ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



සුජාතට සිහිය ආවට පස්සේ ඇය නතාරි කියපු දේවල් එකින් එක සිහියට නගන්න උත්සාහ කළා. පහන් අලුතින් හදපු ගෙදර හොර ගෑනියෙක්ව නවත්තගෙන කියලා නතාරි කියපු හැටි සුජාතට මතක් වුනේ හදිස්සියෙන් වගේ.

පහන්ගෙන් මේ හැම දේම අහන්න සුජාතට ඕනේ වුනත් වෛද්‍ය උපදේශය වුනේ ටික දවසක් යන තුරු පවුලේ අයටවත් සුජාතා එක්ක කතා බැහැ කරලා වෙහෙසවන්නේ නැතුව ඉන්න කියන එකයි.

ඉතින් සුජාතාට මේ දේවල් හිතේ හිර කරගෙන ටික දවසක් ඉන්න වුණා.

ටිකට් කපාගෙන ගෙදර ඇවිත් ටික දවසකට පස්සේ සුජාතා හෙමිහිට පහන් අලුතින් හදපු ගෙදරට ගියේ අතුලටවත් කියන්නේ නැතුවමයි.

ඒ යද්දී මහේෂි හිටියේ පහුවදාට උයන්න ඕනේ බඩු ලැස්ති කර කර.

බෙල් එක නාද වෙන සද්දේ ඇහුණාම මහේෂි ගිහින් දොර ඇරියා.

“ඔය ළමයා කවුද?” සුජාතා ගෙට ගොඩ නොවීම ඇහුවා.

“මම මේ ගෙදර කුලියට ගත්තා ආන්ටි. ආන්ටි කවුද?”

“මම මේ ගෙ අයිතිකාරයාගේ අම්මා ළමයෝ. අපි මේ වෙනකම් දන්නේ නැහැ පුතා මේ ගෙදර කුලියට දීලා කියලා.” සුජාතා කිව්වේ සුසුමක් හෙලන ගමන්.

“ආ එහෙමද? ආන්ටිට මහන්සි පාටයි. ඇතුලට ඇවිත් වාඩි වෙන්නකෝ.” මහේෂි කිව්වේ කරුණාවන්ත හඬකින්.

ඉතින් සුජාතා ඇවිත් සාලයේ පුටුවකින් වාඩි වුනේ වටපිට හොඳට බලන ගමන්.

සුජාතාට මුලින්ම පෙනුනේ බිත්තිය පුරා අලවලා තියෙන මල් වැල්. තමන් මීට කලින් මේ ගෙදරට ඇවිත් බලපු දවසේ නම් මේ විදිහේ මල් වැල් නොතිබුණු බව ඇයට මතක තිබුනා.

“මේ මොනාද දුවේ? ඔයාද මේවා ඇලෙව්වේ?”

“හ්ම්.. ඔව් ආන්ටි. මට රෑට කම්මැලි හිතුනු වෙලාවක මම ඕවා හැදුවේ. ලස්සනයිද?” මහේෂි කුළුපග ලෙසින් අහද්දී සුජාතට පුදුමත් හිතුවා.

“ඔව්. හරිම ලස්සනයි දුවේ. තව කවුද මෙහෙ ඉන්නේ?”

“මම විතරයි ආන්ටි.”

“මොනවා. ගෑනු ළමයෙක් කොහොමද මෙහෙම තනියම ඉන්නේ?”

“ඉතින් මට මගේ කියලා කවුරුවත්ම නැහැනේ ආන්ටි. මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. මම මෙහෙට ආවේ ජොබ් එකක් හොයාගෙන.” මහේෂි කියද්දී සුජාතට අනුකම්පාවක් දැනුනා.

“එහෙමද දරුවෝ? ඉතින් දුව කොහොමද අපේ පුතාව අඳුරන්නේ? මේ ගේ ගැන දැන ගත්තේ කොහොමද?” සුජාතට ඕනේ වුනේ මහේෂි එක්ක තමන්ගේ පුතාගේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න.

