ගැහැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



නතාරි තීරණය කළා කෙලින්ම පහන්ට කෝල් නොකර පහන්ගේ අම්මට කෝල් කරන්න.

ටික වෙලාවක පස්සේ ඇය පහන්ගේ අම්මට කෝල් එකක් ගත්තා.

“අම්මේ, මම නතාරි කතා කරන්නේ. පහු ගිය ටිකේම අම්මගෙන් මිස් කෝල් ඇවිත් තිබුණු නිසයි මම මේ ගත්තේ.” නතාරි තමන්ගේ උවමනාව සඟවාගෙන කතා කරන්න පටන් ගත්තා.

නතාරිගේ කට හඬ ඇහුනු සුජාතාට හැඬුම් ආවා.

“අනේ මගේ දුවේ, මට සමාවෙන්න දුවේ. මම එච්චර කෝල් ගත්තේ දුවගෙන් සමාව ඉල්ලන්නයි. අනේ ආයේ ගෙදර එන්න දුවේ. මගෙන් වෙච්ච වැරදි වලට පුතාට දඬුවම් කරන්න එපා.” සුජාතා කිව්වේ හඬා වැටෙන ගමන්.

දිගු සුසුමක් හෙලපු නතාරි අන්තිමේදී හඬ අවදි කළා.

“අම්මා නිසයි අම්මේ මේ හැමදේම වුනේ. අවුරුදු ගානක් තිස්සේ අම්මගෙන් අපහස විඳලා විඳලා, අන්තිමේදී වරද අම්මගේම පුතාගෙයි කියලා දැන ගත්තම මගෙත් ඉවසීමේ සීමාව පැන්නා. මම අම්මගේ කෝල් පහු ගිය ටිකේ ආන්ස්වර් නොකර හිටියෙත් මගේ හිත හැදෙනකම්. දැන් මම මගේ හිත හදා ගත්තා.”

“මට සමාවෙන්න දුවේ.” ආයෙමත් සුජාතා අසරණ ලෙසින් කිව්වා.

“පහන් එක්ක එකතු වෙන්න මම කැමතියි අම්මේ. පහන්ට ඒක කියන්න. මගේ හිතේ කෑ ගැනවත් තරහක් නෑ අම්මේ දැන්.” කියපු නතාරි දුරකථන ඇමතුම විසංධි කරලා දැම්මා.

සුජාතා එවෙලේම දිව්වේ වත්ත පහල ඉන්න අතුලව හොයාගෙන.

“මහත්තයා, මහත්තයා නතාරි කෝල් කළා. අනේ ඒ දරුවා අපේ පුතා එක්ක එකතු වෙන්න කැමතිලු.” සුජාතා කිව්වේ ඇස් වල කඳුළු පුරෝගෙන. අතුල ඇය දෙසට හැරිලා ලස්සනට හිනා වෙලා බැලුවා.

“සුජාතා ගොඩක් සතුටින් වගේ.” අතුල ඒ හිනාවෙන්ම කිව්වා.

“අනේ ඔව් මහත්තයා. මම නිසා නිවෙන්න ගිය පහන ආයේ දැල්වෙන්න යන එක මට පුදුම සැනසීමක් ගෙනත් දෙන්නේ මහත්තයා.” සුජාතා කිව්වේ බොහොම හැඟීම්බරව.

“අපි හැම දේම කාලයට භාර කරමුකෝ සුජාතා. හැම දේම හොඳින් විසඳෙයි.” කියපු අතුල ආයෙත් ඉදිරිය බලා ගත්තා.

අතුල දිහා බලාගෙන මොහොතක් හිටපු සුජාතා ආයෙත් ගේ ඇතුලට ගියේ මුමුනමින්.

“මේ මනුස්සයා එක්ක මට හිතෙන දේවල් කියලා කිසිම ඵලක් නැහැ. සතුටකදී ඒ සතුට විඳින්නවත් ඇයි මේ මනුස්සයට බැරි?”

එදා පහන් ගෙදර එන තුරු සුජාතා බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. ඒ නතාරි කියපුවා ඔහුට පවසා දෙදෙනාව නැවත එකතු කරවන්නයි.

ඒත්, සුජාතාගේ කතාව අහපු පහනුත් අතුල වගේම යන්තම් හිනා වෙලා නිහඬ වෙද්දී ඇයට දැනුනේ ඇගේ හදවත පිළිස්සෙනවා වගෙයි.

