට දැයි ඔබ නොදන්නේ එක්කෝ ඔබ ඒවා නොදන්නාකමිනි. නැතිනම්, ඔබට දැනටමත් ඒව අමතක වී ඇති නිසාවෙනි. දැන් කරළියට ඒ තොරතුරු ඇවිත් තිබෙන්නේ පෑඩ් මෑන් නිසාවෙනි.

කාන්තා සනීපාරක්ෂක කටයුතු පිලිබඳව පාලකයෙක් සිතුවා යැයි සිතන සිතිවිල්ලට සිනා නොවන්න අප ඉටාගත යුතුය. මන්ද ඒ අප සිනා සෙන්නේ අපටම ය.

නොමිලේ පෑඩ් පැකට් එකක් නොව සෑම සෑම කාන්තාවකටම ගැටලුවකින් තොරව අඟ හිඟතාවකින් තොරව සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගත හැකි ආර්ථික තත්ත්වයක් ඇති කිරීමට හැකි යැයි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තියකින් යුක්ත, අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත, අපේක්ෂකයන් ද සිටින බව මඳක් විපරම් කර බැලුවහොත් ඔබට පෙනී යනු ඇත.

දේශපාලනයේ බලයෙන් සහ මිල මුදල් ,නැත්නම් මැර බලයෙන් රට කරවන, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින, ඇති හැකි අයම තර වෙන සීනි බෝල ලෝකයක් අපිට මවා දී රට ම ණය කරවන, සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නොනඟන, තම තම තමන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් පමණක් අත් ඔසවන දේශපාලන පක්ෂ හා දේශපාලන සිද්ධීන් ගැන ඔබත්, එකින් එක සොයා බලන්න. රටේ සුබ සිද්ධිය වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඇති, ස්ථිරසාර විසඳුමක් ඇති බුද්ධිමත් නායකයෙකු තෝරාපත්කර ගැනීමට එවිට ඔබටත් හැකිවනවා ඇත.

එය, කෑමක රෙසිපියක් බලනවා මෙන් සුන්දර නැතත්, ගෙත්තමක ඇති සොඳුරු බව එහි නැතත්, ටෙලියක ඇති රොමෑන්ටික් බව නැතත්, හැකි සෑම විටෙකම දේශපාලන සිද්ධීන්වල සත්‍ය තොරතුරු සමඟ යාවත්කාලීන වන්න…

මන්ද කාන්තා ඔබ තරම් ඔබගේ අනාගත පරපුර නැත්නම් දූ දරුවන් ගැන සෙනෙහෙවන්ත කිසිවෙකුත් නැත. ඔබගේ දියණිවරුන්ගේ අනාගත සුරක්ෂිතභාවය ගැන වද වෙන්නට වෙනත් කිසිවෙකුත් නැත.

ඉතින් මා ඔබ ආදරයෙන් කියන්නේ.

වඩා විමසිලිවන්තව ඔබගේ ජන්දය භාවිතා කරනට කියාය..මන්ද එහි ඔබ දන්නා තරමට වඩා වටිනාකමක් ඇති බැවිනි.

එය ඔබේත් මගේත් රටේත් හැරවුම් ලක්ෂයයි…

(ෂලිනි හංසකා මෙනවිය ඇයගේ ෆේස් බුක් පිටුවේ තබන ලද සටහනක් අවසර ඇතිව සංස්කරණය කර උපුටා ගන්නා ලදී. සටහනේ හිමිකම ඇය සතුවේ )

SHARE