“මේ ගේ අයිති ලෝචන කොඩිතුවක්කු කියලා කෙනෙක්ටනේ. මම එයාව නම් අඳුරන්නේ නැහැ ආන්ටි… මහේෂි කියද්දීම සුජාතා සැනසුම් සුසුමක් හෙලුවා.  

“එහෙනම් අරකි මට බොරු කියලා තියෙන්නේ අපේ පුතාට හොර ගෑනියෙක් ඉන්නවා කියලා.” සුජාතා තරහින් හිතුවා. ඒත් ඊළඟ මොහොතේ මහේෂි කියපු කතාවෙන් සුජාතා උඩ ගිහින් බිමට වැටුනා.

“ලෝචන කොඩිතුවක්කුගේ නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා පහන් කොඩිතුවක්කු කියලා. ඒ පහන් සර් තමයි මට මේ ගෙ හොයලා දුන්නේ.”

“මොකක්? පහන්? පහන් ගේ හොයලා දුන්නා කියලද කිව්වේ?”

“ඔව් ආන්ටි. ලෝචනගෙ ගෙදර ප්‍රශ්නයක් වුනු නිසා එයා මේ ගෙදර පදිංචියට එන අදහස අත ඇරියලුනේ. ඉතින් ලෝචන පහන් සර්ට කියලා තියෙනවා මේ ගේ කාට හරි කුලියට දෙන්න කියලා.”

ඇත්තටම සුජාතා හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව. හැබැයි තමන්ගේ පුතා මොකක් හරි බොරුවක් කරලා තියෙන බව නම් මේ වෙද්දී සුජාතට දැනිලයි තිබුනේ.

“පහන් සර්? ඇයි පහන් සර් කියලා කතා කරන්නේ?” මහේෂි කීප වරක්ම පහන් සර්, පහන් සර් කියනවා ඇහුනු නිසා සුජාතා ඇහුවා.

“ආ මම එයා ගාව තමයි මුලින්ම වැඩට ආවේ. නිවෙස්ටා එකට. පහන් සර් එතන බොස්නේ.”

“ආ… එතකොට දුව දැන් වැඩ කරන්නේ එතන නෙවෙයිද?”

“නෑනේ. ඔය පහන් සර් මාව ජොබ් එකෙන් අස් කලානේ. ඔය දැන් මට ගෙයක් හොයලා දීලා උදව් කලාට එයා මහා නපුරුයි. එයාට ඕනේ එයාගේ සේවකයෝ එයාට කේලම් කියන්න. මම අනිත් අයගේ වැරදි එයාට නොකියපු තරහට තමයි මාව අස් කලේ.” මහේෂි මුණ ඇඹුල් කරගෙන කියද්දී සුජාතට තවත් පුදුම හිතුනා.

“ආන්ටි දන්නේ නැහැ. අපේ ගමේ කම්පියුටර් සර් පහන් සර්ගේ තාත්තව අඳුරනවා. ඒ ඇඳුනුම් මාර්ගෙන් තමයි මම ජොබ් ඒකට ආවෙත්. අනේ මන්දා පහන් සර්ගේ තාත්තා දන්නෙත් නැතුව ඇති, එයා ජොබ් එක සෙට් කරපු මාව පුතා අස් කළා කියලා.”

සුජාතා මහේෂි කියන හැම දේම අහගෙන හිටියේ උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා තේරෙන්නේ නැතුවයි.

“අනේ ආන්ටි, ඔයාලා පහන් සර්ලගෙ ළඟ නෑයෝ නෙවෙයි නේද? අනේ මම හිතේ අමාරුවට කියෙව්වේ. පහන් සර්ට කියන්න එපා.” ටිකකින් මහේෂි කියද්දී සුජාතට හිනා ගියා.

                    

                  

       


SHARE