ගැ

හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



“දෙවියනේ පහන්, ඔයා මොනවද මේ කියවන්නේ? මට ඔයාගෙන් ඩිවෝස් වෙන්න උවමනාවක් නැහැ පහන්.” නතාරි පහන්ගේ උරහිසේ එල්ලීගෙන අඬන ගමන් ඇහුවා.
“එහෙනම් ඔයාට ඕනේ මොනවද නතාරි?” නතාරිව තමන්ගේ උරහිසෙන් වේගයෙන් ඈත් කරන ගමන් පහන් හයියෙන් ඇහුවා. පහන්ගේ කට හඬේ සැඟවිලා තිබුණු කේන්තිය දැක්කම නතාරිව වෙව්ලලා ගියා.
ඇය බය වෙලා වගේ ඉද්දි පහන් ඇය දිහා කෝපයෙන් මොහොතක් බලාගෙන හිටියා.
“නතාරි, තමුන්ට ඕනේ මට අනුකම්පා කරනවා කියලා මාත් එක්ක ආයේ එකතු වෙලා ජිවිත කාලෙම මට අපහාස කර කර ඉන්න එකද? තමුන් දැන් මොහොතකට කලින් කිව්වා වගේ ‘මම ඔයාට අනුකම්පා කරනවා, ඔයා නිසා අපිට දරුවෝ නැහැ, වෙන ගෑනියෙක් නම් ඔයා එක්ක එන්නේ නැහැ’ වගේ කතා ජිවිත කාලය පුරාවටම කියවන්නද තමුන්ට ඕනේ?”
පහන්ගේ කොපාවින්විත හඬට නතාරි තවත් බය වුණා. ඇයව වෙව්ලන හැටි දැකපු පහන්ගේ දෙතොලේ ඇඳුනේ සරදම් හිනාවක්.
“මම මීට කලින් කවදාවත් ඔයාට මෙහෙම සැරට කතා කරලා නෑ නේද? පලවෙනි වතාවට මම මෙහෙම කෑ ගහපු නිසා වෙන්න ඇති ඔයා මේ ගැහෙන්නේ. එහෙම ඔයාට සලකපු මට ඔයා මොනවද නොකළේ? මොනවද නොකිව්වේ?”
“අනේ පහන්…” නතාරි දෑස් වල කඳුළු පුරවාගෙන පහන්ගේ අතකින් අල්ලන්න උත්සාහ කළා. ඒත් පහන් ඒකට ඉඩ දුන්නේ නැහැ.
“දන්නවද මට ඔයා ගැන තියෙන කලකිරීම කොච්චරක්ද කියලා. ඒක කියන්න මට වචන නැහැ නතාරි. ඔයාට දරුවෝ නැහැ කියලා හැමෝම හිතාගෙන හිටිය කාලේ මම ඔයාගේ හෙවනැල්ල වගේ ළඟ හිටියා. අම්මා ඔයාගේ හිත රිද්දද්දී මම ඔයාගේ පැත්ත ගත්තා. මම එක වචනෙකින්වත්, බැල්මකින්වත් ඔයාට වරදක් කලේ නැහැ. ඒත් ඔයා අර ඔයාගේ යාලුවා ඉස්සරහම මුඩුක්කු ගෑණියෙක් වගේ මට බැනලා, වඳ මිනිහා කියලා අපහාස කරලා යන්නම ගියා. ගිය විදිහටම ඉන්න නතාරි. ආයේ එන්න හදන්න එපා. මොකද මම හීනෙකින්වත් ඔයාගේ පැමිණීම ආයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.” නතාරිව එතනම තනි කරපු පහන් වාහනයට නැගලා යන්න ගියේ තරහෙන්.
පහන් යනකම් හිටපු ටීෂා නතාරි ගාවට දුවගෙන ආවා.
“මොකද බන් වුනේ? මොකද ඌ උඹව මෙතන දාලා ගියේ?” ටීෂා ඇහුවේ කුතුහලයෙන්.
“හැමදේම ඉවරයි ටීෂා. හැමදේම ඉවරයි.” කියපු නතාරි හඬාගෙන ටීෂාගේ උරහිසට වාරු වුණා.
ඊට ටික වෙලාවකට පස්සේ නතාරි සිද්ධ වුනු හැම දේම ටීෂාට කිව්වේ හඬා වැටෙමින්.
“මාර කේස් එකනේ බන්. අපිට තව ටිකක් ඉවසන්න තිබුනා නේද?”
