ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



සුජාතා ඊළඟ දවසෙම මහේෂිව බලන්න හැමෝටම හොරෙන් ගියා.

“ආනේ ආන්ටි, එන්න එන්න. මමත් පාළුවේ හිටියේ.” සුජාතාව දැකපු මහේෂි ඇයව පිළිගත්තේ මහා ඉහලින්.

හරිම උනන්දුවෙන් තමන්ට තේ හදලා දෙන, කන්න දේවල් පිළිගන්වන මහේෂි දිහා බලාගෙන ඉද්දි සුජාතට ආස හිතුණා.

“මට දූගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ ඉතින්.” සුජාතා තමන්ට අවශ්‍ය දේවල් දැන ගන්න හෙමිහිට හෙමිහිට දැල එලන්නට පටන් ගත්තා. මේ කිසිම දෙයක් ගැන නොදැන හිටපු මහේෂි තමන්ගේ පවුලේ හැම ප්‍රශ්නයක්ම සුජාතා එක්ක කියන්න පටන් ගත්තා.

සුජාතා මහේෂිගේ විස්තර අහගෙන හිටියේ අනුකම්පාවෙන්. මහේෂි කිසිම පැකිලීමක් නැතුව තමන් අවජාතක දරුවෙක් බව කියද්දී නම් සුජාතාගේ හිත ගැස්සුනා.

“අනේ දරුවෝ, ඔයා මාව හරියට දන්නෙත් නැතුව ඇයි එහෙම දෙයක් මට කිව්වේ? ඔයා ඔය කතාව හැමෝටම කියන්නේ නැහැ නේද?” සුජාතා ඇහුවේ කලබලයෙන්.

“නෑ ආන්ටි, මම කියනවා ඕනේ කෙනෙක්ට ඒක මගේ වරදක් නෙවෙයිනේ. ඒ නිසා ඕක හංගන්නේ මොකටද මම?” මහේෂි කියද්දී සුජාතා පුදුමයට පත් වුණා.

“අපේ පුතාත් මේ ගැන දන්නවද දුවේ?”

“අනේ ආන්ටි, මම එදත් කිව්වේ. මම ආන්ටිගේ පුතාව දැකලවත් නැහැ.” එවර මහේෂි කිව්වේ හිනා වේවි. සුජාතා ඇය හිනා වෙන දිහා මොහොතක් බලාගෙන හිටියා.

“දුව, ඔයා දන්නේ නැති දෙයක් මෙතන තියෙනවා. මගේ පුතා තමයි දුවගේ පහන් සර්. ඒ වගේම මේ ගේ අයිතිත් එයාටමයි. ලෝචන කියන්නේ වෙන කාටවත් නෙවෙයි. පහන්ටමයි.” සුජාතා කියද්දී මහේෂි හොඳටම බය වුණා. ඇය එතනම තිබුණු පුටුවට කඩාගෙන වැටුනේ බියපත්වයි.

“මම දන්නේ නැහැ පුතා ඔයාට මොන හේතුව නිසා මේ ගේ අයිති එයාටයි කියලා හැංගුවද කියලා.”

“ආන්ටි, එතකොට පහන් සර්ගේ වයිෆ් සර්ව දාලා ගියාද? මම එයාගේ ඔෆිස් එකේ වැඩ කරපු නිසා මට ඒ බව කියන්න ලැජ්ජ හිතෙන්න ඇති. පව් සර්.” මහේෂි කියද්දී තමයි ඒ බව සුජාතටත් තේරුනේ. දෙවෙනි වතාවටත් තමන්ගේ අතින් පුතාට වරදක් වුනු බව වැටහෙද්දී සුජාතාට දැනුනේ මහා තිගැස්මක්.

“අනේ දරුවෝ.” සුජාතාට එක වරම කියවුණා.

“ආන්ටි, පහන් සර්ට කියන්න එපා මේ බව මට කිව්වා කියලා නම්. සර්ට අප්සට් යයි ගොඩක්. අනේ පව්.” මහේෂි දුක්බරව කිව්වා.

“මට ඒ බවක් නිකමටවත් හිතුන ඒ නෑනේ දුවේ. අනේ ඔව්, දුවත් මේ ගැන මුකුත් සර්ගෙන් අහන්න යන්න එපා.”

“මම අහන්නේ නෑ ආන්ටි. ආන්ටි ඇත්තටම ඇයි සර්ගේ වයිෆ් එහෙම සර්ව දාලා ගියේ? ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා කියලා අපේ ඔෆිස් එකේ හැමෝම ඒ දවස් වල කතා වෙනවා මට මතකයිනේ ආන්ටි.” මහේෂි ඇහුවේ කුතුහලයෙන්.

“ඒකි මහ එපා කරපු කෙල්ලෙක්. කොල්ලෙක් එක්කද කොහෙද පැනලා ගියා මගේ දරුවාව අතහැරලා. දැන් මේ ආයේ පස්සෙන් ආවා. සමහර විට අර කොල්ලත් දාලා යන්න ඇති.” සුජාතා මහා මුසාවක් කිව්වේ පහන්ට දරුවෝ නැති බව කියලා ඔහුට තවත් අපහසුතාවයට පත් කරන්න බැරි නිසාමයි.

“අනේ එහෙමද? සර් පව්.”

“ඔව් දරුවෝ. මේ අපේ මහත්තයා හඳහන් බලන කෙනෙක්. මෙයා දැනගෙන ඉඳලානේ මේ දෙන්නා ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් අපිට නිකන්වත් කිව්වේ නෑනේ.” සුජාතා තවත් කතාවක ආරම්භය එසේ සනිටුහන් කරන්නට පටන් ගත්තා.

“අනේ ඒ මොකද ආන්ටි ඒ?” මහේෂි ඇහුවේ පුදුමයෙන්.

“අනේ ඔක්කොටම වඩා එයාට එයාගේ ප්‍රතිපත්ති ලොකුයිනේ දරුවූ. අපේ මහත්තයා කියන්නේ එයා යාලු වුනු ජෝඩු වෙන් කරන්නේ නැහැ කියලනේ. නොගැලපෙන තැන් තිබුනත් අපේ මහත්තයා ඔය ජෝඩු වලට වරදක් කියන්නේ නැහැලුනේ.”

“අනේ…”

“ඔව්. දැන් නම් කියන්න එනවා අපේ පුතාට කසාද 2ක් උරුමයි කියලා. මට නම් වෙලාවකට තරහත් යනවා ඇයි ඒ වගක් කලින් නොකිව්වේ කියලා.” සුජාතා මහේෂිගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරමින් කිව්වා.

මහේෂි නිහඬවම සවන් යොමු කරගෙන ඉන්නවා දැකපු සුජාතා දුක්බර ලෙස සුසුමක් හෙළුවා.

“පව් මගේ අසරණ දරුවා. දික්කසාද වුනු කොල්ලෙක්ට කැමති වෙන්නේ කවුද? දේපල නම් ඕනේ තරම් අපේ පුතාට. ඒත් මගේ දරුවට ආයේ පණ වගේ ආදරේ කරන්න දැරිවියක් ලැබේවිද කියලා මට හිතා ගන්න බෑ දුවේ.” සුජාතා බොහොම දුක්මුසුව කිව්වා.                


SHARE