දු

ක කියන්නේ මෙලොව ජිවත් වෙන හැම පුද්ගලයෙකුටම තම ජිවිත කාලය තුලදී එක වරක් හෝ දැනිලා තියෙන හැඟීමක්. දුකක් දැනීම මිනිසෙකුට කිසිම හානියක් ඇති කරන්නේ නැහැ. නමුත් දුක උග්‍ර වීම නිසා ඇති වෙන විෂාදය නමැති තත්වය නම් මිනිසෙකුට හානිකරයි. යමෙකුට විෂාදය වැළඳී ඇත්නම් ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිකර්ම යෙදිය යුතුමයි. එයට හේතුව වන්නේ විෂාදය නමැති තත්වය භයානක වීමත්, ඇතැම් විට එහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීමක් දක්වා දිව යාමට ඉඩ ඇති නිසාය. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා කතා කරන්නේ දුක යන සාමාන්‍ය හැඟීම සහ විෂාදය තත්වය වෙන් වෙන්ව හඳුනා ගන්නා නිවැරදි ආකාරය පිළිබඳවයි.



1 කැමති දේවල් වෙනස් වෙන්නේ නැහැ

දුක කියන හැඟීමට බැහැ ඔබ කැමති දේවල් වෙනස් කරලා දාන්න. දුක හිතුනම හැමදේම එපා වෙලා වගේ සිතුවිල්ලක් එනවා තමයි. ඒත් ඔබේ විනෝදාංශ ඔබෙන් උදුරා ගන්න ඒ දුක කියන සාමාන්‍ය හැඟීමට බැහැ. ගොඩක් වෙලාවට දුකෙන් ඉද්දි ඔබටම හිතෙනවා දුක අඩු කර ගැනීමේ අරමුණින් ඔබේ විනෝදාංශ වල නිරත වෙන්න. දුක අමතක කරන්න ගොඩක් දෙනා චිත්‍රපට නැරඹීම, ඇවිදින්නට යාම, සංගීතයට සවන් දීම, රසවත් ආහාරයක් ලබා ගැනීම වැනි කටයුත්තක කැමැත්තෙන්ම නිරත වෙනවා.

ඒත් විෂාදය තත්වය ඇති වූ විට මේ දේවල් මෙහෙම සිදු වෙන්නේ නැහැ. ඔබට විෂාදය ඇති වෙලා නම් ඔබට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. වෙනදා ඔබට සතුටක් ලබා දීපු දේවල් දිහා බලන්නවත් ඔබට හිතෙන්නේ නැහැ. විනෝදාංශයක නිරත වෙනවා තබා ඒ ගැන හිතන්නවත් ඔබ කැමති නැහැ. බලාපොරොත්තු රහිත බවක්, උදාසීන බවක් ඔබට වධ දෙනවා.

2 හේතුව පැහැදිලියි

ඔබට දුක හිතුනු වෙලාවට, දුක හිතුනේ ඇයි කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ ඔබේ දුකට හේතු වුනු යම් නිශ්චිත කාරනාවක් තියෙනවා. ඔබ ඒ හේතුව දන්නවා. හේතුවක් නැතුව දුක හිතෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. හැබැයි ඒ විදිහට දැනෙන දුක ඉක්මනින්ම සමනය වෙලා යනවා. ඔබ වෙනත් රාජකාරි කිහිපයක නිරත වෙලා ආපහු හැරිලා බලද්දී ඔබේ දුක ඉබේටම නැති වෙලා කියලා ඔබට දැනෙනවා.

ඔබට ඇති වෙලා තියෙන්නේ විෂාදය තත්වය නම්, ඔබට දුක හිතෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. කිසිදු සාධාරණ හේතුවක් නැතුවම ඔබ නිරන්තරයෙන් පසු වන්නේ දුකින්.

