ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



පහන් හිටියේ දෙලොව රත් වෙලා. තාත්තගේ හිත රිද්දන්න පහන් පොඩි කාලේ ඉඳලම කැමති නැහැ. තාත්තගේ යහගුණ වලට පහන් ගොඩක් ගරු කළා. පහන් පහුවදා පාන්දරම පිටත් වෙලා මහේෂි ඉන්න ගේ ගාවට ගියා.

උදේ පාන්දර තමන්ව හම්බෙන්න ඇවිල්ලා මුණ දෙක කරගෙන ඉන්න පහන් දිහා මහේෂි බලාගෙන හිටියේ හරිම පුදුමයෙන්.

“සර්, තේ එකක් හදලා දෙන්නම්.”

“එපා මහේෂි. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”

“ඉතින් සර් ඇවිත් දැන් ගොඩක් වෙලානේ. මුකුත්ම කතා කලේ නැහැනේ මෙච්චර වෙලා.” මහේෂි කිව්වේ පුදුමයෙන්.

“අනේ මහේෂි මගේ අතින් ඔයාට වරදක් වුනේ. ආයේ වැඩට එන්න පුලුවන්ද? මම මේ විහිලුවට නෙවෙයි අහන්නේ. සීරියස්.” පහන් අහද්දී මහේෂි බය වෙලා වගේ බලාගෙන හිටියා.

“මට හැම දේම නැති වෙලා ඉවරයි. තාත්තවත් නැති කර ගන්න බැහැ. මාව තේරුම් ගන්න ඉන්න එකම මනුස්සයා තාත්තා විතරයි.” දුකෙන් වගේ එක දිගට කියවන පහන් දිහා මහේෂි ටික වෙලාවක් බලාගෙන හිටියා.

“මට තේරෙන්නේ නැහැ සර් මේ කියන දේ.”

“ඔයාව අපේ ඔෆිස් ඒකට දාලා දුන්නේ තාත්තානේ. ඔයා දැන් ඔෆිස් එකේ නැහැ කියලා තාත්තා දන්නේ නැහැ. ඊයේ මගෙන් ඇහුවා ඔයා හොඳට වැඩ කරගෙන යනවද කියලා. මම ඔව් කිව්වා. අනේ මහේෂි වෙච්ච දේවල් තාත්තට ආරංචි වෙන්න නොදී ආයේ වැඩට එන්න පුලුවන්ද? මම මේ ඇත්තටමයි අහන්නේ. ඔයා මේ බත් විකුණනවා කියා කියා අව්වේ පිච්චි පිච්චි කොහොමත් බොරුවට දුක් විඳින ඒකනේ කරන්නේ.”

පහන් එහෙම කියද්දී මහේෂිට මතක් වුනේ තමන් කලින් දවසේ ගෙදරට ආපු ගැහැණු කෙනාට පහන් තමාව රස්සාවෙන් අයින් කරපු බව කිව්වා නේද කියලා.

“සර්, අනේ අර ලෝචන සර්ගේ ළඟ නෑදෑයෙක් නෙවේ නේද?” ඊළඟ ඇසිල්ලේ මහේෂි ඇහුවේ බයෙන් වගේ.

“නෑ මහේෂි. ඇයි?”

“අනේ ඊයේ ලෝචනගේ අම්මා මෙහෙ ආවා. මම දන්නේ නැහැනේ සර් මාව රස්සාවෙන් අයින් කළා කියලා තාත්තා දැන ගන්නවට බයයි කියලා. මම ඒ විස්තර ඔක්කොම ලෝචනගේ අම්මට කිව්වනේ. එයා සර්ගේ තාත්තට කියන එකක් නැහැ නේද?” මහේෂි අහද්දී පහන් ඔලුවේ අත ගහ ගත්තා.

“හත් දෙයියනේ… මොකද්ද මෝඩයෝ මේ කලේ? එහෙනම් තාත්තා හැමදේම දැනගෙනයි මගෙන් විස්තර අහලා තියෙන්නේ.” පහන් අහද්දී මහේෂි භය වුණා.

