දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් නොගැලපෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ අදහස් නොගැලපීම් වලට හේතු වන්නේ වයස් පරතරය, අධ්‍යාපන මට්ටම සහ මානසික පීඩනය වගේ හේතු කාරණා කිහිපයක්. මොන තරම් ආදරයෙන් බැඳිලා හිටියත්, මේ අදහස් නොගැලපීම නිසා පවුල් ඇතුලේ පුංචි පුංචි ගැටළු ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් අද අපි myfamily.lk මඟින් ඔබේ මව්පියන් දෙස අළුත් ඇහැකින් බලන ගමන්, මේ වගේ ප්‍රශ්න වලට විසඳ ගන්න පුළුවන් ලේසි ක්‍රම කීපයක් ඉදිරිපත් කරන්න තීරණය කළා.




අදහස් හුවමාරුව

ගොඩාක් පවුල් ඇතුලේ තියෙන ගැටළුවක් තමයි අදහස් හුවමාරු කර නොගැනීම. දරුවෝ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ තනියම, එහෙම නැත්තම් යාළුවො එක්ක. දෙමව්පියෝ එක්ක අදහස් හුවමාරු කර නොගෙන හිටියම පහසුවෙන්ම වැරදි වැටහීම් ඇති වෙනවා. ඔබේ ප්‍රශ්න දෙමව්පියෝ එක්ක සාකච්චා කරන්න. ඔබට යමක් දැනෙන ආකාරය කියන්න බය වෙන්න එපා. හැබැයි ඒ දේ කියන්න ඕනේ සන්සුන්ව. දෙමව්පියෝ එක්ක කෑ ගහගෙන ප්‍රශ්න විසඳන එක සුදුසු නැහැ. ඒ වගේම සුදුසු වෙලාවක අවශ්‍ය දේ කියන්න.

උදා : අම්මා, ඔයා මගේ හැමදේම කරනවට වඩා මම කැමතියි, මගේ වැඩ මටම කර ගන්න තිබුණා නම්. ඒක අම්මටත් පහසුවක්නේ.


වචන දෙස නොව, අර්ථය දෙස බලන්න

දෙමව්පියන්ගේ අතින් අපේ හිත රිදවෙන දේවල් කියවෙනවා. ඒ වෙලාවේදී ඒ කියන වචන වල එල්ලිලා ඉන්නේ නැතුව, එහෙම කිව්වේ ඇයි කියලා ටිකක් කල්පනා කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

“ඔයා කවදාවත් මට උයන්න උදව් කරන නෑ. කියන දෙයක් කොයි වෙලාවකදිවත් අහන්නේ නෑ”

සමහරවිට ඔබ කලින් දවසෙත් ඔබේ මවට උයන්න උදව් කරන්න ඇති. ඉතින් ඔබේ මව “කවදාවත්, කොයි වෙලාවකදීත්” කියන වචන පාවිච්චි කළාම ඔබට තරහා යනවා. ඒත් ඒ කියන වචන ගැන හිතන්න යන්න එපා. ඒ කතාවේ අර්ථය ඔබේ මව මේ මොහොතේ වැඩ වලින් හෙම්බත් වෙලා, පීඩනයට පත් වෙලා ඉන්න බවත්, ඇයට මේ මොහොතේ ඔබේ උදව් අවශ්‍ය බවත්ය.


ඔබ වැඩිහිටියෙක් බව ඔවුන්ට දැනෙන්න දෙන්න

හුඟක් දරුවන්ට දෙමව්පියෝ තනිවම යමක් කරන්න දෙන්නේ නැහැ. යාළුවො එක්ක ගමනක් යන්න දෙන්නේ නැහැ. ඔබ වයසින් වැඩුනත් ඔවුන්ට ඔබව පෙනෙන්නේ පොඩි දරුවන් වගේ. ඉතින් මේකට විසඳුම දෙමව්පියන් සමඟ දබරයට යෑම නෙවෙයි. ඔබ උපක්‍රමශීලීව ඔබ වැඩිහිටියෙක් බව ඔවුන්ට දැනෙන්නට දිය යුතුයි. ඔබ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. ඔබ වගකීමෙන් හැසිරෙන කෙනෙක් බව ඔබේ දෙමව්පියන්ට දැනෙන්නට දෙන්න.

උදා : මුදල් ප්‍රවේශමෙන් භාවිතා කර පෙන්වීම, පොරොන්දු කඩ නොකිරීම, ඔබේ කාමරය පිරිසිඳුව තබා ගැනීම, නිවසට නියමිත වෙලාවට පැමිණීම


ඔබේ දෙමව්පියන්ගෙ අඬ දබර වලදී පැත්තක් නොගන්න

ලංකාවේ තිබෙන ලොකුම ගැටළුවක් තමයි දරුවන් එක් අයෙකුගේ පැත්තක් ගැනීම. ඒකට හේතුව ඔබ ප්‍රශ්නය දකින ආකාරයෙන් එක් අයෙකුව වැරදිකරු කිරීම. ඒත් ගැටළුව තුල ඔබ නොදකින පැත්තක් තිබෙන්න පුළුවන්. ඒ නිසා එක් අයෙකුගේ පැත්ත ගෙන අනෙකාට රිදවන්න එපා. ඒ දෙදෙනාම ඔබේ දෙමව්පියන්.


වෙන් වූ දෙමව්පියන්ට වෛර කරන්න එපා

ඔවුන්ගේ වෙන් වීම නිසා ඔබට විශාල අසාධාරණයක් සිදු වුණා යැයි ඔබට දැනෙන්නට පුළුවන්. ඒත් ඒ ඔවුන්ගේ ජීවිතය. ඔවුන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. බොහෝ දෙමව්පියන් මෙම අයිතිය අමතක කර, දරුවන් වෙනුවෙන් දුක දරාගෙන ජිවත් වෙනවා. නමුත් ඔබේ දෙමව්පියන් ඔවුන්ගේ අයිතිය ප්‍රයෝජනයට ගෙන දැන් සතුටින් ජීවත් වීම ගැන සිතා ඔබත් සතුටු වෙන්න උත්සාහ කරන්න.


මව්පියන් ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබට වඩා ආදරේ බව ඔබට හැඟෙනවාද?

මේ වගේ අවස්ථාවන් ගොඩාක් වේදනාකාරියි. ඒත් ඔබ මව්පියන් හෝ ඔබේ සහෝදරයා සමඟ දබර වීමෙන් මෙය විසඳන්න බැහැ. එතකොට “මුරණ්ඩු දරුවෙක්” කියන නම ඔබට ලියාපදිංචි වෙනවා. ඒ නිසා උපක්‍රමශීලි වෙන්න. ඔබේ සහෝදරයාට හොඳින් සලකන්න. ඔහු ගැන වැරදි දෙමව්පියන්ට කියන්න යන්න එපා. ඔබ මේ විදිහට හැසිරෙද්දී දෙමව්පියන්ට ඔබේ විශේෂත්වය පෙනෙන්න්නට ගන්නවා.

SHARE