විෂාදයට මුහුණ දුන් අයෙකුගේ දුක පටන් ගත්තේ මරණයක්, අහිමි වීමක් වැනි නිශ්චිත හේතුවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය නිම නොවී දිගින් දිගටම පවතිනවා. එකම සිදුවීමට මුහුණ දුන්නු අනිත් අයගේ දුක කාලයත් එක්ක නිමා වුනත්, විෂාදය ඇති වූ පුද්ගලයාගේ දුක නිමා වන්නේ නැහැ. එයින් පසුව ඇති වන සුළු සුළු ගැටළු පවා විෂාදය තත්වය වැඩි වීමට බලපානවා.

3 වැඩ රාජකාරි මඟ හැරීම

යම් දුකකින් පීඩා විඳින පුද්ගලයෙකුගේ වැඩ රාජකාරි වල වෙනසක් ඇති වන්නේ කෙටි කාලීනවයි. ඔබට දුකක් ඇති වූ විට ඔබ නිරාහාරව සිටින්නේ, වැඩිපුර ආහාර ලබා ගන්නේ, වැඩිපුර නිදා ගන්නේ හෝ අවදියෙන් සිටින්නේ ඔබේ දුක පහව යන තුරු පමණයි. ඉන් අනතුරුව ඔබ නැවත යතා තත්වයට පත් වෙනවා.

නමුත් විෂාදයට ගොදුරු වූවෙකු දිගින් දිගටම තම සාමාන්‍ය රාජකාරී අතපසු කර ගන්නවා. බොහෝ විට ඔවුන් නිවසෙන් පිටතට නොයා නිවාස තුලම රැඳී සිටිනවා. ඒ ඔවුන්ගේ ආශාවන් ක්‍රම ක්‍රමයෙන් හීන වී ගොස් ඇති නිසයි. දිගින් දිගටම නිදා ගැනීම, ආහාර අරුචිය හෝ වැඩිපුර ආහාර ලබා ගැනීම සිදු වෙනවා. මෙම හැසිරීම රටාව දිගුකාලීනය.

4 අනාරක්ෂිත හැඟීමක් ඇති වීම

දුකින් පසු වැන්නෙකු තුලත්, විෂාදයට ගොදුරු වුවෙකු තුලත් අනාරක්ෂිත හැඟීම් ඇති වෙනවා. තමන්ට කවුරුවත් ආදරේ නැති බව සිතීම, තමා නොවටිනා පුද්ගලයෙකු බව සිතීම මේ දෙවර්ගයේම පුද්ගලයන්ගේ ලක්ෂණයකි.

නමුත් දුකින් පීඩා විඳින පුද්ගලයා මේ තත්වයෙන් මිදීමට උත්සාහ කරනවා. දුකෙන් මිදිය හැකි ක්‍රම සොයාගෙන (ව්‍යායාම කිරීම, භාවනා කිරීම, උපදේශන සේවාවන්ට සහභාගී වීම, නව රැකියාවක් සොයා ගැනීම, නව ස්ථානයකට පදිංචියට යාම) ඒවා අත්හදා බලමින් දුක නැති කර ගන්නට කටයුතු යොදනවා.

නමුත් විෂාදයට ගොදුරු වූ තැනැත්තා දුකෙහිම ගිලි සිටිනවා. තමන් සිටින ස්ථානය, ජිවත් වන පරිසරය වෙනස් නොකර, එහිම සිටිමින් දුක් වෙනවා.

5 තමාටම හානි කර ගැනීම

දුකෙන් සිටින පුද්ගලයෙකු තුලත් තමාටම දොස් පවරා ගැනීම, සෑම දෙයකටම වැරදි තමා කියලා සිතීම වැනි ගැටළු පවතිනවා. නමුත් කෙටි කාලයකින් මේ ස්වභාවය නැති වෙනවා.

විෂාදයට ගොදුරු වුවෙකු මේ සීමාව ඉක්මවා යනවා. ඔවුන් තුල තමාගේ සිරුරට හානි කර ගැනීමට, සිය දිවි නසා ගැනීමට පෙළඹෙන සිතුවිලි ඇති වෙනවා.


SHARE