ගැ
හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



“එහෙම කියන්න එපා ආන්ටි. දික්කසාදයක් කියන්නේ මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. පහන් සර්ට හොඳ කෙනෙක් ලැබෙයි.” මහේෂි කිව්වේ සුජාතාව සනසන්න හිතාගෙන.

මහේෂි දිහා බලලා දුක්බර විදිහට හිනා වුනු සුජාතා හඬ අවදි කළා.

“එහෙම කිව්වට ඒක ඇත්ත නෙවෙයි දරුවෝ. ඔය දරුවා වුනත් කැමති නැහැනේ දික්කසාද වුනු පිරිමියෙක්ව කසාද බඳින්න. නේද?”

“අනේ මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ආන්ටි. බැන්දට පස්සේ පරණ වයිෆ් ගැන හිත හිත ඉන්නේ නැත්තම් ඒකෙ ගැටළුවක් නැහැනේ.” මහේෂි කියද්දී සුජාතාගේ දෑස් දිළිසුනා.

තවත් ටික වෙලාවක් කතා කර කර හිටපු සුජාතා ගෙදර එන්න පිටත් වුනේ හරිම සතුටින්. පහන්ගේ ගැටලුකාරී තත්වය සඟවලා මහේෂිට විවාහ කරලා දෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා සුජාතා හිතන්න පටන් අරගෙන තිබුනා. මහේෂිගේ පවුල් පසුබිම ගැන සුජාතාගේ හිතේ ගැටළුවක්  තිබුනත්, ඒ ගැටලුවම ඇයව පහන් වෙත කිට්ටු කරවන්නට උදව් වේවි කියලත් සුජාතා බලාපොරොත්තු වුනා.

සුජාතා වෙනදට වඩා සතුටින් ඉන්න බව අතුලටත් දැනෙන්න පටන් අරගෙන තිබුනා. නමුත් අතුල නිකමටවත් ඒ ගැන ඇගෙන් අහන්නට ගියේ නැහැ.

තවත් සතියකින් විතර සුජාතා ආයෙමත් මහේෂිව බලන්න ගියා.

“දුවේ, මම ඔයා කියපු දේ ගැන ගොඩක් හිතුවා.”

“මොකද්ද ආන්ටි?” මහේෂි ඇහුවේ කුතුහලයෙන්.

“දුව එදා කිව්වේ දික්කසාද වුනු කෙනෙක්ව බඳින්න දුවගේ අකමැත්තක් නැහැ කියලා. දුව කැමති නැද්ද අපේ පුතාව බඳින්න?” සුජාතා අහද්දී මහේෂි ගල් ගැහුණා.

“අනේ දෙවියනේ ආන්ටි, මේ මම වගේ කෙනක් පහන් සර්ට ගැලපෙනවද? මගේ පවුල් පසුබිම හොඳ නැති නිසා මම හිතාගෙන හිටියේ කවදාවත් කසාද බඳින්න වෙන එකක් නැහැ කියලයි.”

“ මට තේරෙනවා දුව. ඒත් ඔයාගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න වලට ඔයා වග කියන්න ඕනේ නැහැනේ. මම නම් කැමතියි ඔයා මගේ දුව වෙලා අපේ ගෙදරට එනවා නම්.”

“ඒත් ආන්ටි පහන් සර්?”

“මම හිතනවා දුවේ පහන් ඔයාට කැමතියි කියලා. නැත්තම් ඔයාව මෙහෙම බලා ගන්නේ නැහැනේ. මම පුතා එක්ක කතා කරන්නම්කො.” සුජාතා කිව්වේ මහේෂිගේ හිසත් අත ගාලා.

එදා සුජාතා ගෙදර ගිහිල්ලා අතුලට හැම දේම කිව්වා. ඒ අහපු අතුල හයියෙන් හිනා වුනා.

“ඔයාව නම් හදන්න බැහැ කවදාවත්. බොරු කියලා කොහොම හරි කසාදෙ කරවන්න නේද හදන්නේ?” ඔහු ඇහුවේ ඒ හිනාවෙන්මයි.

“අනේ මහත්තයා දරුවන්ට හරි යන එක නේද අපේ එකම පැතුම?”

“එතකොට ඔය ගෑනු ළමයා මෙහෙට ආවට පස්සේ පහන් ගැන ඇත්ත විස්තරේ දැනගෙන රණ්ඩු අල්ලයි කියලා ඔයාට හිතුනෙම නැද්ද?” අතුල අහද්දී සුජාතට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.

“හරි හරි, දරුවන්ගේ දේවල් දරුවොම බලා ගනියි. අදින් පස්සෙවත් පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරන්න සුජාතා.” අතුල අවවාදාත්මක හඬකින් කියද්දී සුජාතා නිහඬවම බලාගෙන හිටියා.

ඉතින් එදා රෑ කෑමෙන් පස්සේ අතුල පහන්වත් එක්කගෙන සාලයට ආවා.

“ඔන්න පුතේ ඔයාගේ අම්මා ඔයාට තියෙන ආදරේට ආයෙමත් පණ්ඩිත වැඩක් කරලා.” අතුල සිනහමුසු මුහුණින් කියද්දී පහන් පුදුමයෙන් සුජාතා දිහා හැරිලා බැලුවා.

