ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



මාසයක් විතර ගත වෙද්දී නතාරිගේ ගෙදරින් නතාරිට අලුත් තරුණයෙක්ව හඳුන්වලා දීලා තිබුනා. කාලයත් එක්ක නතාරිත් පහන්ගෙන් වෙන් වෙලා අලුත් ජිවිතයක් අරඹන්න හිත හදා ගෙන තිබුණා.

පහන් මොන තරම් කිව්වත් නතාරි කැමති වුනේ නැහැ බෙලහිනතාවය කියන කරුණ යටතේ පහන්ට නඩු පවරන්න. ඉතින් තවත් දවසක දෙන්නම කතා වෙලා ගිහින් නීතිඥ උපදෙස් අරගෙන “ද්වේශ සහගත ලෙස අතහැර යාම” කියන කරුණ යටතේ වෙන් වෙන්න තීරණය කර ගත්තා. දෙන්නටම ඕනේ වෙලා තිබුනේ වෙන් වෙන්න නිසා දෙන්නගෙන් කාටවත්ම එය ගැටළුවක් වුනේ නැහැ.

එදා නතාරි පහන්ව නවත්තගෙන පොඩ්ඩක් කතා කළා.

“ඔයාට හොඳටම විශ්වාසයි නේද අපි දෙන්නගේ බැඳීමේ අවසානය මේකයි කියලා?” නතාරි අහද්දී පහන් හිස වැනුවා.

“ඔයා මගෙන් ඩිවෝස් වෙලා වෙන කෙනෙක්ව බඳිනවද?” නතාරි අහද්දී පහන් කට කොණින් හිනා වෙලා ඇය දිහා බැලුවා.

“දරුවෝ හදන්න බැරි පිරිමියෙක් එක්ක එන්නේ මොන ගෑණිද?”

“මම ඔයා එක්ක ආයෙමත් එකතු වෙන්නයි හිටියේ. ඔයාමයි ඒක නැති කර ගත්තේ.”

“අපිට ආයේ එකතු වෙන්න තත්වයක් නැහැ කියලා මම ඔයාට තේරුම් කරලා දුන්නනේ නතාරි.”

“ඔයාගේ අහංකාරකම නිසයි ඔයා මගෙන් වෙන් වෙන්නේ. මට පව් නැහැ පහන්. ඔයාට බඳින්න බැරි වුනාට මට කරන්න දේකුත් නැහැ. ඔයාගෙන් ඩිවෝස් වුනාට පස්සේ මම ආයේ බඳිනවා.” නතාරි කියද්දී පහන්ගේ හිත පොඩ්ඩක් ගැස්සිලා ගියා.

“ඉතින් මට කමක් නැහැ.” පහන් ඒ දුක හංගගෙන කිව්වා.

“කවදාහරි දවසක ඔයාගේ ලොකුකම් බැහැලා, ඔයා ආපහු මම ලඟට එන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක කියන්නයි මම ඔයාව නවත්ත ගත්තේ.”

“ඔයාට කොච්චර තේරුම් කලත් වැඩක් නැහැ නතාරි. මෙතන තියෙන්නේ ලොකු කමේ ප්‍රශ්නයක් නෙවෙයි. මට මගේ පාඩුවේ ඉන්නයි ඕනේ. ඔයා එක්ක ජිවත් වේවි, පරණ රණ්ඩු මතක් කර කර කර, ඔයාගෙන් කතා අහගෙන ඉන්න මට ඕනේ නැති කමයි මෙතන තියෙන්නේ. මම යනවා නතාරි. කොච්චර කතා කලත් මෙච්චරයි.” කලකිරීමෙන් වගේ කියපු පහන් යන්නට හැරුණා.

පහන් යන දිහා බලාගෙන හිටපු නතාරිත් සුසුමක් හෙලලා මෝටර් රථයට ගොඩ වුණා.

