ගැ

හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



තමන්ගේ තාත්තා කියපු කතාව ඇත්ත වේගෙන එනවා කියලා පහන්ට දැනුනා. තාත්තා කියපු විදිහට තමන් නතාරිගෙන් වෙන් වෙන්න තීරණය කරපු බව නතාරිට නොකියා හිටියොත් එය නතාරිට කරන අසාධාරණයක් බව ඔහුට දැනෙන්න ගත්තා. ඔහු මෙතරම් කාලයක් හිතාගෙන හිටියේ නතාරිට තමන් එක්ක නැවත එකතු වෙන්න උවමනාවක් නැහැ කියලයි. ඒත් දැන් දැන් සිදු වෙන දේවල් එක්ක කුමක් හෝ හේතුවක් නිසා නතාරි ආයෙත් තමන් ගැන හිතන්නට පටන් අරගෙන බව ඔහුට වැටහුනා.

නතාරිගෙන් ඩිවෝස් පේපර් බලාපොරොත්තුවෙන් නිහඬව බලාගෙන හිටපු පහන් නතාරිට කෝල් එකක් දීලා මුණ ගැහෙන්න ඒ වෙලාවේ තීරණය කළා.

පහන් නතාරිට කෝල් කරද්දී නතාරි හිටියේ ආපහු යන ගමන්. පහන්ගේ කෝල් එක දැක්කා විතරයි නතාරි තිගැස්සිලා ගියා.

“ටීෂා, ටීෂා පහන් කෝල් කරනවා. මම අර ගේ ගාවට ගිය එක ආරංචි වෙන්න ඇතිද?” නතාරි ඇහුවේ බයෙන්.

“ආන්සවර් කරපන්කෝ බලන්න.” ටීෂා කියද්දී නතාරි දුරකථනය ආන්වර් කළා.

“නතාරි, ඔයා මේ ළඟ වෙන්න ඇති නේද ඉන්නේ? පොඩ්ඩක් සුපිපි පාර්ක් එකට එන්න පුලුවන්ද ඔහොමම?” පහන් අහද්දී නතාරිගේ දෙනෙත් වල කඳුළු පිරුණා.

“හා පහන්. මම එන්නම්.” කී ඇය දුරකථනය විසංධි කළා.

“මොකද කිව්වේ?” ටීෂා කුතුහලයෙන් ඇහුවා.

“හම්බෙන්න එන්න කිව්වා. අන්කල්, පොඩ්ඩක් සුපිපි පාර්ක් එකට දානවද?”

“මේ, පොඩ්ඩක් හිටපන්. දැන් උඹ පහන් ගාවට ගිහින් කඳුළු පෙරන්න යන්න එපා. උඹ පොඩ්ඩක් උඹේ තත්වේ තියාගෙන කතා කරපන් හරිද? උඹ ආයේ පහන් ගාවට එන්නේ පහන් ගැන අනුකම්පා කරන නිසා කියලා අඟවපන්.” මඟ දිගට ටීෂා නතාරිට අවවාද ගොඩක් දුන්නා.

නතාරි යනකොටත් පහන් පාර්ක් එකට ඇවිල්ලයි හිටියේ. ඔහු බෙන්ච් එකක වාඩි වෙලා පාර දිහා බලාගෙන හිටියා. නතාරි ඔහු වෙත ඇදුනේ කඩා වැටෙන්නට දඟලන කඳුළු ආයාසයෙන් නවත්වා ගනිමින්.

“පහන්” නතාරි හෙමින් හඬ අවදි කරද්දී පහන් හැරිලා බැලුවා. කිසිම අමනාපයක් සටහන් වෙලා නැති පහන්ගේ මුහුණ දැකපු නතාරිට පුදුමත් හිතුණා.

“වාඩි වෙන්න නතාරි.” පහන් වෙනදා වගේම හිනා වෙලා කියද්දී නතාරිගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. ඇය නිහඬවම ඔහු ගාවින් වාඩි වුනා.

“මට ආරංචිය ලැබුනා ඔයා අපේ ගෙදරට ගියා කියලා. ඒක කුලියට අරගෙන ඉන්න කට්ටිය මට කතා කරලා කිව්වා.”

කොහොමද කියලාවත් අහන්නේ නැතුව පහන් තමා ගෙදරට ගිය එක ගැන අහද්දී නම් නතාරිට පොඩ්ඩක් දුක හිතුණා.

