පි හැමෝටම සිහින තියෙනවා. ඒත් ඒ සිහින ඉටු කර ගන්නේ කීයෙන් කී දෙනාද? පුංචි කාලේදී මවපු හීන වැඩිහිටිවියේදී අමතක කරලා, හිතකවත් තිබුණේ නැති වෙනස්ම පාරක යනවා. ඉතින් කවදාවත් ඔවුන් තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත් වෙන්නේ නෑ. ඇත්තටම අපේ මිනිස්සු ඇයි තමාගේ සිහින ඉටු කර නොගන්නේ? ඒකට හේතු වෙන කරුණු හොයලා බලද්දී, අපිට තේරුණා ඒ හේතු හරිම හාස්‍යජනකයි කියලා. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




06. සිහිනය බර වැඩි වීම

ඔවුන්ට තමන්ගේ සිහිනය පෙනේනේ ඉටු කර ගන්න බැරි සහ විශ්වාස කළ නොහැකි සිහිනයක් විදිහටයි. ඒ වගේ බර වැඩි සිහින ඉටු කර ගන්න බැරි කමක් නැහැ. ඒත් ඒ සඳහා දිගු කාලයක් ගත වේවි.

සහෝදරයන් දෙදෙනෙක්ට පියාඹන්න ආසාවක් ඇති වුණා. ඒ සිහිනය මොන තරම් බර වැඩිද ? පිටින් බැලුවම පේන්නේ ඉටු කර ගන්න බැරි සිහිනයක් කියලයි. ඒත් ඔවුන් ලොකු කාලයක් වෙන් කරලා ගුවන් යානය නිපදෙව්වා. ඒ තමයි රයිට් සහෝදරයන්.


07. දැනටමත් ප්‍රමාදයි කියලා දැනෙන නිසා

වයස්ගත පුද්ගලයන් හිතන්නේ සිහින පසු පස හඹා යෑම ඔවුන්ට අකැපයි කියලා. විවාහ වුණු කාන්තාවක් හිතන්නෙත්, ඔවුන්ට සිහින පසු පස යෑම අකැපයි කියලා. ඒත් ඒ සිතුවිල්ල වැරදියි. ඔබ සිටින තැන ඉඳන් මුල් පියවර තබන්න. සිහින ඉටු කර ගන්න ප්‍රමාදයි කියලා දෙයක් නැහැ.


08. තව කල් තියෙනවා යැයි සිතීම

දැනටමත් ප්‍රමාදයි කියලා සිහින ඉටු කර නොගන්නා මිනිස්සු වගේම, තව කාලය තියෙනවා කියලා හිතාගෙන සිහින ඉටු කර ගන්න මහන්සි නොවෙන මිනිස්සුත් ඉන්නවා. බොහෝ දෙනෙක් මේ හේතුව කියලා, පළමු පියවර නොතබා ඉන්නේ හිතේ තියෙන බය නිසයි. ඔවුන් හිතනවා, තාමත් ඔවුන් සූදානම් නැහැ කියලා. එහෙම නැත්තම් මේ හරි වෙලාව නෙවෙයි කියලා හිතනවා. ඒත් ඔවුන්ගේ හොඳම කාලය ගෙවී යනතුරු ඔවුන් දන්නේ නැහැ.


09. එකවරක් පරාජයට පත් වීම

ගොඩක් අයට පරාජයේ වේදනාව දරා ගන්න බැහැ. ඔවුන් පරාජය දකින්නේ තමන්ගේ ජිවිතයට වුණු මදි පුංචි කමක් විදිහටයි. සමාජයත් ඔවුන්ට ඒ විදිහට හිතන්න සලස්වනවා. සමාජය වැටුණු කෙනාව දිරිමත් නොකර, හිනා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන් ආයෙත් ඒ සිහිනය ඉටු කර ගන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඒත්, විදුලි බල්බය නිපදවපු තෝමස් අල්වා එඩිසන් දහස් වතාවක් අසාර්ථක වූ බව ඔබ දන්නවාද? එක් වරක් වැරදුණා කියන එකේ තේරුම ආයෙත් අනිවාර්යයෙන්ම වරදිනවා කියන එක නෙවෙයි.


10. කාලය මදි කියලා සිතීම

තවත් සමහරු කියනවා තමන්ට තමන්ගේ සිහින වෙනුවෙන් කැප වෙන්න කාලය නැහැ කියලා. ඒත් හොඳින් හිතලා බැලුවොත් ඔවුන්ට අත් හැර ගන්න බැරි පුරුදු ඕනෑ තරම් තිබෙනවා. ඔවුන් ෆේස් බුක් යන්න, රූපවාහිනිය නරඹන්න, මිතුරන් සමඟ විනෝද වෙන්න සහ විවේක ගන්න ඕනෑ තරම් කාලය ගත කරනවා. සිහින ඉටු කර ගන්න ආස වුණත්, තමන්ගේ පුරුදු වලම එල්ලිලා ඉන්න මිනිස්සු කැමතියි. ඒකට හේතුව තමයි ඒ පුරුදු වලින් තමන්ට විනෝදයක් සහ පහසුවක් ලැබීම. ඒවා කැප කරලා, තමාගේ අපහසු සිහින ඉටු කර ගන්න වෙහෙසෙන කෙනා දිනනවා.


11. දැනට ලැබෙන සතුට අත්හැරීමට බැරි කම

සිහින වෙනුවෙන් වෙහෙසෙනකොට තමන් කැමති සමහර දේවල් අත හරින්න වෙනවා. ඒත් ඒ දේවල් අත් හරින්න වෙන්නේ කෙටි කාලයකට විතරයි. සිහිනයක් ඉටු කර ගත්තම ලැබෙන සතුට ඒ හැම දේටම වඩා ඉහළයි කියලා තේරුම් ගන්න මිනිස්සු, තමන්ගේ කෙටි කාලීන සතුට කැප කරලා සිහින ඉටු කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා.


12. ඔවුන්ගේ සිහින සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වීම

මේ ලෝකයේ මිනිස්සු වැඩ කරන්නේ එකම පිළිවෙලකට. එකම ක්‍රමවේදයකට. එතනින් එහාට දෙයක් කරන්න මිනිස්සු හරිම බයයි. සාමානය ක්‍රමයට පිටින් දෙයක් කරන්න ගියොත් පරාජය වෙනවා කියලා බය වෙන මිනිස්සු තමන්ගේ සිහින අමතක කරලා, අනිත් මිනිස්සු යන පාරේම යනවා.


මෙම ලිපියෙ පළවෙනි කොටස සදහා පිවිසෙන්න –

තමන්ගේ සිහින අමතක කරන කම්මැලියන් නිදහසට කියන හාස්‍යජනක හේතු 12ක් – 1 කොටස

SHARE