ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.


“හොඳයි පුතා. ඒත් නතාරි ආයේ පුතාට කතා කරන දවසක හරි, පුතා නතාරිට කතා කරන දවසක හරි පුතා මේ බව පැහැදිලිව ඒ දරුවට කියන්න ඕනේ. තේරුනාද? කවදා හරි එකතු වෙන්න ලැබෙයි කියලා හිත හිත ඒ දැරිවිට බලාගෙන ඉන්න සලස්වන්න එපා. තේරුනාද පුතේ?” අතුල කියද්දී පහන් විස්මයෙන් ඔහු දිහා බැලුවා.

“ඒ කිව්වේ තාත්තේ?”

“පුතා ඕක පැහැදිලිව නොකිව්වොත්, පුතා නතාරිගෙන් පලි ගත්තා වාගේ වෙනවා.”

“අනේ තාත්තේ මට නතාරිගෙන් පලි ගන්න ඕනේ නැහැ කවදාවත්. අපේ පැත්තෙනුත් එයාට ගොඩක් වැරදි වුනා.”

“ඒක තමයි දරුවෝ මම කියන්නේ. එකතු වෙන්න පුතාගේ හිතේ අදහසක් නැත්නම්, ඒ බව පුතා නතාරිට පැහැදිලිව කියන්න ඕනේ කියලා.” අතුල කියද්දී සුජාතා කලබලයට පත් වුනා.

“මොනාද මහත්තයා මේ කියන්නේ? දරුවෝ දෙන්නව කොහොමහරි එකතු කරන්න බලනවා මිසක්, මේ විදිහට වෙන් වෙන්න එයාලට උඩ ගෙඩි දෙන එකේ තේරුම මොකද්ද?” සුජාතා ඇහුවේ ඒ කලබලයෙන්මයි.

පහන් අහක බලා ගත්තේ අමනාපයෙන්.

“සුජාතා, මම දරුවන්ගේ තීරණ වලට ඇඟිලි ගහන්නේ නැහැ. හිතින් වෙන් වුනාට පස්සේ දෙන්නෙක්ව ගතින් එකතු කරලා තියලා වැඩක් තියෙනවද කියලා සුජාතා හෙමිහිට කල්පනා කරලා බලන්න. පුතා, දැන් ඔයා ගිහින් වොෂ් එකක් දා ගන්න.” කියපු අතුල එතනින් නැගිටලා ගියා. පහනුත් නැගිටලා ඔහුගේ කාමරයට ගියේ සුජාතාව එතැන තනි කරමින්.

ඊළඟ දවසේ මහේෂි කෑමත් උයාගෙන, ඒවා පාර්සල් කරගෙන ත්‍රිවිල් එකකින් අරගෙන පහන්ගේ ඔෆිස් එකට අරගෙන ගියා.

ඔෆිස් එකේ පිරිස බොහොම උනන්දුවෙන් මහේෂිගේ කෑම මිලදී ගන්න දිහා මහේෂි බලාගෙන හිටියේ සතුටින්. ඊට පස්සේ මහේෂි පහන්ගේ කෑම එකත් අරගෙන පහන්ගේ රූම් ඒකට ගියා.

“සර්, මෙන්න සර්ගේ කෑම එක.”

“ආ මහේෂි.. තෑන්ක්ස්. කීයද කෑම එකට?” හිස ඔසවලා බලපු පහන් ඇහුවා.

“අපෝ මට සර්ගෙන් සල්ලි එපා.” හිනැහෙමින් කියූ මහේෂි යන්නට හැරුනා.

“එහෙනම් යන ගමන් මේ කෑම එකත් අරගෙනම යන්න.” එකවරම කියූ පහන් දෙස මහේෂි හැරිලා බැලුවේ පුදුමෙන්.

“බිස්නස් එකක් කියන්නේ බිස්නස් එකක්. පෞද්ගලික හිතවත්කම් බිස්නස් වලට අදාළ කර ගන්න ගියෝතින් ඔයාට වැඩි දුර යන්න ලැබෙන්නේ නැහැ. අනිත් එක අමතක කරන්න එපා මම ඔයාගේ තරහකාරයෙක් කියලා.”  පහන් කියද්දී මහේෂි තවත් පුදුමයට පත් වුනා.

