ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



පසුගිය කොටස සඳහා පිවිසෙන්න

එදා රාත්‍රිය මහේෂි ගෙව්වේ පුදුමාකාර සැනසිමකින්.මෙච්චර කාලෙකට තමන්ගේ තැනක ජිවත් වෙනවා කියලා ඇයට කවදාවත් දැනිලා තිබුනේ නැහැ. කුඩම්මා එක්ක ගත කරපු කාලේදීත් ඇයට ඇගේ කියලා තැනක් තිබුනේ නැහැ. ගෙදර අය ඇයට නිරන්තරයෙන් සැලකුවේ පිට කෙනෙක් විදිහට. මේ නිවස තමන්ගේ නොවුනත් ඇයට මහා සැනසීමක් එක්ක, තමන්ගේ කමක් දැනෙන්න පටන් අරගෙන තිබුනා. ඇය අලුත් නිවසේ ඉඳගෙන දවස් කීපයක්ම ඇගේ ව්‍යාපාර කටයුත්ත සාර්ථකව කරගෙන ගියා.

මේ අතරේ නතාරි ආයෙමත් තීරණය කළා පහන්ගේ ගේ පැත්තේ කැරකිලා ඔත්තු ටිකක් බලාගෙන යන්න. ඇය මේ ගමනටත් ඇගේ අතිජාත මිතුරිය වුනු ටීශාව එකතු කර ගත්තා.

“උඹ මේ විඳවන විඳවිල්ල දැක්කම මට හිතෙනවා බන් මම මහා පවකට අත ගැහුවේ කියලා.” ටීෂා කලකිරීමෙන් වගේ කියද්දී නතාරිගේ දෙනෙත් මහත් වුනා.

“විඳවිල්ල? උඹට පේන්නේ මම විඳවනවා වගේද? අනිත් එක උඹේ වරදක් නැහැනේ මෙතන.” ඇය හෙමිහිට කිව්වා.

“නෑ බන්. මට හිතෙනවා මෙහෙම උඹලා දෙන්නා වෙන් වෙන තැනට ඇවිස්සුවේ මමද කියලා. උඹ පහන්ව දාලා ඇවිත් උඹම ඒකා ගැන හිත හිත ඒකාගේ පස්සෙන් යනවා. මෙහෙම ත්‍රීවීල් වලයි, කැබ් වලයි පහන්ගේ ගේ ගාවට ගිහින් ඔත්තු බලන්නේ ඒක නිසානේ.”

“මට දුකයි බන්. ඒක ඇත්ත. ඒත් හරි නම් මම නෙවෙයි මුලින් කතා කරන්න ඕනේ. පහන්. මොකද මෙතන වැරදිකාරයා පහන්ගේ අම්මා. මෙතන ළමයි හදන්න බැරි අඩුපාඩුව තියෙන්නේ පහන්ට. ඉතින් හරි නම් මම නෙවෙයි විඳවන්න ඕනේ. එයාලා. මම නෙවෙයි පස්සෙන් යන්න ඕනේ. එයාලයි මගේ පස්සෙන් එන්න ඕනේ.” නතාරි කිව්වේ හඬමින්.

“හරි හරි නතාරි. අඬන්න එපා. මේ ඩ්‍රයිවර්ටත් ඇහෙයි.” ටීෂා නතාරිගේ හිස පිරිමදිමින් කිව්වා.

පහන්ගේ ගෙදර ඉස්සරහ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න පහන්ගේ තාත්තා දැකපු නතාරි සුසුමක් හෙලුවා.

“මේ මනුස්සයටවත් බැරිද අපි දෙන්නව එකතු කරන්න? මේ ගෙදර මනුස්සකමක් තිබුනේ තාත්තට විතරයි. ආගමකට දහමකට ගරු කරගෙන හිටියේ මේ මනුස්සයා විතරයි. හරි නම් එයා මේ වෙලාවේ මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න ඕනේ නේද? මේ මිනිස්සු ඔක්කොටම කොහොමද මෙච්චර ලේසියෙන් මාව අමතක වුනේ?” නතාරි තමන්ගෙන්ම අහ ගත්තේ දෙනෙතේ කඳුළු නැඟෙද්දී.

“එක්කෝ උඹ පහන්ව මුණ ගැහිලා මේක විසඳා ගනින්. හිත හදා ගන්න බැරි නම් එච්චරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.” ටීෂා කිව්වේ අනුකම්පාවෙන් වගේ.

“බලමු.” නතාරි කිව්වේ කලකිරීමෙන්.

ඔවුන් වාහනය හරවාගෙන එන ගමන් නතාරිට ඕනේ වුනා පහන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් භාගෙට ගොඩ නගලා තිබුණු නිවසත් බලාගෙනම එන්න. ඒත් මිදුලේ ත්‍රීවිල් එකක් නතර කරලා තියෙන හැටි දැකපු නතාරි පොඩ්ඩක් කලබල වුනා.

“අන්කල්, පොඩ්ඩක් ඔහොම නවත්තන්න.” කැබ් එකේ ඩ්‍රයිවර්ට කියපු නතාරි විමසිල්ලෙන් ඒ දිහා බැලුවා.

