ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



“හ්ම් හ්ම්.. ඉතින් ඔයාගේ පහන් සර් කිව්වේ නැද්ද ලෝචන මේ ගෙදරට එන අදහස අත ඇරියේ මොකද කියලා.”

“එයා නම් කිව්වේ නෑ ආන්ටි. ඒත් මම දන්නවා. මේ ගෙ අයිති එක්කෙනාගේ වයිෆ් දවසක් මෙහෙ ආවනේ. එයා ඇඬුවත් එක්ක. මම දන්නා විදිහට නම් ඒ ගෑනු ළමයා ලෝචනව දාලා ගිහින්, දැන් ආයේ යාලු වෙන්න එනවලු. එයාලා සමහර විට ආයේ යාලු වෙයි. එතකොට මම අලුත් බෝඩිමක් හොයා ගන්නම් ආන්ටි.” පහන් සහ ලෝචන කියන්නේ එකම කෙනෙක් කියලා නොදැන මහේෂි එක එක දේවල් කියද්දී සුජාතට දුකක් දැනුනා. ඒත් ඒ වෙලාවේ මහේෂිට සත්‍යය හෙළි කරන්න සුජාතට හිත දුන්නේ නැහැ. මේ හැම දේම ගිහින් ඇතුලට කියලා, අතුලගෙන් උපදෙසක් ගන්න සුජාතට ඕන වුණා.  

“දුව දන්නවද පහන් සර් මැරි කරලා කියලා?” යන්න නැගිටපු සුජාතා මහේෂිගේ මුහුණ හොඳට නිරීක්ෂණය කරන ගමන් ඇහුවා. ඇයට දැන ගන්න ඕනේ වුනේ පහන් තමා අවිවාහක කෙනෙක් කියලා මහේෂිව රවට්ටගෙනද කියන එකයි.

“ඔව් ආන්ටි. ඉස්සර ඔෆිස් එකේ අය කතා වෙනවා පහන් සර්ගේ වයිෆ් ලස්සනයි කියලා.” කිසිම වෙනසක් නැතුව මහේෂි කියද්දී සුජාතා යන්නට හැරුනා.

පහන් නිවාස තමන්ගේ කියලා කියන්නේ නැතුව, එය මහේෂිට කුලියට දුන්නේ ඇයි කියලා සුජාතට ප්‍රශ්නයක් ඉතිරි වුණා. ඒත් අන්තිමේදී ඇය තීරණයකට එළඹුනා.

“තමන්ගේ ඔෆිස් එකේ වැඩ කරපු ළමයෙක්ගෙන් සල්ලි ඉල්ලන්න බැරි නිසා ගේ වෙන කෙනෙක්ගේ කියලා සල්ලි ඉල්ලා ගන්නවා ඇති.” තනිවම හිතපු ඇය ආපු ත්‍රීවීල් රථයට නැවත ගොඩ වුණා.

ගෙදර ගිහින් සිද්ධ වුනු හැම දේම ඇතුලට ඇය කියද්දී අතුල බොහොම අවධානයෙන් අහගෙන හිටියා.

“මම ළමයෙක්ට පහන්ගේ ඔෆිස් එකේ ජොබ් එකක් හොයලා දුන්නා තමයි. ඒත් මම දැනගෙන හිටියේ නැහැ පහන් ඒ ලමයව අස් කරලා කියලා. අනේ මන්දා මේ පහන් කරන වැඩ. සුජාතා, අපි මේ ළමයින්ගේ ප්‍රශ්න වලට දැන්වත් අත දාන එක නවත්තමු. දැක්කනේ ගිය සැරේ වුනු විනාසේ.” අතුල කියද්දී සුජාතා බිම බලා ගත්තා.

“නතාරි එදා මට කතා කරලා බැනපු විදිහෙන් මට භය හිතුනා මහත්තයා. මට මේ කොහෙවත් නැති හාර්ට් ඇටැක් එකක් ආවෙත් ඒකනේ. නතාරි කවදාවත් ඒ විදිහට කතා කරනවා මම දැකලා නැහැ. පහන්ට හොර ගෑනියෙක් ඉන්නවා කියද්දී මට වාවන්නේ නැතුව ගියා. බලාගෙන යද්දී ඒ ඔක්කොම බොරුනේ මහත්තයා.”

