ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



මහේෂිට සිදු වුන දෙය දැනුනේ මහමෙරක් වගෙයි. ඇය භාගේ ලොරියක් අරන් ගිහින් බඩු අදිද්දී බෝඩිමේ අයිතිකරු ඒ දිහා බලාගෙන හිටියේ ලොකු පසුතැවිල්ලකින්. කර ගත්තු මෝඩ කමක් කියලා ඔහුට දැනෙමින් තිබුණා. ඔක්කොම වැඩ ඉවර කරපු මහේෂි අලුත් ගෙදරට ගිහින් සැනසුම් සුසුමක් හෙලුවා.

ඊට පස්සේ ඇය පහන්ට කෝල් කරලා ඇය නිවසට පැමිණි බව දැනුම් දීලා රෑට කෑම උයන්න පටන් ගත්තා.

දවාලේ මහේෂිගෙන් ලැබිලා තිබුණු මිස් කෝල් දැකපු නෙතුම් රෑ වෙලා ඇයට කෝල් එකක් දුන්නා. දවස පුරා සිදු වුනු දේවල් මහේෂි නෙතුම්ට නැවතිල්ලක් නැතුව කියාගෙන කියාගෙන ගියා.

“අනේ සොරි නගා, මට ෆෝන් එක ආන්ස්වර් කරන්න බැරි වුනාට ඔයාට කරදරයක් වුනේ වෙලාවේ. ඒක නෙවේ, පහන් සර් ඔයාට කොහේ ගෙයක්ද හොයලා දුන්නේ?” නෙතුම් ඇහුවේ කුතුහලයෙන්.

“අපේ පරණ ඔෆිස් ඒකට හෝල්ට් දෙක තුනක් එහායින් අයියේ. මේ, ඒක ලෝචන කොඩිතුවක්කු කියලා කෙනෙක්ගෙලු. අයියා එයාව දන්නවද?” මහේෂි අහද්දී නෙතුම් කලබලයට පත් වුනා.

“මොකක්. ලෝචන? මේ අපේ පහන් සර්…”

“ඔව්. සර් කිව්වේ ලෝචන කොඩිතුවක්කු කියලා එයාලගේ නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදරක් කියලා ඒක.”

“ආ හරි හරි. පහන් සර්ලගෙ නෑදෑ වෙන අයියලා කීප දෙනෙක් ඉන්නවා තමයි. එහෙනම් ලෝචන කියන්නේ ඒ කට්ටියගෙන් එක්කෙනක් වෙන්න ඇති. හරි නංගි, මම එහෙනම් තියනවා.” කියපු නෙතුම් දුරකථන ඇමතුම කට් කරලා අනිත් අතට පහන්ට කෝල් එකක් ගත්තා.

පහන් ෆෝන් එක ආන්ස්වර් කරද්දීම නෙතුම් සමච්චලේට වගේ මෙහෙම කිව්වා.

“ආ, ලෝචන අයියේ.. කොහොමද ඉතින්?” නෙතුම්ගේ කට හඬ ඇහෙද්දී පහන්ට හයියෙන් හිනා ගියා.

“යකෝ ඔච්චර වේගයෙන් නිව්ස් එක ආවද?”

“ආවදත් අහනවා. අපේ පහන් සර්ගේ සම්පුර්ණ නම පහන් ලෝචන කොඩිතුවක්කු කියලා මහේෂි දැන ගත්තු දවසට තමයි මරු.” නෙතුමුත් ඒ හිනාවට හවුල් වෙමින් කිව්වා.

“උඹ කිව්වේ එහෙම නෑනේ ලෝචන කියන්නේ මටමයි කියලා..”

“තව පොඩ්ඩෙන් කියවෙනවා අයියේ. බොරුවක් කියද්දී මටත් කියලා කියන්න එපැයි.” නෙතුම් කියද්දී පහන් ආයෙත් හිනා වුනා.

“දැන් අයියේ, ආයේ නතාරි අක්කා ආවොත් මොකද කරන්නේ? මහේෂිට වෙන තැනකට යන්න කියනවද?” නෙතුම් කුතුහලයෙන් වගේ අහද්දී පහන් සුසුමක් හෙලුවා.