 

පහන් ඉන්නා කලකිරුණු ස්වභාවය ගැන සුජාතා හිටියේ කම්පාවෙන්.

“මගේ පුතේ, උඹට ඔච්චරටම දුකයි නම් ඇයි වෙන් වෙන්න ඌනේ කියලා නතාරිට බල කලේ පුතේ?” සුජාතා පහන්ගේ හිස අත ගාමින් විමසුවා.

“කවුද අම්මේ කිව්වේ මට දුකයි කියලා? මට තියෙන්නේ කලකිරීමක්. නතාරි නැහැ කියලා දුකක් නෙවෙයි. මොකද්ද මේ වුනේ කියලා කලකිරීමක් දැනෙනවා. ඒ කොහොම වුනත් ආයේ නතාරි එක්ක එක වහලක් යටට යන්න මට හිත හදා ගන්න අමාරුයි අම්මේ.”

“මට තේරෙනවා පුතා. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ මම කියලා මට මතක් වෙද්දී මහා වේදනාවක් දැනෙනවා.”

“අම්මා දැන් ඕවා හිතන්න ඕනේ නැහැ අම්මේ. අම්මා ඒ දවස් වල නතාරිට බනිද්දි මම එයා වෙනුවෙන් පෙනී හිටියා. ඒත් මගේ දුකේදී එයා මාව දරුණු විදිහට අත ඇරියා. ඒ සිදුවීම් දෙක සංසන්දනය කරද්දී මට හිත හදා ගන්න ලේසියි අම්මේ.” පහන් කියද්දී සුජාතා දිගු සුසුමක් හෙලුවා.

“පුතේ, අර පුතාගේ ගෙදර ඉන්න ගෑනු ළමයා කවුද පුතේ? අර මට පපුවේ අමාරුව හැදුනු දවසේ නතාරි මට කෝල් කරලා කිව්වනේ පුතා හොර ගෑනියෙක් තියාගෙන ඉන්නවා කියලා.” සුජාතා කියද්දී පහන්ගේ දෙනෙත් මහත් වුණා.

“මොනවා. ඒකිට පිස්සු අම්මේ. කියන්න දේවල් නැතුව කියවනවා.” කියපු පහන් ඉක්මණින්ම නැගිටලා කාමරයට ගියා. පහන් යන දිහා සුජාතා බලාගෙන හිටියේ සිනහමුසුව.

“මෙතන නම් මොකක් හරි හොරයක් තියෙනවා. නැත්තම් මම ඒ ගැන අහද්දීම මඟ ඇරලා ගියේ මොකද?” ඇය තනිවම හිතුවා.

ඒත් නතාරිගේ ප්‍රශ්නේ නිසා හිත අවුල් වෙලා හිටපු පහන්ට මහේෂිව දවස් කීපෙකට මඟ ඇරුනා. ඇයට කෝල් එකක් දෙන්නවත්, පොරොන්දු වුනු විදිහට ඇයට රැකියාවක් හොයලා දෙන්නවත් බැරි වුනු බව මතක් වුනු පහන් ඉක්මනින්ම කාමරයට ගිහින් මහේෂිට කෝල් එකක් ගත්තා.

“මහේෂි, ඔයා මොකද කරන්නේ?”

“සර්, මම උයනවා. සර්ට කොහොමද?”

“මම හොඳින් ඉන්නවා. අනේ මට තාම ඔයාට ජොබ් එකක් හොයලා දෙන්න බැරි වුණා.” පහන් කිව්වේ කනස්සල්ලෙන්.

“අනේ කමක් නැහැ සර්. එහෙම ඉක්මනට ජොබ් හොයන්න බැහැ කියලා මම දන්නවා. මම එතකම් මේ බත් හදන වැඩේ දිගටම කරන්නම්කො.” මහේෂි කියද්දී පහන් සැනසුම් සුසුමක් හෙලුවා.        

    


SHARE