ඒ ත්‍රිවිල් එකෙන් බඩු මලු තොගයක් අරගෙන බැහැපු තරුණියක් නිවස දිහාට ඇවිදගෙන යනවා දැකපු නතාරි බය වෙලා වගේ ටීෂා දිහා හැරිලා බැලුවා.

“කවුද බන් ඒ?” ටීශාත් ඇහුවේ බයෙන් වගේ.

ඒත් නතාරි උත්තරයක් දුන්නේ නැහැ.”

“පහන් පේන්න නෑ නේද?” ටීෂා අයෙමත් ඇහුවා.

නතාරි “නැහැ” කියන්න හිස වැනුවා.

“බැහැලා බලමුකෝ.” ටීෂා කියද්දී නතාරි කලබල වුනා.

“පහන් ඉන්නවද දන්නේ නැහැ.”

“ඉතින් මොකද? මේ ප්‍රශ්න ඉක්මනට ඉවරයක් කර ගන්න ඕනේ. උඹලා දෙන්නා වෙනුවෙන් හදපු ගෙදරට කෙල්ලෙක් ආවේ කොහොමද කියලා අපි හොයා ගන්න එපැයි.” කියපු ටීෂා නතාරිවත් ඇදගෙන වාහනයෙන් බිමට බැස්සා.

මහේෂි බෑග් ටික බිම තියලා යතුර අරන් දොර අරින්න හදද්දිම තමයි ඔවුන් දෙදෙනා මහේෂි ලඟට ආවේ.

“ඔයා මොනවද මෙහෙ කරන්නේ?” පිටිපස්සෙන් ඇවිත් ටීෂා සැරෙන් වගේ අහද්දී මහේෂි උඩ ගිහින් බිමට වැටුනා. මහේෂි ඔවුන් දිහා හැරිලා බැලුවේ කුතුහලයෙන්.

“මම මේ ගේ කුලියට ගත්තා. ඇයි?” මහේෂි පෙරලා අහද්දී ටීශායි, නතාරියි මුහුණෙන් මුහුණ බලා ගත්තා.

“කවුද ඔයාට මේක කුලියට දුන්නේ?” නතාරි ටික වෙලාවක් නිහඬව ඉඳලා ඇහුවා.

“මේ ගෙදර ලෝචන කොඩිතුවක්කු කියලා කෙනෙක්ගේ. මම එයාලගෙන් තමයි කුලියට ගත්තේ.” මහේෂි බයෙන් වගේ කිව්වා.

ඒ වචන ඇහෙද්දී නතාරිගේ දෙනෙතින් කඳුළු කඩාගෙන හැලුනේ මහේෂිව බියපත් කරමින්.

“එයා අපේ ගෙදර කුලියටත් දීලද?” නතාරි තමන්ගෙන්ම අහ ගත්තා.

“අනේ ඇයි මිස්? මොකද්ද ප්‍රශ්නේ?” මහේෂි ඇහුවේ පුදුමයෙන්.

“අපි යමු නතාරි. අපි හෙමිහිට කතා කරලා බලමුකෝ මොකද කරන්න ඕනේ කියලා.” මහේෂිට උත්තරයක් නොදීම ටීෂා නතාරිවත් ඇදගෙන එතනින් පිට වුනා. ඔවුන් යන දිහා මහේෂි බලාගෙන හිටියේ බය වෙලා වගේ.

පොඩ්ඩක් වෙලා කල්පනා කරපු මහේෂි ඉක්මනින්ම පහන්ට කෝල් එකක් ගත්තා.

“සර්, කවුද මන්දා අක්කලා දෙන්නෙක් මෙහෙ ඇවිත්, මම මෙහෙ කුලියට ඉන්නවා කිව්වම අඬන්න ගත්තනේ. ඊට පස්සේ එයාලා ගියා. අනේ ඒ ඇයි දන්නේ නෑ නේද ?”

“මොනවා… මොකද්ද ඒ කතාවේ තේරුම? මොනාද එයාලා කිව්වේ?”

“මට මේ ගේ කුලියට දුන්නේ කවුද ඇහුවම මම කිව්වා ලෝචන කොඩිතුවක්කු කියලා කෙනෙක් කියලා. ඒ අක්කා කෙනෙක් අනේ එයා අපේ ගේ කුලියටත් දීලද කියලා අඬන්න ගත්තා. මට මුකුත් හිතා ගන්න බැරි වුනා. ඊට පස්සේ එයාලා මුකුත් නොකියම යන්න ගියා.” මහේෂි කියද්දීම පහන්ට සිද්ධ වෙලා තියෙන දේ තේරුණා.

“ආ.. බය වෙන්න එපා මහේෂි. මම හිතන්නේ ඒ ලෝචනගේ වයිෆ්. ඒ දෙන්නා වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා ඔයා ඒ ගැන හිතන්න ඕනේ නැහැ.” කියපු පහන් දුරකථනය විසන්ධි කරලා දැම්මා.   


SHARE