හිරු කිරණ වල අඩංගු වන පාරජම්බුල කිරණ, එහෙමත් නැත්නම් UV-A, UV-B ලෙස හඳුන්වන කිරණ මිනිස් සිරුරට අහිතකරයි. මේ අහිතකර කිරණ දෙවර්ගය ඔබේ සම, හිස කෙස් සහ දෙනෙත් වලට හානි කරනවා. ඉතින් ඔබ අව්වට නිරාවරණය වීමේදී ප්‍රවේශම් වීම ගොඩක් වැදගත්. අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ සමඟ බෙදා ගන්නේ මේ ගැන ලිපියකුයි.




හිරු එලිය නිසා සමට සිදු වන හානි

  • හිරු එලියට නිරාවරණය වීම නිසා ඇති වන ප්‍රාථමිකම ගැටලුව තමයි සම අවපැහැ ගැන්වීම. තමන්ගේ රූපය ගැන හිතන කෙනෙක්ට නම් මෙය සැබෑම ගැටළුවක්. බොහෝ විට සිරුරේ ඇඳුම් වලට ආවරණය වන ස්ථාන වල පැහැයට වඩා, නිරාවරණය වන ස්ථාන වල පැහැය අවපැහැ ගැන්වෙනවා.

උදා: සාරි අඳින කාන්තාවන්ගේ පිට පෙදෙස, මෝටර් සයිකල් පදවන්නන්ගේ දෑත් අවපැහැ ගැන්වෙනවා.

  • ඔබ දිගුකාලීනව සැර හිරු එලියට නිරාවරණය වන විට ඔබේ සමේ පැල්ලම් ඇති වීම, සම වියලි යාම, සම රැළි වැටීම සහ සම වියපත් වීම වැනි ගැටළු ඇති වීමට ඉඩ තිබෙනවා. පාරජම්බුල කිරණ වල බලපෑම නිසා, සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන තන්තු වලට හානි වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සම එල්ලා වැටී, ඇදීමකට ලක් වීම සිදු වෙනවා.
  • හිරු එලියට නිරාවරණය වූ සම සාමාන්‍ය සමකට වඩා දුර්වල වෙනවා. එම නිසා එහි පහසුවෙන්ම තුවාල ඇති වෙනවා. ඒවා සුවපත් වීමට කල් ගත වෙනවා.  
  • පාරජම්බුල කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කර ගැනීමට ඔබට සන් ස්ක්‍රීන් ක්‍රීම් ආලේප කිරීම, පිටතට යන විට කුඩයක් සහ තොප්පියක් භාවිතා කිරීම මඟින් පුළුවන්.
  • වෙළඳපොලේ විකිනීමට තබා ඇති සන් ස්ක්‍රීන් ක්‍රීම් මිලදී ගැනීමට පෙර එහි SPF අගය පරීක්ෂා කරලා බලන්න අමතක කරන්න එපා. හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කිරීමට සමත් වන්නේ SPF අගය 15ට වැඩි ක්‍රීම් වර්ගයයි. කල් ඉකුත් වූ සන් ස්ක්‍රීන් ක්‍රීම් භාවිතයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ නිසා සෑම විටම එහි කල් ඉකුත් වන දිනය ගැන සැලකිලිමත් වෙන්න. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් හිරු එළියට නිරාවරණය වෙන්න පැය භාගයකට කලින් එය ගැල්විය යුතුයි.  

හිරු එලිය නිසා දෙනෙත් වලට වන හානි

  • ඇස කියන්නේ ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක්. පංචෙන්ද්‍රියයන්ගෙන් සංවේදීම ඉන්ද්‍රිය ලෙස හැඳින්වෙන්නේ ඇසයි. ඉතින් පාරජම්බුල කිරණ වලින් ඇසටත් බොහෝ හානි සිදු වෙනවා.
  • ඇසේ සුද ඇති වීම, නිතරම ඇස් වලින් කඳුළු පිට වීම, ඇස් වල පිළිකා ඇති වීම සහ පසු කාලීනව අන්ධ බව ඇති වීම පවා සිදු විය හැකියි.
  • පාරජම්බුල කිරණ වලින් ඔබේ දෑස් ආරක්ෂා කර ගැනීමට හොඳම ක්‍රමය අව් කන්නාඩියක් පැළඳීමට හුරු වීමයි.  කළු පාට ස්ක්‍රීන් එකක් තියෙන හැම සන්ග්ලාස් එකක්ම ඔබේ දෑස් ආරක්ෂා කිරීමට සමත් වෙන්නේ නැහැ. බොහෝ ඒවා අව් කන්නාඩි නෙවෙයි. සාමාන්‍ය  කළු පාට ස්ක්‍රීන් එකක් තියෙන සන්ග්ලාස් එකක් දැමීමෙන් ඔබේ කළු ඉංගිරියාවට සිදු වන හානිය වැඩි වෙනවා. නිවැරදි ප්‍රමිතියකින් යුතු අව් කණ්නාඩියක අනිවාර්යයෙන්ම එහි ප්‍රමිතිය හා UV කිරණ වලින් ආරක්ෂාව සපයන බවට සහතිකයත් මුද්‍රණය කර තිබෙනවා.     

හිරු එලිය නිසා හිස කෙස් වලට වන හානි

  • දුර්වල හිස කෙස් සහිත අයෙකු හිරු එලියට නිරාවරණය වීමෙන් හිස කෙස් වලට හානි සිදු විය හැකියි.
  • රසායනිකයන් අඩංගු විලාසිතාවන් කිරීමෙන් ඔබේ හිස කෙස් දුර්වල වෙනවා. එවැනි විලාසිතා කරන අයෙකුට මෙම කිරණ වලට නිරාවරණය වීම එතරම් සුදුසු නැහැ.
  • ඒ වගේම දුර්වල හිස කෙස් උපතින්ම පිහිටන අයත් ඉන්නවා. එවැනි අයෙකුටත් හිරු එලියට නිරාවරණය වීමෙන් හානි සිදු විය හැකියි.
  • ඔබ හිස කෙස් වර්ණ ගැන්වීමකින් පසු හිරු එලියට නිරාවරණය වුවොත්, හිස කෙස් වල ගැල්වූ වර්ණ දුර්වර්ණ වී යා හැකියි.
  • පාරජම්බුල කිරණ වලින් ඔබේ හිස කෙස් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට පිටතට යාමේදී කුඩයක් සහ තොප්පියක් භාවිතා කිරීම මඟින් පුළුවන්.

සැයු :

  • සාමාන්‍යයෙන් කාන්තාවන් කුඩයක් පාවිච්චි කළත්, පිරිමි පාර්ශවය කුඩයක් පාවිච්චි කිරීමට මැලි වෙනවා. නමුත් පාරජම්බුල කිරණ වලින් සිදු වන හානි ගැන දැනුවත් අයෙක් ඊට මැලි වන්නේ නැහැ.
SHARE