“ඔව් බන්. උඹ කියපු දේ අහගෙන මම අදත් පහන් ඉස්සරහ හැසිරුනේ ලොකු කමෙන්. ශික් මම අදත් කිව්වේ මම ඔයාට අනුකම්පා කරනවා වගේ කතා.” නතාරි පසුතැවිල්ලෙන් වගේ කියද්දී ටීෂාට දැනුනේ අමනාපයක්.
“දැන් උඹ කියන්නේ මම හින්දා උඹේ කසාදේ කැඩුනා කියලද?” ටීෂා ඇහුවේ පොඩ්ඩක් නොරිස්සුම් සහගත කට හඬකින්.
‘ඔව්. එදා ඉඳන්ම උඹ කලේ මාව අවුස්සපු එකනේ.” නතාරි හඬා වැටෙමින් කිව්වේ හිතේ වේදනාවටමයි.
“මම මොනවා කිව්වත් උඹට පුළුවන්නේ උඹ කරන්න ඕනේ මොනාද, නොකරන්න ඕනේ මොනාද කියලා තීරණය කරන්න. මම කිව්වේ මට හිතුනු දේ. ඒ දේම කරන්න කියලා මම උඹට කිව්වේ නෑනේ.” ටීෂා අමනාපෙන් කියද්දීන් නතාරි තිගැස්සුනා.
“හරි හරි. දැන් ඔය කතාව නවත්තලා ගෙදර යමු. නැත්තම් අපි දෙන්නටත් තරහ වෙන්නයි වෙන්නේ.” කියාගෙනම ටීෂා නතාරිවත් එක්කගෙන ගිහින් වාහනයට නැඟුනා.
“මම පහන්ට කතා කරන්නද?” නිහඬවම ජනේලයෙන් එලිය බලාගෙන යන නතාරි දිහා බලපු ටීෂා ඇහුවා. නතාරි ටීෂා දිහා බැලුවේ ස්තුති පූර්වකව.
“කතා කරලා බලපන්කෝ පොඩ්ඩක්.”
ගෙදර ආපු ටීෂා පහන්ට කෝල් එකක් ගත්තේ ප්‍රශ්නේ පොඩ්ඩක් සමතයකට පත් කරන්න හිතාගෙන.
“පහන් අයියේ, මට හිතෙනවා මේ ප්‍රශ්නෙදි අපි හැමෝම වැරදියි කියලා. අයියගේ අම්මා නිසා නතාරි පුදුම විඳවීමක් විදෙව්වා ඒ දවස් වල. එයා මාත් එක්ක ඔය හැම දේම කියලා ගොඩක් අඬලා තියෙනවා.” ටීෂා කිව්වේ දුක්බර කට හඬකින්.
“මම දන්නවා ටීෂා. සැමියෙක් විදිහට මම ඒ වෙලාවේ කරන්න පුළුවන් හැමදේම කළා. අම්මට බැන්නා. නතාරිගේ පැත්තට කතා කළා, නතාරිටයි මටයි ඉන්න වෙනම ගෙයක් හැදුවා. ඉතින් දැන් ආයේ ආයේ ඕවා මට කියලා වැඩක් නැහැ නේද?”
“නතාරි ඔයාට එදා බනින්න නෙවේ හිටියේ පහන් අයියේ. මමයි එයාව ඇවිස්සුවේ. මමයි කිව්වේ ඔයාටයි අම්මටයි හොඳට බනිමු කියලා.” ටීෂා ඇත්තම කිව්වා.
“මොකක්? මොකද්ද ඒ කතාවේ තේරුම?”
“ඔව්. එයාට ළමයි හදන්න බැරි කමක් නැහැ කියලා ඩොක්ටර් කිව්වම, මමයි කිව්වේ ඔයාලට බනිමු කියලා.” ටීෂා කිව්වේ හෙමිහිට. පහන් තමාට බැන වැදුනත්, ආයේ දෙන්නව එකතු කරන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා ටීශාට හිතුනා.
ඒත් පහන් මොනවත්ම නොකියා කල්පනාවට වැටුනා. ටීෂා කියන දේ බොරු වෙන්නත් බැහැ කියලා ඔහුට හිතුනා. මොකද ස්වභාවයෙන්ම අහිංසක ගතිගුණ තිබුණු නතාරි එදා ආවේශ වෙලා වගේ තමන්ට බැන වැදුණු හැටි හරිම අසාමාන්‍යයි කියලා ඔහුටත් තෙරිලයි තිබුනේ.


SHARE