ගැහැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට අත දෙන්නට ගැහැණියත් සිටිය යුතුමයි.



 

“අදත් මොන හෙණයක් පාත් වෙලාද දන්නේ නැහැ. ෂුවර් එකටම අදත් අම්මා නතාරිට මොනවා හරි කියන්න ඇති. කමක් නෑ තව සතියෙන් ගේ හදලා ඉවර කරනවනේ. හදලා ඉවර වුනු ගමන්ම නතාරි එක්ක පදිංචියට යනවා අලුත් ගෙට.” හිතමින් පහන් ගෙදරට ගොඩ වුණා. ඉස්සරහටම වෙලා පහන්ගේ අම්මා ටීවී බල බල හිටියත් නතාරි පේන්න හිටියේ.

“කෝ අම්මේ නතාරි?”

“ඔය උදේ රවුම් ගහන්න ගියේ. තාමත් නෑ.” සුජාතා කිව්වේ ටීවී එක දිහා බලාගෙනමයි. ඒ ඇහුණු පහන්ට පුදුම හිතුනේ නතාරි තමන්ට ඉක්මණින්ම ගෙදර එන්න කියලා කෝල් කරපු නිසයි.

ඒ එක්කම ඔහුට ඇහුණේ ගේ ගාව ත්‍රීවිල් එකක් නවත්තන සද්දයක්. එයින් නතාරි සහ ටීශා බැහැලා එනවා දැකපු පහන්ගේ මුහුණේ හොඳ හිනාවක් ඇඳුනා. ඒත් නතාරිවත්, ටීශාවත් පහන් එක්ක හිනා වුනේ නැහැ. හිනාවක් නැතුවම ඔවුන් ගෙට ගොඩ වෙද්දී පහන් හිටියේ පුදුම වෙලා.

“පහන් මට ඇත්ත කියන්න. ඔයාට පොඩි කාලේදී කම්මුල්ගාය හැදිලා තියෙනවා නේද?” හොඳ හුස්මක් අරන් නතාරි ඇහුවේ පහන්ගේ ඇස් දෙක දිහා බලාගෙන.

“ඔව් බබා. ඇයි?” පහන් ඇහුවේ පුදුමයෙන්.

සුජාතත් ඔලුව උස්සලා බැලුවේ කුතුහලයෙන්.

“ආ ඒකද එතකොට පහන් අයියා නතාරි එක්ක දොස්තර කෙනෙක් ගාවට යන්න ඔච්චර පස්ස ගැහුවේ?” ටීශා ඇහුවේ සමච්චල් සහගත හඬකින්.

“මොකක්? මොනවද ඔයාලා මේ කියවන්නේ?” පහන් ඇහුවේ අන්දමන්ද වෙලා වගේ.

“රවුම් ගහලා රවුම් ගහලා ඇවිත්, මගේ කොල්ලව කන්න හදන්නේ මොකද?” සුජාතා හිටි තැනින් නැගිට්ටේ තරහෙන්.

“අනේ මේ නැන්දම්මේ, ඔයාගේ නල්ලමලේ පුතාව ඔයාම තියා ගන්න. මම ඔයාගේ පුතාව කන්න හැදුවේ නැහැ. ඔයාලා තමයි මෙච්චර කල් මාව කන්න හැදුවේ.” නතාරි කෝපයෙන් කියද්දී සුජාතවත් පස්සට විසි වුණා. තමන් මොන දේ කිව්වත්, හිස නවාගෙන ඉවසගෙන හිටපු ලේලි අද මෙහෙම කතා කරන්නේ ඇයි කියලා සුජාතට හිතා ගන්න බැරි වුණා.

“අනේ ඇයි නතාරි මෙහෙම?” අසමින් පහන් නතාරිගේ උරහිසෙන් අල්ල ගන්න හැදුවත්, නතාරි ඔහුගෙන් ඈත් වුණා.

“මෙන්න බලනවා මෙඩිකල් රිපෝට් එක. මම ටීශා එක්ක ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බුනා. මගේ කිසිම ලෙඩක් නැහැ. ලෙඩේ තියෙන්නේ ඔයාගේ. පොඩි කාලේදී කම්මුල්ගාය හැදුනු පිරිමි වඳයි කියලා දොස්තර කිව්වා. බොරුනම් ගිහින් ඕන දොස්තරයෙක්ගෙන් අහ ගන්නවා.” කෝපයෙන් පුපුරා හැලෙමින් නතාරි ෆයිල් එක පහන්ගේ දිහාට විසි කළා.

“මොනාද උඹ කියන්නේ නතාරි?” සුජාතා කෝපයෙන් අහගෙන නතාරි ලඟට ඇවිත් ඇයට ගහන්න අත ඉස්සුවා. එතකොටම නතාරි සුජාතාව තල්ලු කරලා දැම්මා.

