“ඇවිද්ද පය දහස් වටී” කියලා අපේ පැරැන්නන් කියලා තියෙන්නේ නිකමට නෙවෙයි. ඇවිදීම කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුද්දක් කියලා හඳුන්වන්න පුළුවන්. ශරීරයට හොඳ ව්‍යායාම් ක්‍රමයක් ලෙසත්, රෝගා බාධ රැසකට සහනය ගෙන දෙන පුරුද්දක් ලෙසත් ඇවිදීම නිර්වචනය කරන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඇවිදීමේ පුරුද්ද නිසා ඔබ වෙත අත් වන විශ්මිත ප්‍රතිඵල ගැන කතා කරන්න.




1 මානසික සෞඛ්‍යය ඉහල යාම

ඇවිදීම කියන්නේ ශාරීරික ව්‍යායාමයක්. නමුත් එය ඔබේ මනසට පවා හිතරකරයි. පුද්ගලයෙකුට මානසික රෝග වැළඳීමේ අවදානම අඩු කරන්න මේ ඇවිදීමේ පුරුද්දට හැකියාව තිබෙනවා. ව්‍යායාමයක් ලෙස ඇවිදීම සිදු කරන විට Endorphin හෝර්මෝනය උත්තේජනය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික සෞඛ්‍යය ඉහල යාම සිදු වෙනවා. ඔබේ මනසේ ඇති සෘණාත්මක සිතුවිලි පහ වී යනවා.

2 ශරීරය ශක්තිමත් වීම

ඇවිදීම නිසා මිනිසාගේ මස් පිඬු සහ ඇටකටු ශක්තිමත් වෙනවා. මස් පිඬු වල ඇති මේදය ඉහල නම් තරබාරු බවත්, ශක්තිය අඩු වීමත් සිදු වෙනවා. නමුත් ඇවිදීම නිසා මස් පිඬු වල ඇති අතිරික්ත මේදය ඉවත් වී යනවා. තරබාරු පුද්ගලයන් සඳහා ඇවිදීම හොඳ ව්‍යායාමයක් බව නිර්දේශ කර ඇත්තේ ඒ නිසයි. ඒ වගේම ඇට කටු සන්ධි වල පවතින රෝගී තත්වයන් සුව කර දෙන්නත් මේ ඇවිදීමේ පුරුද්දට පුළුවන්.

3 දෙපා වල රෝගී තත්වයන් සුව කර ගැනීමට

ආතරයිටීස් රෝගය ඇවිදීමේ ව්‍යායාමය මඟින් සුව කර ගත හැකියි. තරබාරු පුද්ගලයන්ගේ, මැදිවිය පසු කරන ඇතැම් පුද්ගලයන්ගේ දෙපා ඉදිමීම සහ නහර ගැට ගැසීම වැනි තත්වයන් ඇති වෙනු දකින්න පුළුවන්. පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමය සිදු කරන පුද්ගලයන් තුල මෙවැනි ගැටළු දක්නට ඇත්තේ ඉතාමත් අඩුවෙනි.

4 හදිසි හෘදයාබාධ ඇති වීමේ අවදානම පහව යාම

හදිසි හෘදයාබාධ වලින් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන් මේ කාලයේදී වැඩි වී තිබෙනවා. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමෙහි යෙදෙන පුද්ගලයන්ගේ අධි රුධිර පීඩනය සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය වන නිසා ඔවුන්ට හදිසි හෘදයාබාධ ඇති වීමේ අවස්තාව අඩු වෙනවා.

5 දෑස් වල සෞඛ්‍ය මට්ටම ඉහල යාම

දෑස් වල පීඩනය වැඩි වූ විට පෙනීමේ ගැටළු ඇති වෙනවා. නමුත් ව්‍යායාම සඳහා ඇවිදීමට පුරුදුව සිටින්නෙකුගේ දෑස් වල පීඩනය වැඩි වන්නේ නැහැ. මේ නිසා මැදි වියට ආසන්න වූවත්, ඔවුන්ගේ පෙනීම ආරක්ෂා වෙනවා.

6 පෙනහළු වල රෝගී තත්වයන් අඩු වීම

ඇවිදීම නිසා මිනිස් සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහල යනවා. රුධිරය හරහා මේ ඔක්සිජන් සිරුර පුරා පැතිර යනවා. පෙනහළු වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීමෙන් පෙනහළු නිරෝගී වෙනවා.

7 කශේරුකා පද්ධතියේ සෞඛ්‍ය මට්ටම ඉහල නැංවීම

කශේරුකා පද්ධතියේ ගැටළු ඇති වූ විට කොන්දේ වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. විවිධ හේතුන් නිසා මෙවැනි තත්වයක් උදා විය හැකියි. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමයෙහි නිරත වීමට පෙළඹීම නිසා කොන්දේ ඇති විය හැකි ආබාධයනුත් සමනය වී යනවා. ඇවිදීමෙන් කශේරුකා පද්ධතියේ නම්‍යතාවය වැඩි වීම, ඉහිල් වීම සිදු වෙනවා.

ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් තමන්ගේ කාලයෙන් විනාඩි 15 – 30ත් අතර කාල සීමාවක් ඇවිදීමේ ව්‍යායාමය වෙනුවෙන් වෙන් කරන්න. ඔබ නොසිතු විරු ප්‍රතිලාභ රැසක් ඒ කෙටි කාල සීමාව තුලින් ලබා ගන්න පුළුවන්.

 

SHARE