ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



මේ අතරේ මහේෂිට නොහිතපු කරදරයකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබුණා. ඇය බෝඩ් වෙලා හිටපු කාමරයට ඇය ගෙවිය යුතුව තිබුණු ගණන දෙගුණයකටත් වඩා වැඩි කරන්නට එහි අයිතිකරු තීරණය කරලා තිබුණා. ඔහු කිව්වේ ඇයට එම කාමරය ලබා දුන්නේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නොවන බවයි.

“ඔය ළමයා රස්සාවක් කරනවා කියපු නිසයි අපි කාමරේ දුන්නේ. දැන් ඉතින් ඔය ළමයා මෙතන බිස්නස් කරන්න පටන් අරන්නේ. ඒ නිසා මිට පස්සේ කාමරේට 18,000ක් දෙන්න වෙයි.”

අයිතිකරු කියද්දී මහේෂි උඩ ගිහින් බිමට වැටුණා.

“අනේ අන්කල්, මම මෙතන ඉව්වා කියලා අන්කල්ට වෙන පාඩුව මොකද්ද? මම උයන්නේ දර ලිපක් ගහගෙන. අන්කල්ගේ කරන්ට් එකවත් නාස්ති කරන්නේ නැහැ මම.” මහේෂි කිව්වේ හැඬුම්බර හඬකින්.

“ඒ වුනාට ඔච්චර බත් කන්දරාවක් උයද්දී වතුර නාස්ති වෙනවා වැඩි.”

“අන්කල්, මිට පස්සේ මම වතුර බිල ගෙවන්නම්.” මහේෂි කිව්වේ වතුර බිල කවදාවත් 18,000ක් නොවෙන බව දන්නා නිසයි.

“මේ ළමයෝ, කිව්ව විදිහට ගෙවන්න බැරි නම් ඔය ළමයා වෙන තැනක් හොයා ගන්න.” නොරිස්සුමෙන් කියපු ඔහු යන්නට හැරුණා. මහේෂිට පහසුවෙන් තැනක් හොයා ගන්න බැරි බව ඔහු හොඳින්ම දැනගෙන හිටියා. ඔහුගේ අරමුණ වුනේ මාස කීපයක් යනකම් මහේෂිගෙන් වැඩි මුදලක් ලබා ගැනීමයි. මාස කීපෙකින් මහේෂි අලුත් තැනක් හොයා ගත්තත්, ඔහුට පරණ මිලටම වෙන කාට හරි කාමරය දෙන්න පුළුවන් බව ඔහු දැන සිටියා.

මේ අමාරු මොහොතේ මහේෂිට මුලින්ම මතකයට නැගුනේ පහන්ව. ඒත් පහු ගිය ටිකේ පහන් හැසිරුණු නොරිස්සුම් සහගත විලාශය නිසා මහේෂි පහන්ට කතා කිරීමේ උවමනාව අමාරුවෙන් යටපත් කර ගත්තා.

ඊට පස්සේ ඇය නෙතුම්ට කිහිප වරක්ම ඇමතුවත්, නෙතුම් දුරකතනයට පිළිතුරු දුන්නේ නැහැ.

ඉතින් ඇය ඒ වෙනකොටත් උයලා තිබුණු බත් මුල් ටික අරගෙන ත්‍රිවිල් රථයට ගොඩ වුනා. එතකොටම ත්‍රිවිල් රථය ලඟට බෝඩිමේ අයිතිකරු ඇවිත් මෙහෙම කිව්වා.

“මේ ළමයෝ, හෙටින් අලුත් මාසේ පටන් ගන්නවා. ඔය ළමයා සල්ලි ටික ලැස්ති කරගෙන එන්න.”

මහේෂි එයට වචනෙකින්වත් පිළිතුරු දෙන්නේ නැතුව පිටත් වුනා.

“අන්තිම මොහොතේ කිව්වම මට බෝඩිමක් හොයා ගන්න බෑ කියලා මේ මනුස්සයා හොඳටම දන්නවා. මෙහෙමත් මිනිස්සු.” මහේෂි හිතුවේ නොරිස්සුමෙන්.

මහේෂිගේ වාසනාවටද කොහෙද එදා පහන් හිටියේ හොඳ මුඩ් එකකින්. තාත්තා එක්ක කතා කලාට පස්සේ පහන්ගේ හිතට හරිම සැනසුම් සහගත බවක් දැනෙමිනුයි තිබුනේ.

ඉතින් ඔහුට ඉක්මනින්ම මහේෂිගේ මුහුණේ තිබුණු වෙනස්කම අඳුන ගන්න පුළුවන් වුනා.

නිහඬවම තමන්ට බත් එක දීලා හැරිලා යන්න හදපු මහේෂිව ඔහු නැවැත්තුවා.

“මොනවා හරි ප්‍රශ්නයක්ද මහේෂි?” කාලෙකට පස්සේ පහන් කරුණාවෙන් කතා කරද්දී මහේෂි හැරිලා බැලුවේ පුදුමයෙන්.

“සර්..” ඇය හෙමිහිට කෙඳිරුවා.

“ඇයි මුණත් එක්ක මැලවිලා ගිහින්? අසනීපයක්ද? නැත්තම් ප්‍රශ්නයක්ද?” පහන් අහද්දී මහේෂි හැරිලා ඔහු වෙත ආවා.

“ලොකු ප්‍රශ්නයක් සර්. මම බෝඩිමට සල්ලි දෙන්න තියෙන්නේ හෙට.”

