ලෝ

භ කම කියන්නේ හොඳ සිතිවිල්ලක් නොවන බව අපි හැමෝම දන්නවා. නමුත් ඕනෑම මනුෂ්‍යයෙකු තුල ලෝභ සිතිවිලි ඇති වෙනවා. ලෝභ කමක් ඇති වන්නේ අනෙකාට යමක් ලබා දීමේදී, තමන් සතු දේ අඩු වන නිසායි. එත් ලෝභ සිතිවිලි නැති කරගෙන, පරිත්‍යාගයට හුරු වීම ඉතාමත් වටිනා ක්‍රියාවක්. පරිත්‍යාගය කියලා කියන්නේ මුදල් පරිත්‍යාගයටම පමණක් නෙවේ. තවත් අයෙකු වෙනුවෙන් තමාගේ කාලය වෙන් කිරීමත් පරිත්‍යාගයක්. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා ලෝභ සිතිවිලි නැති කර ගන්නා ආකාරය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.



ලබා ගැනීමට වඩා, ලබා දීම උතුම් බව මෙනෙහි කරන්න

ලෝභ සිතිවිලි ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ තමා සතු ප්‍රමාණයේ අඩුවක් වීම ගැන ඇති බිය නිසයි. එවැනි සෑම අවස්තාවකදීම පරිත්‍යාගය උතුම් බව සිතන්න. පරිත්‍යාග කිරීම උතුම් බව සියල්ලන්ම පවසන්නේ එය උතුම් ක්‍රියාවක් නිසා බව තේරුම් ගන්න.

ඔබට පරිත්‍යාගයන් සිදු කර ඇති අයව සිහි කරන්න

අප හැමෝටම ජිවිත කාලය තුලදී කාගේ හෝ උපකාරයක් අවශ්‍ය වී තිබෙනවා. මොන තරම් ධනවත් අයෙකුට වුවත් ජීවත් වන්නට තවත් කෙනෙකුගේ උදව් අවශ්‍යයි. ඔබට පුංචි හෝ උපකාරයක් සිදු කර ඇති අයව සිහි කරන්න. ඔවුන්ගේ පරිත්‍යාගය / උදව්ව නිසා ඔබේ ජිවිතයේ ඇති වූ ධනාත්මක වෙනස සිහියට නඟා ගන්න. පරිත්‍යාග කිරීමට හුරු වීමට ඇති හොඳම සහ පළමු ක්‍රමය මෙයයි. මේ එළඹ ඇත්තේ ඔබ ඔවුන්ට කලගුණ සැලකිය යුතු අවස්තාව බව සිතා ඔබ සතු දෙයින් යමක් ඔවුන්ට පරිත්‍යාග කරන්න.

ඔබට උපකාර අවශ්‍ය මොහොතේ උපකාර නොකළ අයව සිහි කරන්න

ඔබට උදව් නොකළ අයව සිහි කරන්න කියන්නේ ඔවුන්ට වෛර කිරීමට නම් නෙවේ. ඔවුන් ඔබට උදව් නොකළ නිසා ඔබට දැනුනු දුක, ඔබ පත් වූ අපහසුතාවය සිහි කරන්න. එවෙලේ ඔවුන් ඔබට ඔවුන් සතු දෙයින් යමක් පරිත්‍යාග කළා නම් ඔබට ඔබේ ප්‍රශ්නය විසඳා ගන්නට තිබුනා නේද? ඉතින් යමක් පරිත්‍යාග කිරීමෙන් තවත් අයෙකුගේ වේදනාවක් අඩු කර ගැනීමට උපකාර කිරීම කෙතරම් හොඳදැයි ඔබම සිතා බලන්න.

ඔබ වෙනුවෙන් පමණක් ජීවත් වීම නවත්වන්න

ඔබේ ලෝකයේ, ඔබේම සිතිවිලි වලට කොටු වී ජීවත් වන විට ඔබට අවට ලෝකය පෙනෙන්නේ නැහැ. ලෝකයේ බොහෝ දුක් විඳින මිනිසුන් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඔබට කල හැකි කුඩා හෝ යමක් සිදු කරන්න. එයින් ලෝකය වඩාත් යහපත් තැනකට ගෙන ඒමට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ඔබෙනුත් දායකත්වයක් වූ බව සිතා ඔබට සතුටු වන්නට හැකි වේවි. එමෙන්ම අන් අයට උපකාර කරන්නට ඔබේ මිතුරන්වත් යොමු කරන්න.

ඔබට කාගේවත් උපකාර අවශ්‍ය නොවේවිද?

ඔබ සමහරවිට කියාවි ඔබට හැම දේම තිබෙන නිසා කාගේවත් පරිත්‍යාගයන් අවශ්‍ය නොවන බව. නමුත් හදිසියේ ඇති වන තත්වයන් මත ඔබට කොයි මොහොතේ, කාගේ උපකාර අවශ්‍ය වේවිදැයි කලින් පවසන්න බැහැ. ඒ වගේම තමයි ඔබ ළඟ නැති මොහොතක ඔබේ ආදරණීයයෙකුට හදිසි උපකාරයක් අවශ්‍ය වූවොත් ඔහුට කුමක් සිදු වේවිද?

ඔබ රැස් කල සම්පත් ඔබට මරණයේදී ගෙන යා නොහැකි බව වටහා ගන්න

අපගේ මරණය කොයි මොහොතේ සිදු වේවිදැයි අපවත් දන්නේ නැහැ. අප හදිසියේ මරණයට මුහුණ දෙන අවස්ථාවේ පටන් අපට අප රැස් කල ධනයට අයිතිවාසිකම් කීමට නොහැකි වෙනවා. මරණය සිදු වී තත්පරයක් ගත වෙන්නටත් කලින් ඒ ධනයේ හිමිකරුවා මාරු වෙනවා. ඔබ ලෝභ කමකින් තොරව අනිත් අයට උදව් කරලා තිබුණා නම්, ඔබේ මරණයෙන් පසු ඔවුන් ඔබව සිහිපත් කරාවි.

කරුණාවන්ත චරිතයක් වෙන්න ඔබට ලැබෙන අවස්තාවක්

පරිත්‍යාගශීලි බව ඇති වන්නේ කරුණාවන්තකමත් එක්කමයි. අනිත් අයගේ දුක දැකලා, ඔවුන්ට අනුකම්පා කරන අයට තමයි ඒ විදිහට උදව් උපකාර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ අනිත් අයට උදව් කරන පුද්ගලයෙක් බවට පත් වීමෙන් හෙළි වන්නේ ඔබ කරුණාවන්ත පුද්ගලයෙක් බවයි.

      


SHARE