ගැ

හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



 

“ඔයා හරිම අමුතු ළමයෙක් මහේෂි. සමහරවිට ඔයා පොඩි කාලේ විඳපු දුක් නිසා වෙන්න ඇති ඔයා ඔහොම හිතුවක්කාර. ඔයාට රස්සාව නැති වුණා නම් ඔයාට කරන්න තිබුනේ ඔයාගේ හීන අමතක කරලා ඔයාව රස්සාවෙන් අස් කරපු බොස්ගෙන් පලිගන්න දඟලන එක නෙවෙයි. කම්පියුටර් ක්ෂේත්‍රයේම තව රස්සාවක් හොයා ගන්න එක.” පහන් ආයෙත් කියද්දී මහේෂි පහන් දිහා බැලුවේ හොඳටම බය වෙලා.

“සර් මේ මොනවද කියන්නේ?”

“නෙතුම් ඔයාට රස්සාවල් කීයක් හොයලා දුන්නද? ඔයා ඒ හොයලා දීපු එක රස්සාවකට හරි ගිහින් ඔයාගේ පාරේ යන්නේ නැතුව හැරිලා ඇවිත් මගේ වටේම කැරකුනා. අඩුම තරමේ මම ඔයාට ආයේ අපේ ඔෆිස් ඒකට කතා කරද්දීවත් ඔයා ආවේ නැහැ. මොකද ඔයාට ඊට වඩා ඕනේ වුනේ මට පාඩම් උගන්නන්න. ඔයා හිතුවේ ඔයා බත් විකුනන්න ගත්තම මට රිදෙයි කියලා. ඒත් ඇත්තටම රිදුනේ මට නෙවේ ඔයාටමයි.”

පහන් කියද්දී වේගයෙන් ආපස්සට හැරුණු මහේෂි හැදුවේ එතනින් දුවගෙන ගිහින් සැඟවෙන්න. ඒත් පහන් ඊට ඉස්සර වුණා. මහේෂිගේ අතින් අල්ල ගත්තු පහන් මහේෂිව ආයෙත් ඇදලා ගත්තා.

“මේ ටිකත් අහගෙනම යන්න. මම ඔයාව අත ඇරියේ නැතුව ඔයාගේ පස්සෙන්ම හිටියේ ඔයාට ආයෙත් ඔයාගේ කලින් තිබුණු හීනෙ මතක් කරලා දෙන්න ඕනේ නිසා. මම විතරක් නෙවෙයි, නෙතුම් පවා තාමත් ඔයාව ආශ්‍රය කරන්නේ ඒ නිසයි. ඔයාව ජොබ් එකෙන් අස් කළා කියලා තාත්තට කියන්න මට අමාරුයි තමයි. හැබැයි මට ඒ ගැන තාත්තට කියන්න බැරි කමක් නැහැ. මම දැන් වුනත් ට්‍රයි කලේ මගේ තාත්තා පිටින් දාලා හරි ඔයාව ආයේ හරි පාරට ඇදලා ගන්නයි. මම හිතන්නේ නැහැ මේ සෙල්ලමෙන් ඔයාට මොනවත් හම්බුනා කියලා. ඔයාගේ ජිවිතේ මාස ගණනාවක් නාස්ති වුණා. ඔයා හිටියයින් භාගෙකට කෙට්ටු වුණා. අව්වේ ගිහින් හොඳට කළු වුණා. ඔයාගේ බෝඩිම නැති වුණා. හැබැයි මට නම් මුකුත් නැති වුනේ නැහැ. දැන්වත් මොලේ තියෙනවා නම් කල්පනා කරලා වැඩ කරන්න. මම යනවා.” කියපු පහන් මහේෂිව අත ඇරලා යන්න ගියේ මහේෂි බලාගෙන ඉද්දි.