“ඔව්. මම නිකමට ගිහින් බැලුවා. මම ගමනක් යන ගමන් හිටියේ ඒ පැත්තෙන්.” නතාරි තමාට දුකක් නොදැනුනු විදිහට හඬ අවදි කළා.

“ඔයා හොඳින් ඉන්නවා නේද නතාරි? අපේ අම්මා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. මගේ පැත්තෙන් ඔයාට වරදක් නොවුනත්, අම්මා නිසා ඔයා ගොඩක් වේදනාවට පත් වුනා කියලා මම හොඳටම දන්නවා. සමාවෙන්න නතාරි.” පහන් සංවේගයෙන් වගේ කියද්දී නතාරිට දුකක් දැනුනා. ඒත් එක්කම ඇය හිත යටින් සතුටු වෙන්න ගත්තා. පහන් පරාජය භාර අර ගත්තු බව ඇයට දැනුනා.

“ඔව්. මේ ප්‍රශ්න හැම එකටම හේතුව ඔයාගේ අම්මා.” නතාරි අහක බලාගෙන කිව්වා.

“මම දන්නවා. සමාවෙන්න.” පහන් දෙවෙනි වතාවටත් සමාව ඉල්ලද්දී නතාරිට දැනුනේ ලොකු ආඩම්බරයක්.

“මම ඔයාට අනුකම්පා කරනවා පහන්. මොනවා වුනත් දරුවෝ නැති ප්‍රශ්නේ ගැන කියා කියා ඔයා මට වධ දුන්නේ නැහැ. ඒ නිසා මම ඔයාට සමාව දෙන්න තීරණය කළා. ඔයා දන්නවනේ දැන් තියෙන තත්වේ. ඔයාගේ වරද නිසා අපිට දරුවෝ හදන්න බැරි වෙයි ගොඩක් වෙලාවට. මේ බව දැන දැන වෙන ගෑණියෙක්නම් ආයේ ඔයා ගාවට එන්නේ නැහැ. ඒත්…” කියලා නතාරි පහන් දිහා ඔලුව උස්සලා බැලුවේ පහන්ගේ මුහුණ මේ වෙලාවේ කොයි වගේ ඇතිද කියලා බලා ගන්නයි.

පහන්ගේ මුහුණේ තිබුණු සංසුන් බව සහ මඳ සිනහව දැකපු නතාරිව ඇත්තටම ගැස්සිලා ගියා. ඇගේ කට වහුනේ ඉබේටමයි. ඒ තරම් ශාන්ත බවක් ඇය මීට පෙර කවදාවත් පහන්ගේ මුහුණින් දැකලා තිබුනේ නැහැ.

“මම දන්නවා නතාරි. ඔයාගෙන් ඩිවෝස් පේපර් එනකම් මම බලාගෙන ඉන්නවා. ඔයාව මේ බැඳීමෙන් නිදහස් කරන්න. ඔයා ගොඩක් හොඳ බිරිඳක් වෙලා හිටියා මාත් එක්ක. ඔයාගේ යහපත විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔයාව මගෙන් නිදහස් කරන එක මට අමාරු දෙයක් නෙවෙයි.” පහන් සංසුන් විදිහට කියද්දී නතාරිට දැනුනේ මුළු ලෝකයම දෙපා මුල කඩාගෙන වැටෙනවා වගේ හැඟීමක්.

“පහන් මම කැමතියි ඔයා එක්ක ආයේ එකතු වෙන්න.” නතාරි කිව්වම පහන් හෙමිහිට නතාරිගේ හිස අත ගෑවා.

“අපි දෙන්නගේ කතාව මේ වෙද්දී ඉවරයි නතාරි. හදවත් වලින් ගිලිහිනු බැඳීමක් විතරයි මේක. අපි මේ කොටු වෙලා ඉන්නේ නීතිමය බැඳීමකට. හදවතේ නැති බැඳීමක් නිතිය නිසා රැකිලා තියෙන එක තේරුමක් නැහැනේ. ඔයාට පහසුවෙන්ම ඩිවෝස් එක ගන්න පුළුවන් ‘ලිංගික බෙලහීනතාවය’ යටතේ නඩු පැවරුවම.” පහන් කියද්දී නතාරිවත් නොහිතපු විදිහට ඇයට හැඬුම් ආවා.


SHARE