“මම කලින්ම කිව්වනේ සුජාතා අපේ දරුවට කසාද දෙකක් උරුමයි කියලා. මම දන්නේ නැහැ ඒ දෙවෙනි කසාදෙ ඔය කියන ගෑනු ළමයද කියලා නම්. ඒත් මම හිතන්නේ පහන්ගෙයි, නතාරිගෙයි බැඳීම මෙතනින් ඉවර වෙයි.”

“ඒත් මහත්තයා, ඒ ළමයට දෙමව්පියෝ නැහැලු. පහන්ට අපි වෙන හොඳ තැනකින් බලමු මහත්තයා. ඒ කෙල්ල හොඳ පාටයි නම් තමයි. ඒත් ඉතින් දෙමව්පියෝ නැති, කිසිම දෙයක් නැති කෙල්ලෙක් අපේ පුතාට ගැලපෙන්නේ නැහැනේ.” සුජාතා කියද්දී අතුලට ලොකු තරහක් දැනුනා. ඒත් සුජාතා ඉන්නේ අසනීප පිට නිසා ඇයට උත්තර දෙන්න උත්සාහ නොකරම අතුල එතනින් නැගිටලා තමන්ගේ කාමරයට ගියා.

ටික වෙලාවක් යද්දී තමයි සුජාතට තමන් කියපු කතාවේ බරපතල කම තේරුනේ. ඇය ආයෙමත් අතුලව හොයාගෙන ගියා.

“මහත්තයා, අපේ පුතාට ඇත්තටම දරුවෝ හදන්න බැරි අසනීපයක් තියෙනවද මහත්තයා? එහෙම අසනීපයක් තියෙනවා නම් ඉතින් හොඳ තැනකින් කසාදයක් හොයන්න ලැබෙන්නේ නැහැනේ.” සුජාතා කිව්වේ හරිම දුක්බරව.

“සුජාතා, ජෝතිෂ්‍යයෙන් පහන්ට දරුවෝ නැහැ කියලා නෙවෙයි පෙන්නනේ. දරු ඵල අඩුයි කියලා. අනිත් එක පහන් නතාරි එක්ක නීත්‍යානුකුලව වෙන් වෙනකම් සුජාතා ඔය මාතෘකාව ගැන මාත් එක්ක කතා නොකර ඉන්නවා නම් තමයි මම කැමති.”

අතුලට කවදාවත් නැතුව තරහ ගිහින් බව දැනුනු සුජාතා හෙමිහිට නැගිටලා එලියට ආවා.

ඊළඟ ප්‍රශ්නය පටන් ගත්තේ පහන් ඔෆිස් එකෙන් ගෙදර ආවම. තේ බොන ගමන් අතුල පහන්ව කතාවට අල්ල ගත්තා.

“පුතා මම අර ගෑනු ළමයෙක්ව ජොබ් එකකට දැම්මා නේද? ඒ ළමයා හොඳට වැඩ ටික කරගෙන යනවද?” අතුල අහද්දී පහන්ට බිබී හිටිය තේ එකත් ඉස්මොල්ලේ ගියා.

“තාත්තේ එයා හොඳින් ඉන්නවා.” ටික වෙලාවකින් හඬ අවදි කරපු පහන් හෙමිහිට කිව්වේ අතුලගේ දෙනෙත් මඟ හරින ගමන්.

“ඒ ළමය ගැන පොඩ්ඩක් බලන්න. නැත්තම් මටත් හරි නැහැනේ.” අතුල කිව්වේ හිනාව තද කරගෙන.

“හා තාත්තා.” කියපු පහන් නැගිටලා තේ කෝප්පෙත් අරගෙන කාමරේට යන හැටි අතුල බලාගෙන හිටියේ හිනා වෙවී.    


SHARE