“හැබැයි ඔන්න කලබල වෙන්න බැහැ පුතේ. හොඳද?” අතුල ආයෙමත් කිව්වා.

“මොකද්ද තාත්තේ වෙලා තියෙන්නේ?” පහන් ඇහුවේ හිතේ තිගැස්මෙන්.

“අර පුතේ ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරපු ගෑනු ළමයා මහේෂි, අම්මා ගිහින් මහේෂි දුවව යාලු කරගෙන.” අතුල කියද්දී පහන්ගේ දෙනෙත් විසල් වුනා.

“අනේ අම්මේ, අම්මා කිව්වේ නැහැ නේද ඒ ගෙදර අයිති මට කියලා?” පහන් ඇහුවේ කලබලයෙන්.

සුජාතා නිහඬවම ඉද්දි අතුල ආයෙමත් හිනා වුනා.

“අම්මා ඒක කියලා පුතේ.” අතුල කියද්දී පහන් හිසේ අත ගහ ගත්තා.

“ඒ විතරක් නෙවේ. අන්න ඒ දරුවාව කැමති කරගෙන ඔයාව බඳින්න.”

“මොකක්… මම තාම නතාරිගෙන් ඩිවෝස් වෙලාවත් නැහැ. අම්මට පිස්සුද?”

“ඒ විතරක් නෙවේ දරුවෝ. අම්මා ඔයාගේ ඔය දරු ඵල සම්බන්ධ ගැටලුව ගැන කියලත් නැහැ. පුතා ඒ දරුවට කැමති නම් පුතාගේ ඇත්ත විස්තරය ඒ දරුවට කියන්න. අපි බලමු ඒ දරුවා පුතාගේ දුකේදී පුතාගේ අත අල්ල ගන්න කෙනෙක්ද, අත අත අරින කෙනෙක්ද කියලා.” අතුල පහන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.

“ඒත් තාත්තේ…”

“වෙන කරන්න දෙයක් නැහැනේ පුතා. අම්මා මේ හැම දේම කරන්නේ පුතා ගැන තියෙන ආදරයට, තෘෂ්ණාවට. මව් පදවිය කියන්නේ ඒ වගේ දෙයක් කියලා මම පුතාට කලිනුත් තේරුම් කලානේ. ඒ නිසා දැන් අම්මා එක්ක තරහ ගන්නේ නැතුව කරන්න අවශ්‍ය දේ කරන්නකෝ. හොඳද?” අතුල හරිම සෙනෙහසින් කිව්වා.

පහන්ට මහේෂි ගැන ඒ වෙද්දී වැඩි බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. තමුන්ගේ තත්වය ගැන දැන ගත්තම මහේෂි අකමැති වෙයි කියලා තමයි පහන් විශ්වාස කලේ. ඒත් මේ ගැන මහේෂි එක්ක කතා කරන්න පහන් තීරණය කලේ තාත්තගේ උපදෙස් මතයි.

 

ඉතින් පහුවදා පහන් ගිහින් තමන්ට බිරිඳගෙන් වෙන් වෙන්න සිද්ධ වුනු සැබෑම හේතුව මහේෂිට හෙළි කළා.

මහේෂි නිහඬවම කල්පනා කරන්න පටන් ගද්දි පහන් සුසුමක් හෙලුවා.

“මම දන්නවා. ඔයා මේ දේට කැමති නැහැ කියලා. අපේ අම්මා ඔයාව අනවශ්‍ය බලාපොරොත්තු ගොඩක පටලවන්න කලිනුයි මම මේ ඇවිත් ඔයාව හම්බ වුනේ.”

“දරුවෝ ලැබුනා නොලැබුණා කියලා මට නම් වෙනසක් නැහැ. මගේ අකමැත්තක් නැහැ. සර්ගේ අකමැත්තක් නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ.” මහේෂි කියද්දී පහන්ට අදහ ගන්න බැරි වුනා.

මහේෂිව දැකපු මුල්ම දවසේ හිතට ඇති වුනු අමුතු හැඟීම, බොහොම අමාරුවෙන් යටපත් කරලා දාපු හැඟීම ආයෙමත් ගොඩට එනවා වගෙයි පහන්ට දැනුනේ.

“අපේ අම්මා ඔයාට බොරු කියපු එක ගැන ඔයාට තරහක් නැද්ද මහේෂි?”

“අනේ මන්දා. මම වෙනුවෙන් පෙනී ඉන්න, මගේ යහපත වෙනුවෙන් කැපවීම් කරන්න මට අම්මා කෙනෙක් හිටියේ නැහැනේ. සර්ගේ අම්මා එහෙම බොරුවක් කිව්වේ සර්ගේ ජීවිතේට යහපතක් කරන්න වෙන්න ඇති. මට ඒ ගැන විශේෂ දෙයක් හිතෙන්නේ නැහැ.” මහේෂි හෙමිහිට කිව්වා.

“මට ඩිවෝස් එක ලැබෙන්න තව කල් යනවා. එතකම් ඉන්න ඔයාට පුලුවන්ද?”

“මේ හිටියා වගේම, ඒ දවස් ටිකත් ඉන්නම්.” මහේෂි පහන්ගේ මුහුණ දිහා බලාගෙන මිමිණුවා.                        


SHARE