ලෝකය තුල සාමාන්‍ය මිනිසුන් සහ අසාමාන්‍ය මිනිසුන් ලෙස කොටස් දෙවර්ගයක් ජිවත් වෙති. ඔබ ඔබේ ජිවිතයට යම් සහකරුවෙකු තෝරා ගන්නේ ජිවිත කාලයම ඔහු හෝ ඇය සමඟ සතුටින් ජිවත් වීමේ අරමුණින්. නමුත් ඔබ තෝරා ගෙන ඇත්තේ අසාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔබට ජිවිත කාලය පුරා ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදු වේවි. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ අපි අතරම වෙසෙන, නමුත් අසාමාන්‍ය ගණයේ පෞරුෂයක් ඇති පුද්ගලයන් පිරිසක් පිළිබඳවයි. මේ පෞරුෂ ලක්ෂණය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ Narcissistic Personality ලෙසයි.




Narcissistic පෞරුෂයක් ඇති අයෙකුගේ චරිත ලක්ෂණ

1 තමා වැදගත් බව දැඩි ලෙස විශ්වාස කිරීම

මේ ගණයේ පුද්ගලයන් තමා සුවිශේෂී පුද්ගලයෙක් බවත්, තමා අද්විතීය බවත් දැඩි ලෙස විශ්වාස කරනවා. එපමණක් නොව අන් අය ඒ බව පිළිගත යුතු යැයි සිතනවා. ඒත් ඇත්තෙන්ම ඔවුන් තුල එවැනි සුවිශේෂී ස්වභාවයක් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි පුද්ගලයන් සමාජයේ පිළිගත් වෙනත් පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමට, ඉහල පෙලේ පුද්ගලයන් භාවිතා කරන දෑ භාවිතා කිරීමට පුරුදුව සිටිනවා. ඔවුන් තම දක්ෂතා සහ ජයග්‍රහණ ගැන ඉතා කැමැත්තෙන් කතා කරන අතර, ඇතැම් විට ඒවා වැඩිකර පෙන්වන්නට උත්සාහ කරනවා. එවැනි පුද්ගලයෙකුගේ සාමාන්‍ය කතා බහ තුල අඩංගු වන්නේ තමන් නිසා තමන්ගේ රැකියා ස්ථානයට ඇති අසීමිත ප්‍රයෝජනය, තමා වැන්නෙකු ඇසුරු කිරීමට ලැබීම අන් අයගේ වාසනාවක් බව ආදී කතා බහය.

2 තමා උසස්ම පුද්ගලයෙකු යැයි උපකල්පනය කරගෙන මනඃකල්පිත ලෝකයක ජිවත් වේ

තමා මවා ගත් ලෝකය සහ සැබෑ ලෝකය සමාන නොවෙද්දී මේ පුද්ගලයන් මනඃකල්පිත ලෝකයක් මවා ගනී. එමඟින් තම සිතට දැනෙන ලැජ්ජාශීලී හැඟීම් සහ වේදනාවන් සමනය කර ගනී.

3 අන් අය කෙරෙන් ප්‍රශංසාව සහ අගය කිරීම් දැඩි ලෙස බලාපොරොත්තු වේ

ඕනෑම අයෙකු ප්‍රශංසා ලබන්න කැමතියි. නමුත් ප්‍රශංසාව කියන්නේ නිරන්තරයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. කෙසේ වෙතත් නාර්සිස්ටික් පෞරුෂයක් ඇති පුද්ගලයා අන් අය වෙතින් ස්ථිර සහ නොවෙනස් ප්‍රශංසාවක් බලාපොරොත්තු වේ. යම් පුද්ගලයෙකුට ජිවත් වීමට ආහාර අවශ්‍ය වන්නා සේ, මේ පුද්ගලයන්ට සෙස්සන්ගේ ප්‍රශංසා කිරීම්, වර්ණනා කිරීම් සහ අගය කිරීම් අවශ්‍ය වේ. මෙතෙක් කලක් තමාට ප්‍රශංසා කරමින් සිටි අයෙක් හදිසියේ එය නැවත්වුවොත් ඔහු තමාව පාවා දුන්නා වැනි හැඟීමක් ඇති වේ.