“වඳ පුතෙක්ව හදාගෙන, මම වඳ ගෑනියෙක් කිය කියා මට වධ දුන්නු දුෂ්ඨ ගෑණි. මම තවත් ඉවසයි කියලා හිතන්න එපා. ඔහේගේ වඳ පුතාට වඳ ගෑනියෙක් හොයාගෙන බන්දලා දෙනවා. මම අනුන්ගේ පව් ගෙවන්නේ නැහැ. මම යනවා අම්මලාගේ ගෙදර.” කියූ නතාරි වේගයෙන් ඇගේ කාමරය දෙසට ගියා.

“මොනවද මේ වෙන්නේ පුතේ?” කියා හඩා වැටෙමින් සුජාතා පහන්ව වැළඳ ගන්න හැදුවත්, පහන් සුජාතාව එහාට කළා.

“මොනවද වුනේ කියලා අම්මට පෙනුනනේ. දරුවෝ නොලැබෙන්නේ නතාරිගේ වරදක් නිසා නෙවේලු. මම නිසාලු. අම්මට ඔය ටිකනේ ඕනේ වුනේ.” කියපු පහන් දෑතින්ම හිස බදා ගත්තා.

ඒ වචන පිහි තුඩු වගේ ඇවිත් සුජාතාගේ හිතේ ඇනුනා.

“ඔයා අර දැරිවිට නිතරම දරුවෝ නැති කතාව කියලා ආඩපාලි කියන්න යන්න එපා. ඔයාට කවදාහරි දවසක පසුතැවෙන්න වෙනවා ඔයාගේ ඔය හැසිරීම නිසා. පවුල කැඩුනේ ඔයා නිසයි කියලා අපේ පුතාගෙන්ම ඔයාට අහ ගන්න වෙන එක ස්ථිරයි ඔහොම ගියොත්.” කලින් දවසක අතුල කියපු හැටි මතක් වෙලා සුජාතට හැඬුම් ආවා.

ඊළඟ මොහොතේ සුජාතා වත්ත පහලට දිව්වේ අතුලව හොයන්න. අතුල ඇවිත් කිව්වොත් නතාරි නවතීවි කියලා සුජාතට හිතුණා.

“පහන් ඔයාගේ අසනීපෙ ගැන කලින් දැනගෙන හිටියද? ඒකද ඔයා නතාරි එක්ක ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන එක කල් දැම්මේ?” ටීශා අහද්දී පහන් ඇය දිහා හිස ඔසවලා බැලුවා.

“නෑ ටීශා. මම ගේ හදනකම් හිටියේ. මොකද මෙඩිකල් රිපෝට් එකේ නතාරිගේ වරදක් තිබුනොත්, අම්මා එයාට සැනසීමේ ඉන්න දෙන එකක් නෑ කියලා මට තේරුණා. තව සතියකින් මම නතාරි එක්ක අලුත් ගෙදරට පදිංචියට යන්න හිටියේ අම්මලාගෙන් ඈත් වෙලා.” පහන් කියද්දී ඔහුගේ ඇසින් කඳුළු ගලාගෙන යන හැටි ටීශා හිතින් තිගැස්සුනා.

“ඒ ගැන නතාරි දැනගෙන හිටියේ නැහැ නේද?”

“නැහැ නංගි. දැන් ඔක්කොම ඉවරයි. මගේ කෙල්ලව හොඳට බලා ගන්න.” කියපු පහන් නැගිටලා එලියට ගියේ ටීශා පුදුමෙන් බලාගෙන ඉද්දි.

ඊළඟ මොහොතේ ටීශා නතාරිගේ කාමරයට දුවන්න හැදුවේ ඒ ආරංචිය නතාරිට කියන්න. ඇයට පහන් ගැන ලොකු දුකක් දැනුණා. ඒත් එක්කම සුජාතයි, අතුලයි ගෙදරට ඇතුළු වුණා.

“කෝ පුතා?” සුජාතා ටීශාගෙන් ඇහුවේ කලබලෙන්.

ටීශා උත්තර දෙන්න කලින්ම ඔවුන්ට පහන්ගේ මෝටර් රථය ස්ටාර්ට් කරන සද්දේ ඇහුණා.

“අයියෝ මගේ දරුවා. අනේ මහත්තයා, මගේ දරුවා කලබලේට ගිහින් මොනවා හරි කර ගනියිද දන්නේ නැහැ.” සුජාතා පුටුවකට වැටිලා අඬන්න ගත්තා.

එතකොටම කාමරයෙන් එලියට ආවේ නතාරි. නිකන්ම නෙවේ, රෙදි බෑග් දෙකකුත් උස්සගෙන.

“පහන්ට මුකුත් වෙන එකක් නෑ අම්මේ. පහන් මහණ වෙයි. අම්මා පහුගිය ටිකේම මට කිව්වේ පහන් මට ළමයෙක් නැති නිසා මහණ වෙන්න යනවා කියලනේ. දැන් ඉතින් එයාට ළමයි නෑ කියලා දැන ගත්තම කොහොමත් මහණ වෙනවා ඇරෙන්න කරන්න දේකුත් නