බේ ඇස් යට ඇති අඳුරු රවුමත් දිනෙන් දින ලොකු වෙනවාද? මේකප් වලින් එය වසනවාට අමතර ඔබට ඒ සඳහා කළ හැකි වෙන පිළියම් තියෙනවාද? උත්තරය “ඔව්”. ඇස් යට තඩිස්සිවීමට හා කළු වීමට ඔබට නිවසේ සිටම කළ හැකි පිළියම් තියෙනවා. එම තත්වය ඇතිවීමට බලපාන හේතුව ගැනත් අප සිතන්න ඕනෙ. නින්ද තමයි අපේ රූපලාවන්‍ය සෞඛ්‍ය ආරක්ෂාවීමට බලපාන මූලිකම සාධකය. ඔබේ සම, නිය, හා අනෙකුත් ශරීරයේ සිදුවෙන සුවවීම් සිදුවන්නේ අප නිදා සිටින විටයි. දිනකට පැය 8ක නින්දක් අවශ්‍ය බවයි සඳහන් වෙන්නේ. ඉතින් එම නින්ද ලබාගැනීම වැදගත් කරුණක්. ඊට අමතරව, හොඳ ආහාර හා ජීවන රටාවත් වැදගත් වෙනවා. හැකිනම් E විටමිනය අමතරව ලබා ගන්න. විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයන් මඟින් ඔක්සිකාරකයන් නිසා ශරීරයට ඇතිවෙන හානි අවම වෙනවා. දැන් අපි මාතෘකාවට එමු. ඇස් යට පිපුමට හා අඳුරු වීමට ඔබට කළ හැකි පිළියම් 6ක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



∗ අයිස්

අයිස් කියන්න්නෙ ජලයයි. අපේ ශරීරය වැඩි වශයෙන්ම සෑදී ඇත්තේ ජලයෙනි. අයිස් වලට ඉදිමුම් ගති අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඇස් යට පිපුමටත් එහෙමයි. සෑම රාත්‍රියකම මිනිත්තු 3-5ත් අතර ප්‍රමාණයක් ඇස් යට අයිස් තියන්න. මේකප් ඉවත්කර මෙය කළ යුතුයි. මතකයේ තබා ගන්න: මොනම අවස්තාවකවත් අයිස් කෙලින්ම සම මත තියන්න එපා. ඉන් සම පිච්චෙනවා. තරමක් ඝනකම් රෙදි කැබැල්ලක අයිස් කැටය ඔතා තියන්න.


∗ පිපිඤ්ඤා

මේ ගැන නම් ඔබ දැනටමත් අසා ඇති. මින් ලැබෙන ප්‍රථිඵලනම් විශ්මයජනකයි. පිපිඤ්ඤා ගෙඩියක් පෙති කපා එම පෙති ඇස් උඩ තියන්න. ඔබට පිපිඤ්ඤා පෙත්ත භාගෙට කපා එම කොටස කෙලින්ම ඇස් යට තියන්නත් පුළුවන්. මිනිත්තු 20ක් පමණ තියන්න. හොඳ ආහාර හා ජීවන රටාවකට අමතරව මේකත් කරන්න.


∗ කෝමාරිකා

ඖෂධීය ගුණ ඇති කෝමාරිකා ඔබේ රුව වඩවනවා. කෝමාරිකා ගසෙන් එක් කොටසක් කපා ගන්න. ඇති කටු වලින් ටිකක් ප්‍රවේසම් වන්න. කපා ගත් කොටස ප්‍රවේසමෙන් දෙකට පලාගන්න. එවිට ඔබට ඇතුලේ ඇති ස්‍රාවය හා කොටස් එළියට ගන්න පුළුවන්. මේ ස්‍රාවය හා මාංසල කොටස් එකට පොඩිකරන්න. මෙය රාත්‍රී නින්දට යාමට පෙර ඇස් යට ගල්වන්න. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරයන් සියල්ල ඔබේ සම උරාගනු ඇත.


∗ ආමන්ඩ් තෙල්

අන්තර්ජාලය හරහා හෝ ඖෂධීය වෙළඳ සැල් වලින් ඔබට මෙය පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්. මෙම තෙල් දිනපතා ඇස් යට ගැල්වීමෙන් අඳුරු රවුම අඩුවෙන අතරම, එය ඔබේ සමේ නිරෝගීකමටත් හේතුවෙනවා. අන්තර්ගත වෙන විටමින් E හා ප්‍රෝටීන මඟින් සම ප්‍රකුර්තිමත් කරනවා.


∗ අමු අර්තාපල්

මෙයත් ඔබ අසා ඇති. මින් ඔබට හොඳ ප්‍රථිඵල අත්කරගන්න පුළුවන්. අර්තාපල් වල ස්වාභාවික බ්ලීචින් ගුණාංගයක් තියෙනවා. ඉන් ඔබේ ඇස් වටා ඇති අඳුරු රවුම අඩුකරගන්න පුළුවන්. එහි ඇති ඉදිමුම් වලට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව නිසා ඇස් යට පිපුමත් අඩුවෙනවා. රාත්‍රී නින්දට යාමට පෙර කපා ගත් අර්තාපල් බෑ දෙකක් ඔබේ ඇස් මත මිනිත්තු 10ක් තියන්න.


∗ තේ බෑග් (Tea Bags)

භාවිතා කළ කළු\කොළ තේ ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. රාතියේදී තේ බෑගය ශීතකරණයේ දමන්න. පසුදා උදේ මේවා ඔබේ ඇස් යට මිනිත්තු 15ක් පමණ තියන්න. දැවිල්ල සහිත ඉදිමුම් අඩු කිරීමට හැකියාව ඇති සංඝටක තේ වල අඩංගුවෙනවා. මේ ලිපියේ සඳහන් කර ඇති අනෙකුත් ක්‍රම වලට වඩා මෙය ඉතා වේගවත්. හැබැයි මිනිත්තු 15කට වඩා ඇස් යට මෙය තියන්න එපා. ඉන් සම වේලෙන්න පුළුවන්.

ඇස් යට අඳුරු ගති හා පිපුමෙන් ඔබත් පීඩා විඳිනවා නම් මේ ප්‍රතිකර්ම ඔබට නිවසේ සිටම අත්හදා බලන්න පුළුවන්. එමඟින් ඔබේ ලස්සන වැඩිවෙනවා. හොඳ ආහාර හා ජීවන රටාවක් තමයි ලස්සන වීමේ ප්‍රධානම රහස.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here