“මගෙයි නතාරිගෙයි කතාව ඉවරයි නෙතුම්. ආයේ ඒ කතාව ලියන්න මගේ අදහසක් නැහැ. මහේෂි ඔතනට වෙලා හිටපුදෙන් එයාට ඕනේ කාලයක්. මම නිසා ජොබ් එක නැති වුනු මහේෂිට මට කරන්න පුළුවන් හොඳම සාධාරණය කළා කියලා මට දැන් හිත හදා ගන්න පුළුවන්.”

“එහෙනම් අයියේ, ඕක හරි විදිහට ඉවරයක් කර ගන්න බලන්න. ඔහොම දෙන්නා දෙපැත්තට වෙලා කතා නොකර ඉඳලා හරි යන්නේ නෑනේ. එකතු වෙන්න බැරි නම්, හරි විදිහට වෙන් වෙන්න හරි දෙන්නා කතා කරන්න එපැයි. ඔහොම ඉන්න එකෙන් වෙන්නේ දෙන්නගෙම කාලේ නාස්ති වෙන එක.”

“ඒ කිව්වේ?” පහන් ඇහුවේ පුදුමයෙන්.

“ඇයි බං අයියේ, අක්කටයි අයියටයි වැඩි වයසක් නෑනේ. දැන්ම වෙන් වුනොත් ආයේ බඳින්න පුළුවන්නේ. ඒ නිසා ඕක කල් අරින්නේ නැතුව ඉවරයක් කර ගත්තොත් හොඳ නැද්ද? මොකද මහේෂි දන්නේ නෑනේ අයියගේ ප්‍රශ්න. අයියට තාම ඩිවෝස් වෙනවද, නැද්ද කියලා තීරණය කර ගන්නත් බැරි නම්, අයියා කොහොමද මහේෂිට යෝජනාවක්වත් ගේන්නේ?”

“මොකක්.. මම මොකටද මහේෂිට යෝජනාවල් ගේන්නේ? උඹට පිස්සුද නෙතුම්? ඒක පොඩි ආකර්ෂණයක් විතරයි ඒ දවස් වල ඇති වුනු. මම ආදරේ කලේ නතාරිට. අනිත් එක මම වගේ ඩිවෝස් වුනු, දරුවෙක් හදන්න බැරි මිනිහෙක් මොකටද බං මහේෂිට? පිස්සු නැතුව හිටපන්. අනිත් එක මටයි නතාරිටයි කතා කර කර ඉන්න දෙයක් නැහැ. එයා මට විරුද්ධව ඉක්මනටම ඩිවෝස් නඩුවක් දායි ලිංගික බෙලහීනතාවය කියලා.”

“පිස්සුද බං අයියේ? මට නම් තද වෙනවා දැන්. එදා අපි දොස්තර ගාවට ගියාම දොස්තර කිව්වා නේද අයියට ලෙඩක් නැහැ කියලා. විකාර කියවන්නේ?” නෙතුම් ඇහුවේ තරහින්.

නෙතුම්ගේ තරහ පිරුණු කට හඬට පහන් හයියෙන් හිනා වුණා.

“හරි, මට ඕවා වැඩක් නැහැ. අයියට ෂුවර් නේද එහෙනම් අයියට මහේෂි ගැන දැන් එහෙම අදහසක් නෑ කියලා?”

“ඇයි එහෙම අහන්නේ?” පහන් ඇහුවේ දෙගිඩියාවෙන්.

“අයියට එපා නම් මම මහේෂිගෙන් යාලු වෙන්න අහන්න මේ හිතුවේ.” නෙතුම් කියද්දී පහන් පොඩ්ඩක් තිගැස්සුනා. පහන් උත්තරයක් නොදී ඉද්දි නෙතුම් හිනා වෙන්න පටන් ගත්තා.

“ඒකට කැමතිත් නෑ නේද? අපෝ මම අහන්නේ නෑ මහේෂිගෙන්. බය වෙන්න එපා.” නෙතුම් හිනා වේවි කියන ගමන්ම ෆෝන් එක කට් කරලා දැම්මේ පහන්ව අපහසුතාවයට පත් කරමින්.             


SHARE