රන්න වැඩ කන්දරාවක් තියෙද්දී දවසට පැය විසි හතරට වඩා තිබුණා නම් කියලා හිතෙන අවස්ථාවන් තියෙනවා. ඒත් අපි කාලය ගත කරන ආකාර ගැන සලකලා බැලුවොත් එහි විවිධ අඩුපාඩු දකින්න පුළුවන්. නිරපරාදේ ගත වෙන කාලයත්, නොවැදගත් දේවල් සඳහා ගත වෙන කාලයත් වැඩියි කියලා අපිටම දැනෙන අවස්ථා තියෙනවා. ඒත් කාලය නිවැරදිව හසුරුවන්න දන්න කෙනාට තමන්ගේ වැඩ රාජකාරී නිම කරලා, විනෝදයට වෙන් කරන්න කාලයකුත් ඉතිරි වෙනවා. ඒ නිසා අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට නිවැරදිව කාලය කළමනාකරණය කරන ආකාරය ගැන කියා දෙන්න.




කාල සටහනක් නිර්මාණය කරන්න.

ගොඩ දෙනෙක් කැමති නැහැ කාල සටහනකට අනුව වැඩ කරන්න. තමන් කැමති වෙලාවට තමන්ට හිතෙන වැඩේ කරන්න තමයි බොහෝ දෙනා කැමති. ඒත් කාර්යයන් පිළිවෙලකට කරන්න නම් කාල සටහනකට අනුව වැඩ කිරීම ඉතා වැදගත්. මොකද ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබට වැදගත්ම වැඩ ටිකයි. එහෙම නැතුව නොවැදගත් වැඩ රාජකාරී මුලින් කළාම අත්‍යවශ්‍ය, වැදගත් වැඩ ටික කරන්න වෙලාව මදි වෙන්න පුළුවන්. ඔබේ කාල සටහන සටහන් පොතක, පරිඝණකයේ හෝ ජංගම දුරකතනයේ සාදා ගන්න පුළුවන්.


එක වර වැඩ කීපයක් කරන්න යන්න එපා.

වැඩ කිරීමේ කලාවක් තිබිය යුතුයි. එක වර වැඩ කීපයක් පටලවා ගත් විට, එක් දෙයකට යොදන අවධානය අඩු වීම නිසා ඒවායේ ප්‍රතිඵලය අඩු වෙනවා. එම නිසා හොඳම දෙය එක් වැඩක් අවසන් වූ පසු ඊළඟ වැඩය කිරීම ආරම්භ කිරීමයි.


ඔබ කිරීමට කැමති දේවලුත් කාල සටහනට ඇතුල් කරන්න.

එක දිගට වැඩ රාජකාරි වල නිරත වීම පීඩනයක් ගෙන දෙනවා. ඒ නිසා ඔබ කළ යුතු දේවල් පමණක් නෙවෙයි, ඔබ කිරීමට කැමති දේවල් වලටත් පුංචි ඉඩක් ඔබේ කාලසටහනෙන් වෙන් කරන්න. එය ඔබට උද්යෝගයෙන් වැඩ කරන්න පෙළඹවීමක් ගෙන දෙනවා. ඔබේ කාල සටහනේ වැඩ රාජකාරි පමණක් තිබුණොත්, ඔබට ඒවා අතපසු කර ඔබ කැමති දෑ කිරීමට සිතෙන අවස්ථා තිබේවි.


සිත අයාලේ යවන දෑ ඉවත් කර ගන්න.

ඔබේ සිත අයාලේ යැවීමට සමත් වන ජංගම දුරකථනය, පරිඝනකය වැනි දෑ ඉවත් කරන්න. වැදගත් වැඩක් කිරීමට පෙර දුරකථනය ක්‍රියා විරහිත කරන්න. ඔබට නිතරම බැලීමට සිතෙන වෙබ් සයිට්, වීඩියෝ, ෆේස් බුක් වැනි දේ වැඩය නිම වන තුරු අවහිර කරන්න.


නිවැසියන්ව දැනුවත් කරන්න.

ඔබට කිරීමට තිබෙන වැඩ රාජකාරී පිළිබඳවත්, ඔබේ කාළ සටහන පිළිබඳවත් නිවැසියන්ව දැනුවත් කරන්න. එවිට අතරමගදී ඔබේ වැඩ රාජකාරි වලට සිදු විය හැකි බාධා කිරීම් අවම වෙනවා.


ඵලදායිම වේලාව හඳුනා ගන්න.

වැඩ කිරීමට සුදුසු වේලාව එකිනෙකාගෙන් වෙනස් වෙනවා. සමහරුන්ට උදේ වෙලාවේ වැඩ කිරීම පහසු වන අතර, තවත් සමහරුන්ට රාත්‍රී වෙලාව පහසු වෙනවා. ඔබේ ඵලදායිම වෙලාව හඳුනාගෙන, ඔබ කළ යුතු වැදගත් වැඩ කටයුතු ඒ වෙලාවේ කිරීමට යොදා ගන්න.


නින්ද අමතක කරන්න එපා.

ගොඩ දෙනෙක් තමන්ගේ වැඩ රාජකාරි ඉවර කර ගන්න හදන්නේ නිදි මරාගෙන. ඒත් එකෙන් වෙන්නේ ඊළඟ දිනයේ තිබෙන වැඩ ටික සාර්ථකව කර ගැනීමට බැරි වෙන එක. නිදි මැරීම ජීවිතයට එක් කරන්නේ අනවශ්‍ය වෙහෙසක්. ඒ වගේම ඔබ අසනීප වෙන්නත් ඉඩ තියෙනවා. අසනීප වුණාම දිගු කාලීනව විවේක ගැනීමට සිදු වෙන නිසා කොහොමත් වැඩ අතපසු වෙනවා.


උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා.

වැඩ රාජකාරි අධික වෙලාවට තව කෙනෙක්ගෙන් උදව් ගන්න සමහරු හරි ලැජ්ජයි. තවත් සමහරුන්ට අනිත් අය නිවැරදිව වැඩේ කරයිද කියලා විශ්වාස නැහැ. ඒත් පුංචි උදව්වක් ලබා ගැනීමෙන් ඔබට ලොකු සහනයක් ලැබෙන්න පුළුවන්. මුදල් ගෙවලා ඔබට කිරීමට ඇති වැඩ කාට හරි පවරන්නත් ඔබට පුළුවන්.


දවස අවසානයේ හැරී බලන්න.

ඔබ සකස් කරගත් කාල සටහනට අනුව වැඩ ටික වෙලාද කියලා අවසානයේදී බලන්න. කරගන්න බැරි වුණු වැඩ තියෙනවා නම් ඒ ඇයි කියලා හිතන්න. ඔබට අද දවසේ ඇති වුණු බාධා, හෙට දවසේ ඇති නොවෙන්න වග බලාගන්න.

SHARE