ර්තමානයේ සෑම තරුණ තරුණියක්ම උත්සාහ කරන්නේ හොඳ රැකියාවක නිරත වෙන්නයි. නමුත් රැකියා ජිවිතයේ ඉහලට ගමන් කරන ප්‍රතිශතය නම් ගොඩක් අඩුයි. ගොඩ දෙනෙක් ලැබුණු තනතුරේම දිගටම වැඩ කරන එකයි. නමුත් ඔබ ඔබේ ජිවන රටාව මේ විදිහට හැඩ ගස්වා ගත්තොත් නොසිතු ලෙස ඔබට උසස් වීම්, වැටුප් වැඩි වීම්, නව වගකීම් ලැබෙන බව නොඅනුමානයි.




1 කාල සටහනකට අනුව වැඩ කරන්න

කාල සටහනකට අනුව වැඩ කරන පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න හරිම ලේසියි. ඒකට හේතුව තමයි කාල සටහනක් ඔබව කාලය නාස්ති කිරීමෙන් මුදවාලීම. සාර්ථක පුද්ගලයෙක් දන්නවා තමන්ගේ කාලය ඵලදායිව භාවිතා කරන හැටි. කාල සටහනකට වැඩ කරන්න පුරුදු වුනාම වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. ඔබට විවේකයෙන් ඉන්න, විනෝදාංශ වල නිරත වෙන්නත් මේ හරහා ඉඩ ලැබෙනවා.

2 නියමිත වෙලාවට වැඩ කරන්න

නියමිත වෙලාවට රාජකාරි කරන එක සාර්ථකත්වය වෙත ගමන් කරන පුද්ගලයෙක්ගේ හොඳ ලක්ෂණයක්. යම් කිසි ව්‍යාපාරික හමුවකට, ආදර හමුවකට ඔබ යන විට කලින් තීරණය කර ගත් නියමිත වෙලාවට සහභාගී වෙන්න. නියමිත වෙලාව පමා කරලා, අනිත් අයට බලන් ඉන්න සලස්වන එක හොඳ ලක්ෂණයක් නෙවෙයි. නියමිත වෙලාවට රාජකාරී ඉටු කරන එක ඔබේ වෘත්තීය සාර්ථකත්වයට විතරක්ම නෙවෙයි, ඔබේ පුද්ගලික සාර්ථකත්වයටත් බලපානවා.

3 සත්‍ය විවේචනයන් පිළිගන්න

ඔබේ යහපත වෙනුවෙන් යමෙක් ඔබේ අඩුපාඩුවක් හෝ වරදක් පෙන්වා දෙනවා නම්, එය පිළිගන්න. ඔබේ නිවැරදි කර ගත යුතු දේවල් නිවැරදි කර ගන්න. ඔබ ජිවිතයේ ඉහලට යන්න යන්න ඔබට විවිධ වූ විවේචන වලට මුහුණ දෙන්නට සිදු වෙන එක සාමාන්‍යයි. ඒවාට ධනාත්මකව මුහුණ දීමට හුරු වීමෙන් ඔබට සාර්ථක පුද්ගලයෙකු වීමේ අඩිතාලම වැටේවි. ඒ වගේම ඔබ වෙත කෙරෙන වැරදි විවේචන නොසලකා හරින්න. ඔබ ලබා ගත යුත්තේ සත්‍ය විවේචන පමණයි.

4 නව දැනුම හඹා යන්න

ඔබ දන්නා දේවල් විතරක් ඇති කියලා හිතාගෙන, ඔබ දැනට නිරත වෙලා ඉන්න රාජකාරිය පමණක් කරගෙන ඉන්න උත්සාහ කරන්න එපා. අලුතින් ඉගෙන ගන්න ලැබෙන හැම දේම ඉගෙන ගන්න. ඔබට යම් පාඨමාලාවක් හැදෑරිය හැකි නම් එම අවස්තාව පැහැර හරින්න එපා. ඔබේ රැකියා ස්ථානය තුලදී වගේම, පිටදීත් ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්නට හැකි නම් ඉගෙන ගන්න. එයින් ඔබේ හැකියාවන් සහ තත්වය ඉහල යනවා. ඔබේ ජීව දත්ත සටහනට තවත් වටිනාකමක් එක් වෙනවා.

5 ඔබ ගැන සිතන්න කාලය වෙන් කරන්න

රාත්‍රී නින්දට පෙර හෝ උදෑසන ඔබ ගැන මඳක් සිතීමට යම් කාලයක් වෙන් කරන්න. ඔබ දැන් සිටින ස්ථානය, ඔබ යා යුතු ස්ථානය, ඒ වෙනුවෙන් ඔබ කල යුතු දේවල්, ඔබ දකින ඔබේ අඩුපාඩු, අන් අය ඔබට පෙන්වා දුන් ඔබේ අඩුපාඩු යනාදිය ගැන සිහි කරන්න. ඔබේ ජිවිතයේ ධනාත්මක වෙනසක් ඇති කර ගැනීමට ඔබ කල යුතු දේවල් තීරණය කරන්න. ඔබ සාර්ථකත්වය වෙත පා නගන බව ඔබටම පොරොන්දු වන්න.

6 ආචාරශීලි ලෙස වචන හසුරුවන්න

ඔබ කටින් වචන පිට කිරීමට පෙර ඒවා ගැන සිතා බලන්න. ඔබේ ආයතනයේ ඔබට වඩා ඉහල තනතුරු දරන අයට වගේම, ඔබට වඩා පහල තනතුරු දරන අයටත් ආචාරශීලි ලෙස අමතන්න. සෑම පුද්ගලයෙකුටම දිය යුතු නිසි ගෞරවය ලබා දෙන්න. අන් අයට ඔබ ගෞරව නොකරන්නේ නම්, සෙසු පුද්ගලයන් අතර ඔබ අප්‍රසන්න පුද්ගලයෙකු වේවි.

7 පෞද්ගලික ජීවිතය සහ රැකියා ජීවිතය පටලවා ගන්න එපා

ඔබේ පෞද්ගලික ගැටළු ඔබේ රැකියා ස්ථානය වෙත ගෙන ආවොත් ඔබට රැකියාවේ වගකීම් නිසි ලෙස ඉටු කර ගන්නට බැරි වෙනවා. උදාහරණ ලෙස ඔබේ සහකරු සමඟ රණ්ඩු වී, එම තරහ රැකියා ස්ථානයේ පහල සේවකයන් පිටින් යැවීමෙන් වලකින්න. ඔබේ නිවසේ මරණයක් වුවොත් නිවාඩු ලබා ගෙන ඔබේ හිත හදා ගැනීම සඳහා එම කාලය යොදවන්න.

SHARE