සුදු වෙන්න හැමෝම ප්‍රාර්ථනා කරනවා. නමුත් සම, හිස කෙස් ඇතුළු සෑම අංගයක්ම හිමවන් සුදු පැහැයකින් යුක්ත වීම ඇලිතාවය (Albinism) ලෙස හඳුන්වනවා. ඇත්තෙන්ම එය යම් රෝගී භාවයක් වන අතර, ඔවුන් විවිධ දුෂ්කරතාවයන්ට ගොදුරු වෙනවා. ඇලිතාවය පිලිබඳ ලෝක දිනය වන්නේ ජූනි 13 වනදාය.



සමේ වර්ණය තීරණය කරන මෙලනින් වර්ණකය  

සාමාන්‍යයෙන් සමේ කළු සුදු බව තීරණය වන්නේ සමේ ඇති මෙලනින් වර්ණකයේ ප්‍රමාණය අනුවයි. සිරුරේ ඇති මෙලනින් වර්ණක ප්‍රමාණය අඩු වන තරමට, එම පුද්ගලයාගේ සම සහ හිස කෙස් වල වර්ණය අඩු වෙනවා. මෙම රෝගය වැළඳෙන්නේ සිරුරේ මෙලනින් නිපදවෙන සෛල අඩු/ නොමැති වූ විටයි.

 

ඇලිතාවය වැළඳුනු රෝගීන් මුහුණ දෙන ගැටළු

  • අපේ සම හිරු එළියෙන් ආරක්ෂා කරන්නේ මෙලනින් වර්ණකයයි. හිරු එලියට හසු වූ විට සම කළු පැහැ ගැන්වී, සමට ආරක්ෂාව සැපයීමට මේ මෙලනින් වර්ණකය සමත් වෙනවා. නමුත් ඇලිතාවයෙන් පෙලෙන අයෙකු හිරු එලියට නිරාවරණය වූ විට, ඔවුන්ගේ සම දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා. සම පිළිස්සීම, හිරු එලියට හසු වන විට දැඩි වේදනාවක් දැනීම, සමේ පොතු ගැලවී යාම සහ පසු කාලීනව සමේ පිළිකා වලට ගොදුරු වීම වැනි හානි සිදු වෙනවා.
  • ඇසේ තාරාමණ්ඩලය මඟින් සිදු කරන්නේ ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමයි. අවට වැඩි ආලෝකයක් පවතින්නේ නම් තාරාමණ්ඩලය මඟින් කණිකාවේ විවරය කුඩා කරවනවා. මේ තාරාමණ්ඩලය සැකසී ඇත්තේ ඉතා සිනිඳු පේශි වලිනි. කෙසේ වෙතත් ඇලිතාවයෙන් පෙලෙන රෝගියෙකුගේ තාරාමණ්ඩලය අවර්ණය. එම නිසා ඇලිතාවයෙන් යුක්ත අයෙකුගේ ඇස තුලට අධික ආලෝකයක් පවා කිසිදු අවහිරයක් නොමැතිව ඇතුළු වෙනවා. අධික හිරු එලිය, රාත්‍රියේදී වාහන වලින් සහ දීප්තිමත් විදුලි බල්බ වලින් නිකුත් කෙරෙන ආලෝකය ඔවුන්ව දැඩි අපහසුතාවයට පත් කරනවා.
  • ඇලිතාවයෙන් පෙලෙන අයෙකුට යම් දෙයක් දිහා එක එල්ලේ බලාගෙන සිටීමට අපහසු වන අවස්ථා පවතිනවා. තමාගේ ඇසේ චලනය තමාට පාලනය කර ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි.
  • ඇලිතාවයෙන් පෙලෙන සමහර අයගේ පෙනීම දුර්වල වන අවස්ථාත් පවතිනවා. බොහෝ අයට යම් වස්තුවක පිහිටීම තමාට වඩා කොපමණ දුරකින්ද යන්න හරියාකාරව වටහා ගැනීමට අපොහොසත් වෙනවා. එයට හේතුව වන්නේ ඇසත් මොළයත් අතර ස්නායු වල පවතින දුර්වලතාවයක් නිසයි.  

 

Albinism රෝගයේ ප්‍රභේද

  • Oculocutaneous Albinism

මෙහිදී Albinism රෝගියාගේ හිස කෙස්, සම සහ දෑස් වල මෙලනින් වර්ණකය පිහිටන්නේ නැහැ. සම සහ හිස කෙස් සුදු පැහැති වන අතර දෑස් රතු හෝ දම් පැහැයෙන් පෙනේ.

  • Ocular Albinism  

මෙහිදී ඇලිතාවය පවතින්නේ දෑස් වල පමණයි. දෑස් වල මෙලනින් වර්ණකය නොපිහිටියත්, සම සහ හිස කෙස් යථා තත්වයෙන් පවතිනවා. ඔවුන්ගේ සම සහ හිස කෙස් පමණක් සාමාන්‍ය පෙනුමකින් යුක්ත වෙනවා.

SHARE