4 තමාට අවශ්‍ය සෑම දෙයම තමාට හිමි විය යුතු බව සිතීම

තමා පිලිබඳ ඇති අධි තක්සේරුව නිසාම මෙවැනි පුද්ගලයන් තමා කැමති ඕනෑම දෙයක් තමාට හිමි විය යුතු යැයි විශ්වාස කරනවා. තමාට අවශ්‍ය යැයි සිතෙන දේවල් තමාට ලබා දීමට අන් අය බැඳී සිටිනවා යැයි හැඟීමක් ඔවුන් තුල තිබේ. ඔවුන්ගේ උවමනාවන් ඉටු කර දීමට ඔබට නොහැකි වන දිනයක් ආවොත්, ඔවුන්ට එදා සිට දැනෙන්නේ ඔබ ඔවුන්ට ප්‍රයෝජනයක් නොමැති බැඳීමක් ලෙසයි. ඒ වගේම ඔබ යම් දිනයක ඔවුන් ඉල්ලන දෑ ඉටු කිරීමට නොහැකි බව ඔවුන්ගේ මුහුණට පැවසුවොත් හෝ ලබා දුන් දේවල් වෙනුවෙන් ඔබ නැවත ප්‍රති උපකාරයක් ඉල්ලුවොත් මොවුන් කෝපයට පත් වෙනවා. එය තමාට කල අපහාසයක් සේ දකිනවා. ඔබ එසේ කරන්නේ නම් ඔහුගේ කෝපයට, නොසලකා හැරීම් වලට (සුළු අඩුපාඩුවක් වූ විට කතා නොකර අත හැරීම සහ වෙනස්කම් කිරීම) ලක් වන්නට ඔබට සිදු වෙනවා.

5 තමා අවට සිටින ආදරණියයන්ව භාවිතා කිරීම  

මේ පුද්ගලයන්ට අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට අවශ්‍ය නැහැ. අන් අය පිලිබඳ අනුකම්පා සහගත හැඟීම් ඇති වන්නේත් නැහැ. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ සෙසු පුද්ගලයන්ව පාගා ගෙන සිටින්නයි. ඔවුන් සෙසු පුද්ගලයන්ව දකින්නේ තම අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටින උපකරණ ලෙසිනුයි. අන් අයව යොදා ගෙන තම අවශ්‍යතා ඉටු කර ගැනීමට සමත් වන අතර, එය අනෙකාට දැනෙන ආකාරය ගැන හැඟෙන්නේ නැත.

6 තමාගේ ආදරණියයන්ව පහත් කොට සැළකීම සහ අවමන් කිරීම

ආදරණියන් තමාට ගරු කොට සලකනවාට මේ ගනයේ පුද්ගලයන් දැඩි ලෙස ආශා කරනවා. නමුත් විවිධ ගැටළු වලදී තම ආදරණීයයන් තමාට වඩා සවිමත් බව, තමාට දැක්වූ ගරුත්වය අඩු වී ඇති බව වටහුනොත් නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තෙකුට එය දැනෙන්නේ මහා තර්ජනයක් ලෙසයි. එවිට නැවතත් තම ආදරණියයාව නියමිත ස්ථානයට ගෙන ඒමට (තමාගේ දෙපා මුලට ගෙන ඒමට සහ නැවත ගෞරව දිනා ගැනීමට) ඔහු එවැනි ක්‍රියා මාර්ග අනුගමනය කරනවා. අනෙකාව පහත් කොට සැළකීම, අනෙකාට අවමන් කිරීම, නමින් ඇමතීම (සාමාන්‍ය පෙම්වතුන් අතරේ ඇත්තේ ආදරණිය ආමන්ත්‍රණ වුවත්, මොවුන් හිතා මතාම තම සහකරුට නමින් අමතන්නේ තමාට වඩා අඩු මට්ටමක අනෙකා සිටින බව ඒත්තු ගැන්වීමටයි.), හිරිහැර කිරීම, තර්ජනය කිරීම ආදී ක්‍රම භාවිතා කරනවා.  

 

“ඔබේ පෙම්බරා නාර්සිස්ට් පෞරුෂ ලක්ෂණ ඇති අයෙක් නම් ඔබ කල යුත්තේ කුමක්ද?” ලිපියට මෙතැනින් පිවිසෙන්න. 

    

 

 

 

 

SHARE