මිතුදම් ඇතැම් වේලාවන් වලදී අපට සතුටක් ගෙනත් දුන්නත්, තවත් විටෙක අපේ මානසික ආතතිය වැඩි වීමටත් හේතුවක් වෙනවා. සමහර වෙලාවට අපේ නොගැලපෙන මිතුදම් අපිට අනවශ්‍ය කරදර ගෙන එන අවස්ථා තිබෙනවා. ඔබට නොගැලපෙන මිතුරන් ඔබේ ජිවිතයෙන් මඳක් දුරස් කර තබා ගැනීමෙනුත්, ඔබට ගැලපෙන මිතුරන් රැක ගැනීමෙනුත් මේ ගැටළු මඳක් විසඳාගත හැකියි. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය හරහා මානසික ආතතියකින් තොර යහපත් මිතුරු ඇසුරක් පවත්වා ගන්නා ආකාරය ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.




ඔබට නොගැලපෙන මිතුරන් සමඟ මේ විදිහට ගනුදෙනු කරන්න

  • ඔබේ මානසික ආතතිය ඉහල දමන පළමු මිතුරා හැඟීම් මත සෙල්ලම් කරන්නෙක්. ඔහු ඔහුගේ ගැටළු වලදී කෙසේ හෝ ඔබගේ අනුකම්පාව සහ සහාය ලබා ගැනීමට දක්ෂ පුද්ගලයෙක්. නමුත් ඔබගේ ගැටලුවකදී නම් ඔහුගේ හිත උණු වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී ඔහුගේ උදව් නම් ඔබට ලැබෙන්නේ නැහැ. මේ මිතුරන් නිසා ඔබේ කාලය සහ ශක්තිය නිරපරාදේ නාස්ති වෙනවා. මේ සඳහා ඇති හොඳම විසඳුම මේ මිතුදමට තිත තැබීමයි.
  • මීළඟ මිතුරා නිතරම අනුන්ගේ වැරදි සහ අඩුපාඩු කියවන්නෙකි. ඕපාදුප අසන්නට අකමැති, තමන්ගේ පාඩුවේ සිටීමට කැමති බොහෝ දෙනෙකුට මෙවැනි මිතුරන් පුදුම කරදරයක් ලෙස දැනීම පුදුමයට කරුණක් නොවේ. මේ වගේ මිතුරෙකු සමඟ පැය කීපයක් ගත කළ පසු ඔබට දැනෙන්නේ විශාල වෙහෙසක් සහ ආතතියක්. මේ වගේ මිතුරන් අත් හැර දැමීමට අවශ්‍ය නැහැ. නමුත්, ඔබ එවැනි කතා බහකට අකමැති බව මිතුරාට කාරුණිකව සහ ස්ථිරව පැවසිය යුතුයි.
  • ඔබේ මානසික ආතතිය ඉහල දමන මීළඟ මිතුරා සෘණාත්මක පුද්ගලයෙකි. ඔහු මුව විවර කළොත්, විවර කරන්නේ මැසිවිලි නැගීම සඳහායි. ඔහුට නිතරම කියන්නට තිබෙන්නේ ඔහුට නැති දේවල්, ඔහුගේ නොලැබීම් සහ ඔහුගේ අවාසනාව ගැනය. ඔහු සතු දේවල් ඔහුට කොහොමටවත් පෙනෙන්නේ නැත. ඔහුට ධනාත්මක වීමට උගන්නන්නට උත්සාහ කරන්නන් ඉබේම සෘණාත්මක පුද්ගලයන් බවට පත් වීමට ඉඩ තියෙනවා. ඉතින් ඔබට ඔහුට කියන්නට ඇත්තේ මෙපමණය. “මට අපේ මිතුදම වටිනවා. ඒත් ඔබේ සෘණාත්මක සිතිවිලි එක්ක මේ දේ ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. ඔයා හිතන විදිහ වෙනස් කර ගන්න කැමති දවසට, මම ඔයා එක්ක ඉන්නවා.”

ඔබේ මිතුරන් සමඟ නිවැරදිව ගනුදෙනු කරන්න

  • ඔබට ගැලපෙන මිතුරන්ගේ පුංචි පුංචි අඩුපාඩු නොසලකා හරින්න. අඩුපාඩු නැති කෙනෙක් නැහැ. මිතුරන්ගේ යහපත් ගුණ වලට ගරු කරන්න. ඔබේ කෙටි පණිවිඩයට පිළිතුරු එවන්න ප්‍රමාද වුණු නිසා, ඔබත් එක්ක ගමනක් යන්න එන්න බැහැ කියපු නිසා වගේ හේතූන් වලට මිතුරන් සමඟ තරහ වෙන්න යන්න එපා.
  • මිතුරන් නිවැරදිව වටහා ගැනීමට හුරු වන්න. ඔවුන්ගේ ගැටළු වලදී සහයට එන චරිතයක් වන්න. ඔවුන් හා අවංක වන්න. ඔවුන්ගේ ගැටළු වල ඔබ දකින හොඳ සහ නරක යන දෙකම ගැන කතා කරන්න. ඔවුන්ගේ සිත් රිදවීමට හෝ, ඔවුන් කැමති දේ කරමින් රඟපාන්නට නොයන්න. අවශ්‍ය තැනදී කිව යුතු දේ නිවැරදිව පවසන්න.
  • ගැටළු ඉක්මනින් විසඳා ගැනීම හොඳ මිතුරුදමක ලක්ෂණයක්. දෙදෙනා අතර යම් ගැටළුවක් ඇති වූ විට එය ඉක්මනින් විසඳා ගන්න. ගැටළු හිතේ තියාගෙන ඉද්දි අමනාපය වර්ධනය වෙනවා. ඔබට දැනෙන ආකාරය ගැන ඔබේ මිතුරාට පවසන්න. අනෙකා මුලින් කථා කරන තුරු බලා සිටින්න එපා. මිතුදම ආරක්ෂා කර ගැනීමේ පළමු පියවර ඔබ තබන්න.
  • දෙදෙනෙකු අතර ඇති වන ගැටළු සාකච්චා කළ යුත්තේ මුහුණට මුහුණයි. සමාජ ජාලා වල ප්‍රසිද්ධියේ කමෙන්ට් කර ගනිමින් බැන ගන්නා මිතුරන් ඉන්නවා. එවිට වන්නේ අමනාපය දුර දිග යාමත්, බලා සිටින්නන්ගේ සිනහවට ලක් වීමත්ය. මෙසේජ් කරමින් සාකච්චා කිරීමට යෑම නිසා එක් අයෙකු පවසන දේ අනිත් කෙනා වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබෙනවා. මේ නිසා ගැටළු සාකච්චා කිරීමේ ක්‍රමය මුණ ගැසී කරන සාකච්චාවයි.    

 

SHARE