“ඇයි පුතා මේ? පුතාට සතුටු නැද්ද?” සුජාතා ඇහුවේ වේදනාවෙන්.

“මොනවට සතුටු වෙන්නද අම්මේ? ආයේ නතාරි කතා කලොත් කියන්න මාත් එක්ක එකතු වුනා කියලා එයාට ලැබෙන දෙයක් නැහැ කියලා මම කිව්වා කියලා. එයාට ඩිවෝස් එක ඉල්ලන්න කියන්න, මම දෙන්නම් කිව්වා කියන්න. වඳ භාවය කියන්නේ දික්කසාද වෙන්න අවසර තියෙන හේතුවක්.”

පහන් සාමාන්‍ය කට හඬින් කියාගෙන යද්දී සුජාතා දෙපා පණ නැතුව එතනම තිබුණු පුටුවකට කඩාගෙන වැටුණා.

“අනේ පුතා, එහෙම කියන්න එපා. අනේ ඔය දෙන්නා ආයේ එකතු වෙනවා දකින එකයි මේ අම්මගේ එකම හීනය.” සුජාතා හඬා වැටෙමින් කියද්දී පහන් හැරිලා බැලුවේ කෝපයෙන්.

“අම්මේ මේ, මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. අම්මගේ ඉස්සර තිබුණු එකම හීනේ මුනුබුරෙක් දකින හීනය නේද? දැන් ඒ හීනේ අමතක වෙලාද? දැන් මොකද මේ අලුත් හීනයක්? මම නිසා නතාරිගේ ජීවිතය නාස්ති වෙන්න ඕනේ නැහැ. ඒක මම තීරණය කරලා ඉවරයි. ආයේ මේ ගැන මාත් එක්ක කතා කරන්න එපා.”

සුජාතා ගල් ගැහිලා වගේ පහන් දිහා බලාගෙන ඉද්දි එතනට හෙමිහිට ඇවිදගෙන ආවේ අතුල.

“පුතා, ඔහොම කේන්ති අරගෙන ප්‍රශ්න විසඳන්න බෑනේ. ඔහොම පැත්තකින් වාඩි වෙලා කියන්නකෝ බලන්න පුතාගේ තීරණය.”

“ මම නතාරි එක්ක තරහකට මෙහෙම කියනවා නෙවේ තාත්තා. ඒත් මට ආයේ එකතු වෙන්න බැහැ. ඒක නතාරිට වගේම මටත් හොඳයි. එදා වුනේ හොඳ දෙයක් නෙවේ. නතාරිට අම්මා කරපු වෙනස්කම් කවදාවත් අමතක කරන්න බැහැ. මට දරු ඵල නැහැ කියන එක එයාට අමතක කරන්න බැහැ. සැරින් සැරේ අපි අතරේ පුංචි ප්‍රශ්නයක් ආවත්, නතාරිගේ කටින් මේ දේවල් පිට වෙයි. මට බොරුවට හිත රිද්ද ගන්න ඕනේ නෑ තාත්තා. මට ආයේ ආයේ විඳවන්න බැහැ.” පහන් කිව්වේ කලකිරුණු හඬකින්.

“පුතා එතකොට නතාරි එක්ක එකතු වෙන්න බෑ කියන්නේ නතාරිගේ අතින් පුතාගේ හිත රිදෙයි කියන බය නිසාමද?” අතුල ඇහුවේ සැකෙන් වගේ.

දිගු සුසුමක් හෙලපු පහන් මඳක් නිහඬවම හිටියා. ඊට පස්සේ ඔහු හෙමිහිට මෙහෙම මිමිනුවා.

“නතාරි මට අන්තිම මොහොතේ බැනලා, අපහස කරලා ගිය විදිහ මටත් අමතක කරන්න බැහැ තාත්තේ. ඒ එයාගේ වේදනාව පිට වුනු හැටි කියලා මම නොදන්නවා නෙවේ. ඒත්, එයා කොහොමද ඒ වගේ දේවල් මට කිව්වේ කියලා මට හිතා ගන්න බැහැ. ආයෙත් එයාගේ කටින් මට වඳ පිරිමියෙක් කියලා අහ ගන්න මට වෙයි කියලා මට බයයි තාත්තේ. මට ඇත්තටම දැන් ඕනේ නිදහසේ ඉන්න.”

පහන් කියන දේවල් වලට සුජාතාට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.

SHARE