“මොකද්ද සර් ඒ කතාවේ තේරුම?”

“මට නොමිලේ කෑම දෙන්න තරම් යාළුකමක්, හිතවත්කමක් අපි අතරේ නැහැනේ. මම ඔයාගේ ජොබ් එක නැති කරපු මනුස්සයනේ.” පහන් කිව්වේ ඇය වෙත රුපියල් 200ක් දිගු කරන ගමන්.

“ඒ වුනාට සර් නිසානේ මෙහෙ අනිත් අය මගෙන් කෑම ගන්න කැමති වුනේ.” මහේෂි මුදල් අතට නොගෙනම කිව්වා.

“මේ ඔයා සල්ලි ගන්නවද, නැත්තම් කෑම එක අරගෙන යනවද? මට වැඩ තියෙනවා.” පහන් කිව්වම මහේෂිගේ මුහුණ අඳුරු වෙලා ගියා.

මහේෂි නිහඬවම රුපියල් 200 අරගෙන ඉතුරු සල්ලි දීලා, කාමරයෙන් පිට වුනා.

“මෙයාගේ කට වැහිලා වගේ. මොකද දන්නේ නැහැ.” පහන් තනිවම හිනා වෙමින් හිතුවා.

ඒත් මහේෂි හිටියේ කියාගන්න නොතේරෙන දුකකින්. පහන් තමන්ට සලකන්නේ අගෞරවයෙන් වගේ කියලයි මහේෂිට දැනුනේ. පළමු වතාවට තමා රැකියාවක් නොකර මේ වගේ බිස්නස් එකකට අත ගහපු එක වැරදි දෙයක්දෝ කියලා ඇයට හිතෙන්නට පටන් ගත්තා.

“සර් මම ඔෆිස් එකේ වැඩ කරද්දීවත්, මාත් එක්ක තරහ ගිය වෙලාවකවත්, අඩුම තරමේ මාව ඔෆිස් එකෙන් අයින් කරපු දවසේවත් මේ විදිහට හැසිරුනේ නැහැ. ඒත් දැන් මම තත්වයෙන් පහත් කෙනෙක් කියලද දන්නේ නෑ ඒ මනුස්සයට දැනෙන්නේ.” මහේෂි හිතුවේ දුකෙන්. ඒත් මොහොතකින් ඇයගේ හිතට කෝපයක් දැනෙන්න පටන් ගත්තා.

“මම මොනා කලත් කාටවත් මොකද? මේ ලෝකේ උසස් පහත් කියලා රස්සාවල් නෑනේ. පහන් සර් කියන්නේ මිනිස්සු කරන රස්සාවෙන් අනිත් අයව මනින මනුස්සයෙක් නම් මට කරන්න දෙයක් නැහැ. මම කීයටවත් මේ කරන දේ අත අරින්නේ නැහැ. ලස්සනට ඇඳගෙන ඔෆිස් යන එකමද ජිවිතේ කියන්නේ? මේ වගේ දෙයක් කරලා ඉහලට යන්න හදන එක වැරදි නෑනේ. එයා ඕනේ පාර්ට් එකක් දාපුදෙන්. මම නම් ගණන් ගන්නේ නැහැ.” ඇය හිතුවේ තරහින්.   

පහන් ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. ඉතින් පහන්ගේ වරින් වර වෙනස් වෙන හැසිරීම, කතා බහ ඇය දැක්කේ වැරදියටමයි.

පහන් කෝල් කරාවි කියලා තවත් දින කීපයක් බලාගෙන හිටපු නතාරි මේ වෙද්දී හෙම්බත් වෙලා තිබුණා.

“ෂුවර් එකටම අර ගෑනි පහන්ට කිව්වේ නැතුව ඇති මම කතා කළා කියලා. අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ?” නතාරි සුජාතා ගැන තරහින් හිතන්නට පටන් ගත්තා.                   


SHARE