රැකියාවක් කරන හැම දෙනෙකුම කැමතියි ආයතනය තුල හොඳට වැඩ කරන ගමන් ඉහලට යන්න. කෙසේ වෙතත් ඒ ගමන එතරම් පහසු නොවන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මොන තරම් බාධා ආවත් ඒවාට සාර්ථකව මුහුණ දීලා, ඉහලට යන පිරිස් ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඔවුන් ඉවසිමෙන් ඉහලට ගිය ආකාරය ගැන නිරීක්ෂණය කරලා සකසපු ලිපියක් තමයි අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ.


1 වැඩට ගිය මුල් කාලේ ආපු විවේචන වලින් හිත රිදවා ගන්නේ නැහැ

සමහර ආයතන තුල අලුතින් එන අයව පොඩ්ඩක් විවේචනයට ලක් කරනවා වැඩියි. සමහරු ඒ දේවල් වලට මානසිකව වැටුනත්, සාර්ථක පුද්ගලයන් විවේචන නිසා හිත රිදව ගන්නේ නැහැ. විවේචන තුලින් තමාට ඉගෙන ගත හැකි දේ ඉගෙන ගෙන, අනිත්වා හෙමීට බැහැර කරනවා. ඉවසීමෙන් හැම දේම ඉගෙන ගත්තොත්, කාලයත් සමඟ ඒ ගැටළු අවම වෙලා ඔබ වටා හොඳ මිතුරන් කීප දෙනෙකුත් එක් රැස් වෙනවා.

 

2 ලබා ගත හැකි සියලු අත්දැකීම් ලබා ගන්නවා

ඔබේ වෘත්තීය සාර්ථකත්වය රැඳී පවතින්නේ ඔබ ලබා ගන්නා අත්දැකීම් මතයි. අලුත් දේවල් ඉගෙන ගන්න පසුබට වෙන්න එපා. පුහුණු වීම්, වැඩමුළු, දේශන ආදියට උනන්දුවෙන් සහභාගී වෙන්න. ඔබට කිරීමට නියමිත වැඩ කොටස කලින් නිම වූවොත්, වෙනත් යමක් ඉගෙන ගැනීමට වුවත් පසුබට වෙන්න එපා. සමහර පුද්ගලයන් තමා කලින් වැඩ කල කාර්යාලයේ අනුගමනය කල ක්‍රම අලුත් ආයතනයේත් ක්‍රියාවට නංවන්නට උත්සාහ කරනවා මිස, අලුත් ආයතනයේ ක්‍රම ඉගෙන ගන්නට උනන්දුවක් දක්වන්නේ නැහැ.

 

3 පුද්ගලයන්ව අධ්‍යනය කරනවා

ඔබේ ආයතනයේ වැඩ කරන හැම කෙනෙක්වම අධ්‍යනය කරන්න. ඔබේ ඉහල නිලධාරීන්ගෙන් වගේම, ඔබට වඩා පහල තනතුරු දරන නිලධාරියෙකුගෙන් වුවද ඔබට ඉගෙනීමට යමක් තිබෙන්න පුළුවන්.

 

4 සිතට නැඟෙන නව අදහස් සඟවාගෙන ඉන්නේ නැහැ

සමහර සේවකයන් අදහස් දක්වන්න බයයි. ඒ ප්‍රතික්ෂේප වෙන්න තියෙන බය නිසයි. ඒත් රැකියාවේ ඉහලට යන්න නම් ඒ වගේ දේවල් වලට බය වෙලා බැහැ. ඔබේ අදහස් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ආයතන ප්‍රධානීන්ගේ අතේ තිබෙන දෙයක්. ඒ ගැන ඔබ දුක් විය යුතු නැහැ. නමුත් බය නොවී ඔබේ අදහස් පැවසීම ඔබේ රැකියාවේ ඉහලට යන්න ඔබට උදව් කරාවි.

 

5 පැවරෙන වැඩ රාජකාරී වලට බය වෙන්නේ නැහැ

වගකීම් සහිත රාජකාරියක් පැවරුණු විට බය වෙන්න එපා. ඔබ පිලිබඳ විශ්වාසයක් ඔබ ඇති කර ගත යුතුයි. ඔබට ඔබ ගැන විශ්වාසයක් නැති නම්, ඔබේ ආයතන ප්‍රධානින් කෙලෙස ඔබව විශ්වාස කරන්නද? ඔබ හිතන තරම් ඔබ දුර්වල නැහැ. ඔබ ඔබට පැවරුණු වැඩ නිම කල පසු ඔබටම ඔබේ හැකියාවන් ගැන සතුටු වෙන්නට හැකි වේවි.

 

6 ආචාරශීලි ලෙස හැසිරෙනවා

ඔබ සමඟ වැඩ කරන වෘත්තීය මිතුරන්, ඔබට වඩා පහල මට්ටමේ සේවකයන්, ඔබේ ප්‍රධානින් සහ ගනුදෙනුකරුවන් හැමෝටම එක ලෙස මිත්‍රශීලි වන්න. උදෑසන මුණ ගැසුණු විට සුභ පතන්න. ඔබට යම් උපකාරයක් ලැබුණු විට ස්තුති කරන්න. සෑම අයෙකු සමඟම සිනහමුසුව හැසිරෙන්න.

 

7 උදව් ඉල්ලන්න බය නැහැ  

නොදන්නා දෙයක් අහ ගන්න පසුබට වෙන්න එපා. නිවැරදි උපදෙස් නැතුව අනුමානයට ඔබ විසින් සිදු කරන දෙයක් වැරදී යනවට වඩා, නිවැරදි උපදෙස් ඇතුව යමක් සිදු කරන එක වැදගත් නේද?

 

8 රැකියා ක්ෂේත්‍රයට අදාළ දැනුම එක් රැස් කර ගන්නවා

ඔබ රැකියාව කරන ක්ෂේත්‍රය ගැන අවධානයෙන් සිටින්න. එම ක්ෂේත්‍රයේ ඇති වන වෙනස්වීම්, නව සොයා ගැනීම් ගැන දැනුවත් වන්න. අන්තර්ජාලය හරහා ඔබේ ක්ෂේත්‍රයට අදාළ දේශීය සහ විදේශීය තොරතුරු එක් රැස් කර ගන්න.

 

9 නිතරම උද්යෝගීමත්ව සිටීම  

ආයතන ප්‍රධානින් තුල නිදිබර සහ කම්මැලි පෙනුමකින් යුතු සේවකයන් ගැන ඇති වන්නේ සෘණාත්මක හැඟීමක්. මේ නිසා සෑම විටම ඔබේ ඉරියව් ගැන සැලකිලිමත් වන්න. වෙහෙසක්, නිදිමතක් දැනීම සාමාන්‍ය සිදුවීමක් වුනත් ඒ සෑම විටම සිනහමුසු මුහුණින් සිටින්න.

 


SHARE