“ඇයි ඔයා ගාව සල්ලි නැද්ද? මම දෙන්නම් ඔයාට නැත්තම්.” පහන් කියද්දී මහේෂි තවත් පුදුම වුණා.

“මට සල්ලි තියෙනවා සර්. මේ මනුස්සයා කියනවා හෙට ඉඳන් බෝඩිමේ ෆීස් වැඩි කරනවලු. 18,000ක් කරනවාලු. මොන තරම් අසාධාරණද මේ මනුස්සයා ? මට දෙන්න බැරි කමක් නැහැ. ඒත් මගේ හිතට හරිම අප්සට්. ඇයි මේ වගේ අසාධාරණව මම එයාට සල්ලි දෙන්නේ?” ඇය කියාගෙන ගියේ ආවේගයෙන්.

මහේෂි කතා කරද්දී පහන් කල්පනාවට වැටුණා.

“හෙටද ඔයා ආපහු බෝඩිමට සල්ලි දෙන්න ඕනේ?”

“ඔව්. බලන්නකෝ මේ කපටි මනුස්සයා හරියටම දවසක් තියලා මේ කතාව කිව්වේ මට දවසින් වෙන බෝඩිමක් හොයා ගන්න බැහැ කියලා දන්න නිසාමනේ. එයා හිතුවා මදි මාව රවට්ටන්න. මම කොහොමහරි අද දවස ඇතුලත වෙන බෝඩිමක් හොයා ගන්නවාමයි.” මහේෂි කියද්දී පහන්ට හිනා ගියා.

“ඔයා නම් මහා ඇට්ටර කෙල්ලෙක්. බෝඩිම් හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මම ඔයාට තැනක් කතා කරලා දෙන්නම්.” පහන් හිනා වේවි කියද්දී මහේෂි පුදුමයෙන් හිස ඔසවලා බැලුවා.

“සර් දන්න තැනක් තියෙනවද?”

“ඔව්. තව ටිකකින් අපි එලියට යමු. මම පෙන්නන්නම්.” පහන් කිව්වේ යමක් හිතින් සැලසුම් කරන ගමන්.

මඳ වෙලාවකින් මහේෂිව තමන්ගේ රථයට නංවා ගත්තු පහන් තමන් භාගෙට හදලා නිම කරපු නිවස වෙත ඇදුනා.

භාගෙට හදලා තිබුනත් බෝඩිමට වඩා පහසුකම් ගොඩක් එක්ක තියෙන සම්පුර්ණ නිවස දකිනකොට මහේෂිට දැනුනේ උහුලා ගන්න බැරි තරම් සතුටක්. තමන්ගේ නිදහසේ, තමන්ට හිතෙන හැටියට එතැන ඉන්න පුළුවන් බව මහේෂිට දැනුනා.

“සර්, මේක අයිති කාටද? මේ ගෙදරට මාසෙට කියක් ගෙවන්න ඕනෙද? අයිති එක්කෙනා එක්ක කතා කරන්න පුළුවන් වෙයිද අදම?” මහේෂි කුතුහලයෙන් අහන දිහා පහන් බලාගෙන හිටියේ සිනහමුසු මුහුණින්.

“මෙහෙමයි. මේ ගේ අයිති එක්කෙනාගේ නම ලෝචන කොඩිතුවක්කු. එයා කරන්නේ බිස්නස්. මේ ගේ හැදුවට ලෝචන ජිවත් වෙන්නේ ලෝචනගේ මහ ගෙදර. ලෝචන මට කියලයි තිබ්බේ ගේ බලා ගන්නත් එක්ක කාට හරි දෙන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් මුණ ගැහුනොත් කියන්න කියලා. ලෝචනගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මෙහෙ ඉඳන් ඔයාගේ වැඩ ටික කර ගන්න.”

පහන් කියද්දී මහේෂි බලාගෙන හිටියේ කුතුහලය පිරුණු බැල්මකින්.

“සර්ගේ නමත් කොඩිතුවක්කු නේද? මේ ලෝචන කොඩිතුවක්කු සර්ගේ නෑදෑ කෙනෙක්ද?” මහේෂි අහනකොට පහන්ට මහ හයියෙන් හිනා ගියා.

“ඔව්. මගේ නෑදෑ කෙනෙක් තමයි. ඔයා එහෙනම් අදම වාහනයක් කතා කරගෙන ඔයාගේ බඩු ටික ඇද ගන්න.”

“හා සර්. අනේ සර්ට ගොඩක් තෑන්ක්ස්. සර්, මම එයාට කුලිය කියක් ගෙවන්න ඕනෙද කියලා අහලා කියනවද ?”

“මෙහෙමයි. මේක භාගෙට හදලා තියෙන ගෙයක් නිසා ලෝචන කිව්වේ එයාට මේ ගේ කුලියට දෙන්න අදහසක් නැහැ කියලා තමයි. එයාට මෙහෙ කාව හරි නවත්තන්න ඕනේ ගේ පාලුවට යන එක නවත්තන්නයි. හැබැයි ඔයාගෙන් මේ වටේ පිටේ කවුරු හරි ඇහුවොත්, ඔයා කියන්න ඔයා කුලියක් ගෙවලයි ඉන්නේ කියලා. හරිද?”

පහන් කියද්දී මහේෂි හිස වැනුවා.    

     

          

  


SHARE