ගැ

හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



“එහෙනම් ඒ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ ඔයාද ටීෂා?” පහන් ඇහුවේ බොහොම සංසුන්ව.

“ඔව් අයියේ. අනේ සොරි”

“එහෙනම් ඔයාට පුළුවන්නේ ඔයාගේ යාලුවට වඳ නැති අලුත් හස්බන්ඩ් කෙනෙක්ව හොයලා දෙන්න. නේද? දැන් ඉඳන්ම එහෙනම් හොයන්න ගන්නකො. ඩිවෝස් වුනාට පස්සේ දෙන්නව බන්දලා දෙන්න.” කියන ගමන් පහන් දුරකථන ඇමතුම විසංධි කරලා දැම්මා.  

පහන්ගේ කතාවට ටීෂා අන්දමන්ද වුනා.

ටීෂා අනිත් අතට නතාරිට කෝල් කරලා හැම දේම කිව්වා.

නතාරි ඒ ක්ෂණයකින් පහන්ගේ අම්මට කෝල් කලේ සිද්ධ වුනු දේවල් ගැන අහන්න.

“අම්මේ, පහන්ගේ අතේ අඩුපාඩුව තියාගෙනත් එයාගේ ඔච්චර අහන්කාරකමක් මොකද?” සුජාතා ෆෝන් එක ආන්ස්වර් කරපු ඇසිල්ලේම නතාරි ඇහුවේ කේන්තිය යටපත් කරගෙන.

“අනේ දුවේ, මේ නතාරි දූ නේද? අනේ දුවේ ආයේ මෙහෙ එන්න දුවේ.” සුජාතා ආයාචනාත්මක හඬින් කිව්වා.

“ආයේ ඔහේ එන්න තමයි අම්මේ මටත් ඕනේ වුනේ. අද මායි පහනුයි මිට් වුනා. ඒ වුනාට එයා මට කියන්නේ එයාට විරුද්ධව ඩිවෝස් කෙස් එකක් ෆයිල් කරන්න කියලා. දැන් එතකොට මමද එයාගේ පස්සෙන් යන්න ඕනේ අනේ අපි ආයේ එකතු වෙමු කිය කියා? අම්මා මගේ පවුල් ජිවිතේ විනාස කරලා දාපු එකටත් අන්තිමට වැරදිකාරයා මමද? පහන්ට ළමයි හදන්න බැරි අසනීපයක් තියෙන එකටත් වැරදිකාරයා මමද?” නතාරි කෑ ගැහුවේ තරහෙන්.

තමාගේ පපුව යන්තම් හිර වෙනවා වගේ සුජාතාට දැනුනත් ඇය නතාරිගේ කියවිල්ල අහගෙන හිටියා.

“දුවේ, මම මේ මුකුත් දන්නේ නැහැ. මම හවස ආවම පුතා එක්ක කතා කරන්නම්.”

“එයා හොර ගෑනියෙක්වද කොහෙද අර අපේ අලුත් ගෙදර නවත්තගෙන. ටිකක් හොයලා බැලුවොත් හොඳ නැද්ද?” නතාරි තමන්ගේ හිතේ තියෙන තරහට සහ වේදනාවට හිතට නැගෙන හැම දේම කියන්න ගත්තේ සුජාතා එහා පැත්තෙන් පපුව අල්ල ගද්දි.

“අම්මගේ මොලේ හොඳ නැති පුතණ්ඩියා කියනවා මට එයාට විරුද්ධව ලිංගික බෙලහීනතාවය යටතේ නඩුවක් දාන්නලු. මහ ලොකු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට තේරෙන්නේ නැද්ද ඒකෙන් තමන්ගේ කිර්තිනාමයටමයි හානි වෙන්නේ කියලා?” නතාරි අහද්දීම සුජාතා බිම ඇදගෙන වැටුනා.

යමක් පෙරලෙන සද්දේ නතාරිටත් ඇහුනා.

ඇය දිගටම කතා කලත් එහා පැත්තෙන් උත්තරයක් ලැබුනේ නැහැ.

හොඳටම බය වුනු නතාරි හඬා වැටෙමින් පහන්ට කෝල් කළා.