“ඉතින් සර් ලෝචන කියන්නේ සර්ගේ ළඟ නෑදෑයෙක් නෙවෙයි නම් එහෙම ආරංචි වෙන්නේ නැහැනේ. අනේ මම එච්චර දුර දිග හිතලා නෙවෙයි කිව්වේ. අනේ සොරි සර්.” මහේෂි කියද්දීම පහන් පුටුවෙන් නැගිට්ටා.

“මම යනවා.” කියපු පහන් මිදුලට බහිද්දී මහේෂිත් පහන්ගේ පස්සෙන් මිදුලට ආවා.

“සොරි සර්.” ඇය මිමිණුවේ ඇහෙන නොඇහෙන තරමට හෙමින්.

එක පාරටම දෙයක් මතක් වුනු පහන් මහේෂි දිහාට හැරුණා.

“දැන් ඉතින් සොරි කියලා වැඩක් නැහැ. ඔයා මට කරපු හානිය නම් සුළුපටු හානියක් නෙවෙයි. ඒ හානිය නැති කරන්න නම් අද ඉඳගෙන ආයේ ඔෆිස් එන්න.” පහන් කියද්දී මහේෂි ගැස්සුනා.

“අනේ සර් මම කොහොමද ආයේ එතන වැඩට එන්නේ? එතන හැමෝටම මම බත් විකුණන කෙල්ලෙක්. දැන් කොහොමද මම එතන වැඩට එන්නේ?”

“ඒක ඉතින් තමුන්ගේ පණ්ඩිත කම නිසා වෙච්ච් දෙයක්. මම කිව්වේ නැහැනේ මහේෂිට පාරවල් ගානේ බත් විකුනන්න කියලා. මට තරහ ගිහින් මම ඔයාව ඔෆිස් එකෙන් අයින් කළා මාසෙක පඩිය වැඩිපුර දීලා. ඊළඟ මාසේ ඉවර වෙන්න කලින් මම ආයේ ඔයාට ඔෆිස් එකේ වැඩට කතා කළා. ඔයාගේ තියෙන ඇට්ටර කමට ඔෆිස් එන්න බැහැ කියලා බත් විකුනන්න ගත්තට මට කරන්න දෙයක් නැහැ. දැන් තේරෙනවා නේද තමුන්ම තමුන්ගේ තත්වේ විහින් නැති කරගෙන කියලා?”

“බත් විකුණන එක පහල රස්සාවක්ද සර්?” මහේෂි ඇහුවේ දුකින්.

“කොහොමටවත්ම නැහැ. මේ ලෝකේ උසස් පහත් කියලා රස්සාවල් නැහැ. හැබැයි ඔයා කම්පියුටර් සයිඩ් එකෙන් දක්ෂ විදිහට ඉගෙන ගත්තු කෙනෙක්. ඔයා මගේ ඔෆිස් එකේ වැඩ කරන කාලේ මම දැක්කා ඔයා වේගයෙන් ඉගෙන ගන්නවා. නෙතුම් වුනත් ඔයා ගැන කිව්වේ ඔයා හරිම දක්ෂ කෙනෙක් කියලා.” පහන් කියද්දී මහේෂි දෙනෙතේ කඳුළු හෙමිහිට පිස ගත්තා.

“ඔයාට යන්න පැහැදිලි පාරක් තිබුණා. ඔයාගේ හීනය වුනේ බත් විකුණන එක නෙවේ. ඔයාගේ හීනය වුනේ කම්පියුටර් සයිඩ් එකෙන් ඉහලට යන එක. මට හොඳට මතකයි, මුල් දවස් වල ඔයා කිව්වා ඔයාට කම්පියුටර් ඩිග්‍රී එකකුත් කරන්න ඕනේ කියලා. දැන් කෝ ඒ හීන? ඔයා මේ වෙද්දී මොනවද ලබාගෙන තියෙන්නේ?” පහන් අහද්දී මහේෂිට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.

    

 

          


SHARE