පහන් ඒ තරමට දක්ෂ විදිහට තමන්ගේ හිත කියෙව්වේ කොහොමද කියලා මහේෂිට හිතා ගන්න බැරුවයි හිටියේ. මහේෂි බත් උයලා පාසලට, ඔෆිස් වලට දැම්මේ ආසාවෙන් වුනත් ඇගේ යටි අරමුණ වුනේ පහන්ට රිදවීම තමයි. ඇයට ඇයගේම ස්වයං රැකියාවක් කරනවාට වඩා සතුටු වුනේ පහන්ට පෙනෙන්නට, පහන්ගේ දෑස් මානයේ ඉඳගෙන එය කිරීමෙන්. පහන්ට යන්තම් හෝ රිදවීම ඇගේ ආශාව වෙලා තිබුණා. ඉතින් පහන්ගේ කටින්ම මේ ගැන කියවෙද්දී මහේෂි නිරුත්තර වුනේ ඒ නිසයි.

මේ අතරේ පහන් ගිහින් ඇතුලට ඇත්තම කිව්වා. හදිසියේ ඇති වුන තරහක් නිසා මහේෂිව රැකියාවෙන් අයින් කරන්න වුනු බව කිව්වම අතුල පහන්ට උපදෙස් ගොඩක් දුන්නා.

එදා දවාලේ මහේෂි කොහේටවත් බත් ගිහින් දුන්නේවත්, පහන් කියපු විදිහට ඔෆිස් එකේ වැඩට ගියේවත් නැහැ. පහන්ටත් මහේෂිව ගොඩක් මතක් වුනත්, මහේෂි ඊළඟට ගන්න පියවර දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්න පහන් තීරණය කළා.

එදා හවස මහේෂි පහන්ට කෝල් එකක් දුන්නේ හිතේ දෙගිඩියාවෙන්. දවස පුරාවට කල්පනා කරලා ඇය තීරණයක් අරගෙන තිබුනා.

“සර්, මට ටිකක් කතා කරන්න පුලුවන්ද?” මහේෂි වෙනදට වඩා බැරෑරුම් විදිහට කතා කරන හැටි ඇහුණම පහන්ට සතුටක් දැනුනා.

“දැන් කොහෙද ඉන්නේ මහේෂි?”

“ගෙදර.”

“හරි. ඔහොම ඉන්න. මම තව පැය භාගයක් ඇතුලත එන්නම්.” කියපු පහන් කර කර හිටපු වැඩේ කරන්න පටන් ගත්තා.

පහන් මහේෂි ඉන්න තැනට යනකොට මහේෂි හිටියේ කතා කරන්න ඕනේ දේවල් ගැන හිත හිතා.

“සර් කියපු එක ඇත්ත. මම බත් විකුනන්න ගත්තේ ආසාවෙන් තමයි. සල්ලි හොයන්න ඒක හොඳ මාර්ගයක් කියලා හිතුනු නිසා. ඒත් එක්කම සර්ට පේන්න ඒ වැඩේ කරන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා.”

“මම දන්නවා.”

“මම බොරුවකුත් කිව්වා.”

“ඒ මොකද්ද?”

“සර් එදා අහද්දී බත් විකුණන වැඩෙන් මට දියුණු වෙන්න අවස්තාවක් තියෙනවද කියලා.”

“ඔව් ඉතින්. මොකද්ද කිව්ව බොරුව?”

“මට ඒ වැඩේ කොහොම හරි කරන්න ඕනේ වුණා සර්. ඒ නිසා මම කිව්වා මට ගෙවල් පැත්තේ ඉඩමක් තියෙනවා, මම ඒක විකුනලා කවදා හරි කඩයක් දානවා කියලා. මට ඇත්තටම ඉඩමක් නැහැ.” ඇය කිව්වේ පරාජිත හඬකින්.

“මට නම් ඔයත් එක්ක තරහ යනවා මහේෂි. ඔයාට එතකොට කිසිම බිස්නස් ප්ලෑන් එකකුත් තිබිලා නැහැ ඒ කියන්නේ. හරි කමක් නැහැ. දැන් මොකද්ද ඔයා කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට?”

“මට සර්ගේ ඔෆිස් එකට ආයේ එන්න බැහැනේ. මට වෙන තැනක ජොබ් එකක් හොයලා දෙනවද?”

“හොයලා දෙන්නම් අනිවාර්යෙන්ම. කොහොමහරි ඔයාගේ හීනෙට යන ඒකනේ වැදගත්. මම හෙට අනිද්දටම හොඳ තැනකට ඔයාව යවන්නම්.” පහන් හිතට දැනුනු සතුට හංගාගෙන කිව්වා.   


SHARE