මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය හඳුනා ගන්න එක හරිම අමාරු වැඩක්. එකක් කියලා තව දෙයක් කරන්නට සමත්, මිනිසා හැර වෙනත් සත්වයෙක් මේ ලෝකේ නැහැ. ඒක හරියට මුවෙක්ගේ වෙස් මුහුණක් දා ගත්තු කොටියෙක්ගේ ක්‍රියා කලාපය වගෙයි. ඉතින් අපි වටා ඉන්න අය එක දෙයක් කියලා, තව දෙයක් කරනකම් අපිට තේරෙන්නේ නැහැ. මේ වගේ ගතිගුණ කීපයක් ගැන අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කරන්නට තීරණය කළා.




ඇත්ත හෙළි කිරීම මුවාවෙන්, කේලම් පැවසීම

ඔබට හමු වෙලා ඇති ප්‍රශ්නයක් මැද්දට පැනගෙන දෙපැත්තටම කේලම් කියන මිනිස්සු. ඔබට කෙනෙක් කේලම් කියන පලියට ඔහුව විශ්වාස කරන්න එපා. ඔහුට ඔබ ගැනත් කේලම් අනිත් අයට කියන්න බැරි කමක් නැහැ. කේලම් පැවසීම සහ ඇසීම නිසා දැනට තිබෙන ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. මේ වගේ අය නිදහසට කරුණ විදිහට කියන්නේ තමන් සත්‍යවාදී නිසා, ඇත්ත එලි කරනවා කියලයි.

වැරදි වලට විරුද්ධ වීමේ මුවාවෙන්, අනුන්ගේ වැරදි ගැන කතා කිරීම

සමහරු හරිම කැමතියි අනුන්ගේ වැරදි ගැන සාකච්චා කරන්න. යාලුවෝ යාලුවෝ එකතු වෙලා අනුන්ව නැති තැනදී විවේචනය කරන්න ඔවුන් ගොඩාක් උනන්දුයි. ඔවුන් අන් අයගේ වැරදි අඩු පාඩු ගැන සාකච්චා කිරීමෙන් විනෝදයක් ලබනවා. මේක නුසුදුසු ක්‍රියාවක්. එත්, ඔවුන් නිදහසට කරුණ විදිහට කියන්නේ තමන් වරදට විරුද්ධ නිසා අනුන්ගේ වැරදි හෙලා දකින බවයි.

අන් අයට අනුකම්පා කිරීමේ මුවාවෙන්, තමන්ට වඩා ඉහල අයට උපකාර කිරීම

මේ වගේ අය කියන්නේ අනිත් අයට උදව් උපකාර කරන්නේ තමන් ඔවුන්ට අනුකම්පා කරන නිසා කියලයි. එත් හොඳට හොයලා බැලුවොත්, ඔවුන් උදව් කරන්නේ තමන්ට වඩා තත්වයෙන් උසස් අයට විතරයි. හිඟන්නෙක්ට රුපියලක්වත් දෙන්න අකමැති සමහරු, ධනවත් සහ උසස් මිනිස්සුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඉටු කර දෙනවා. ඔවුන් බොහෝ විට එහෙම කරන්නේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙනුයි.

පිං කිරීමේ මුවාවෙන්, ප්‍රසිද්ධ වීම

පිං කර ගන්න ඕනෑ තරම් මාර්ග තිබියදී, ඔවුන් පිං කරන්නේ අනිත් මිනිස්සුන්ට පේන්නයි. ඔවුන් කවදාවත් රහසින් පිං කරන්නේ නැහැ. දුප්පත් අයට උදව් කලොත්, ඒ දේ කරන්නෙත් පත්තර වල නම යන විදිහටයි. කෙනෙක්ට ගෙයක් හදලා දීලා, විශාල ඉදි කිරීම් කරලා ඒ ගැන ටීවී රේඩියෝ වල ප්‍රචාරය කර ගන්නවා.

දියුණු වීමේ මුවාවෙන්, අතීතය අමතක කිරීම

බොහෝ දෙනෙක් සමාජයේ හොඳ තැනකට එන්නේ ගොඩක් අමාරුවෙන්. දුප්පත්ව ඉපදිලා, මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩක් කැපවීම් කරලා ඉහළට ආවට පස්සේ සමහරුන්ට අතීතය අමතක වෙනවා. කුඩා කාලයේදී සිටි මිතුරන්ව, තමන්ට සවියක් වුනු දෙමව්පියන්ව, තමන් හැදී වැඩුණු ගම අමතක කරන මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා.

වර්ණනා කිරීමේ මුවාවෙන්, බොරු පැවසීම

සමහරු ඉන්නවා අනිත් අයව වර්ණනා කරන මුවාවෙන්, අන් අයට බොරු කියන. කෙනෙක්ව දැක්කම පුරුද්දක් විදිහට “අනේ ඔයා සුදු වෙලා, අනේ ඔයාගේ ඇඳුම ලස්සනයි” කියන අය ඉන්නවා. ගොඩක් අය ඒ වගේ බොරු වර්ණනාවල් කරන්නේ අනිත් කෙනාගේ හිත ගන්නයි.

ඉතුරු කිරීමේ මුවාවෙන්, ලෝභකම් කිරීම

කාටවත් නොදී, පරණ රෙදි කෑලිත් එකතු කර ගන්න එක සමහරුන්ගේ පුරුද්දක්. කවද හරි ඕනෑ වෙයි කියලා, ප්ලාස්ටික් පෙට්ටි, ෂොපින් බෑග් එකතු කරන පුද්ගලයන් ඉන්නවා. කාටවත් කිසිම දෙයක් නොදී, තමන්ට අවශ්‍ය දෙයක්වත් මිලදී නොගෙන බැංකු පොත් වල මුදල් එකතු කරන අය ඉන්නවා. ඔවුන් නිදහසට කරුණ විදිහට කියන්නේ ඔවුන් අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා කියලයි.

තමන්ගේ අඩු පාඩු වසා ගැනීමේ අරමුණින්, අනුන්ගේ අඩු පාඩු ඉස්මතු කිරීම

තවත් සමහරු සමාජයට තමන්ගේ අඩු පාඩු හෙළි වීගෙන එන විටම, වෙනත් අයෙකුගේ අඩු පාඩු ඉස්මතු කරවනවා. ඔවුන්ගේ යටි අරමුණ වන්නේ තමාගෙ අඩු පාඩු පිලිබඳ සමාජය තුල ඇති වේගෙන එන කතා බහ යටපත් කර, සමාජයට කතා කිරීමට අළුත් මාතෘකාවක් ලබා දීමයි.

      

SHARE