පේ ජිවිත කාලයේදී අපිට විවිධ මිනිසුන් හමුවෙනවා. ඔවුන්ගේ ජිවිත වල විවිධ සිහින තියෙනවා. ඔවුන් ඔවුන්ගේ සිහින ගැන අපිත් එක්ක බෙදා ගන්න අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. අපි හුඟක් වෙලාවට කරන්නේ ඒවා ගැන කිසිම අදහසක් දක්වන්නේ නැතුව ඉන්න එකයි. අපිට පුලුවන්නම් ඔවුන්ව දිරිමත් කරන්න, ඒක ගොඩාක් යහපත් දෙයක්. වචනයක් පිට කරන එක අපිට අමාරු දෙයක් නොවුණත්, ඒ වචනයෙන් ඔවුන්ගේ සිහිනයට යන්න දිරිමත් වීමක් ලැබෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. සමහරවිට ඔවුන්ව උනන්දු කරන මහා බලවේගය අපේ ඒ පුංචි වචනය වෙන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




ඔවුන්ට හොඳින් සවන් දෙන්න.

යමෙකු දිරිමත් කිරීමට පෙර ඔබ කළ යුතු හොඳම දේ වන්නේ ඔවුන්ට සවන් දීමයි. ඔහුගේ සිහිනය නිවැරදිව අවබෝධ කර නොගෙන ඔවුන්ව උනන්දු කරන්න ඔබට බැහැ. ඔවුන්ට ඔබ ගැන විශ්වාසයක් ඇති වන්නේත්, ඔබ ඔවුන්ගේ අදහස් වලට හොඳින් සවන් දුන් විටයි. ඔවුන් ඔබගේ වචන වලින් දිරිමත් වන ප්‍රමාණය තීරණය වන්නේ ඔවුන්ගේ සිත තුල ඔබ ගැන විශ්වාසය ඇති කර ගන්නා ප්‍රමාණය මතය.


දිරිමත් කිරීම අවංකව සිදු කරන්න.

කෙනෙක් තමන්ගේ සිහිනය ගැන කිව්වම පුරුද්දට වගේ “ඔව් ඔයාට පුළුවන්” කියන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. නමුත් ඒ වචන වල අවංක බවක් නෑ කියලා දැනුනම අනිත් අය ඒකෙන් කොහොමටවත් දිරිමත් වෙන්නේ නැහැ. ඔබ කියන දේ ගැන ඔබටවත් විශ්වාසයක් නෑ කියලා දැනුනම, අනිත් කෙනාත් ඔබේ වචන ගැන විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවංකව ඔබේ අදහස් දැක්වීම කරන්න. ඔහුගේ සිහිනය ගැන ඔබ සිතන හොඳ සහ නරක පැති දෙකම ගැන ඔහුට කියන්න පසුබට වෙන්න එපා.


ඔබ ගැන පුරාජේරුව එපා.

“මම නම් මගේ සිහින ඉටු කර ගත්තේ මෙහෙමයි. එදා මම හිටියෙත් ඔයා වගේ. ඒත් බලන්න අද මම ඉන්න තැන.” වගේ වචන පාවිච්චි කලාට තව කෙනෙකුව දිරිමත් කරන්න බැහැ.

ඔබ දියුණු වුණු විදිහ ගැන කියමින් ඔවුන්ව දිරිමත් කරන්න යන්න එපා. ඔවුන්ට එය දැනෙන්නේ දිරිමත් කිරීමක් විදිහට නෙවෙයි. ඔබ ගැන පුරාජේරු කියවීමක් විදිහටයි. වෙනත් ප්‍රසිද්ධ මිනිසුන්ගේ අත්දැකීම් ගැන කියමින් ඔවුන්ව දිරිමත් කලාට කමක් නැහැ. ඔවුන් විමසුවොත් පමණක් ඔබගේ අත්දැකීම් ගැන පවසන්න.


ඔවුන්ව සම්පුර්ණයෙන් විශ්වාස කරන බව දැනෙන්නට දෙන්න.

“ඔව් ඔයාට පුළුවන් වෙයි.” කියනවාට වඩා “ඔව්. ඔයාට පුළුවන්.” කියන වචන බලවත් වෙනවා. ඔවුන්ගේ සිහිනයේ සම්පුර්ණ ප්‍රතිඵලය ලැබෙන තුරු ඔබත් බලා සිටින බව පවසන්න.


බාධාවන් ගැන කතා කරන්න.

ඔහුගේ සිහිනයට එරෙහිව, ඔබට පෙනෙන බාධාවන් ගැන ඔවුන්ට කියන්න. ඒ ගැන කතා කරන්න. ඒ බාධා වලට තිබෙන විසඳුම් මොනවා දැයි සොයන්න. නමුත් ඒ බාධා වලට බිය වී අධෛර්යමත් වීමට අනෙකාට ඉඩ දෙන්න එපා. විශාල බාධා ජයගෙන තමන්ගේ සිහින ඉටු කර ගත් අය ගැන අධ්‍යනය කරන්න. ඔවුන් ජයගත් බාධා සහ තමන්ට මුහුණ පෑමට ඇති බාධා සංසන්දනය කරමින් ධෛර්යමත් වීමට අනෙකාට උපකාර කරන්න. ඒවා ජයගත හැකි බවට විශ්වාසයක් ඔහු තුල ඇති කරවන්න.


දිරිමත් කිරීමට වෙනත් මාධ්‍ය යොදාගන්න.

වචනයෙන් දිරිමත් කරනවාට අමතරව ඔබට පුළුවන් තවත් ක්‍රම මඟින් අනෙකාව දිරිමත් කරන්න. දිරිමත් කිරීමේ වීඩියෝ සහ ඕඩියෝ, වදන්, චිත්‍රපට වැනි දේ ඔහුට ලබාදෙන්න. සමාජයේ ඔහු වැනිම සිහින ඉටු කර ගත් අය ගැන ලියවුණු පොත් පත්, සඟරා ලබාදෙන්න.


ඔවුන්ගේ උත්සාහය ගැන ආඩම්බර වන බව පවසන්න.

කෙනෙක් තමාගේ සිහිනය ගැන ආඩම්බර වන බව පැවසීම ඔහුව විශාල ලෙස දිරිමත් කිරීමක්. ඔහුගේ සිහිනය යහපත් අරමුණක් වෙනුවෙන් නම්, ඔබ ඒ ගැන ආඩම්බර වීම ඔහුව සතුටු කරවනවා. බාධා වලට නොසැලී ඉදිරියට යන්නට ඒ වචන ඔහුව පොළඹවාවි.

SHARE