“නතාරි, මොකද වෙලා තියෙන්නේ?” පහන් නොරිස්සුමෙන් වගේ අහද්දීම නතාරි හඬමින් වුනු දේ කිව්වා.

දුරකථනය විසංධි කරලා දාපු පහන් වාහනයට නැගලා ගෙදර දෙසට වාහනය පැදෙව්වේ පිස්සුවෙන් වගේ. හැබැයි ඒ වෙනකොටත් අතුල බිම වැටිලා හිටපු සුජාතාව දැකලා ඇයව රෝහල වෙත ගෙන යමින් තිබුණා. ඒ නිසා සුජාතාගේ ජීවිතයට අනතුරක් වුනේ නැහැ.

නතාරි ටික වෙලාවකින් පහන්ට ආයෙත් කෝල් කලේ හදිසියේ සුජාතට වුනේ මොකද්ද කියලා දැන ගන්න.

“ආ… ඔයාගේ පලිය ගත්තා කියලා ඔයාට දැන් සතුටු වෙන්න පුළුවන්.” එක වරම පහන් කියපු කතාවෙන් නතාරි බියට පත් වුනා.

“අනේ පහන්.. ප්ලීස් මොකද්ද වෙලා තියෙන්නේ කියන්න.”

“අම්මට හාර්ට් ඇටැක් එකක් ඇවිත්. ඔයාට ඉස්සර බැනපුවට හරි යන්න පලිය ගත්තා කියලා ඔයාට දැන් සතුටු වෙන්න පුළුවන්නේ.” පහන් කිව්වේ සරදම් හඬකින්. නතාරි මුකුත්ම නොකියා ඉකි ගසමින් අඬන්න ගත්තේ පහන්ගේ කෝපය නිවා දමමින්. ටික වෙලාවකට පස්සේ දිග සුසුමක් හෙලපු පහන් ආයෙමත් හඬ අවදි කළා.

“නතාරි, අපි දෙන්නා එකට ඉන්න කාලේ අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ. ඉතින් වෙන් වෙලා ඔයා එක්ක රණ්ඩු වෙවී ඉන්න මට ඕනේ නැහැ. මම ඔයා ගැන ඉන්නේ නොරිස්සුමෙන්, හිත වේදනාවෙන්. ඉතින් ඔයා එක්ක කතා කරන කරන සැරේට මට තරහ යනවා. අම්මට අමාරුවක් නැහැ. මම ෆෝන් එක තියන්නම් නතාරි.”

“පහන්, මේ ඔයාගේ අවසාන තීරණයද?”

“ඔව්, නතාරි. ආයේ මගේ තීරණයේ වෙනසක් වෙන්නේ නැහැ. අපි අතරේ ඇති වුනේ ලේසි පාසු ගැටළුවක් නෙවෙයි. අපි එකතු වෙලා තේරුමක් නැහැ. ඔයාගෙන් මට බැනුම් අහ අහා, මගෙන් ඔයාට බැනුම් අහ අහා තමයි ජිවත් වෙන්නේ. ඔයාට තේරෙනවනේ?”

“කාලයත් එක්ක මේක වෙනස් වෙන එකක් නැද්ද පහන්?” නතාරි ඇහුවේ දුකෙන්.

“මොකද්ද?”

“ඔයාගේ හිතේ මම ගැන තියෙන තරහ නැති වෙන එකක් නැද්ද?”

“නතාරි, ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද ‘මම ඔයාට අනුකම්පා කරලයි ඔයා ගාවට ආවේ, ඔයා නිසා මට ළමයි නැති වුනා’ වගේ වචන ඔයාගේ කටින් පිට නොවෙයි කියලා? හැබැයි මට නම් ගැරන්ට් එකක් දෙන්න බැහැ. ‘මම මෙච්චර කරලත්, උඹ මට මෙහෙමයි සැලකුවේ.’ කියලා මගේ කටින් පිට වෙන්නේ නැහැ කියලා මට නම් ගැරන්ට් කරන්න බැහැ. ඒ නිසා මේ තත්වය තේරුම් ගන්න. ප්ලීස් නතාරි.” පහන් කියද්දී නතාරි කඳුළු පිස දමමින්ම දුරකතය විසංධි කළා.


SHARE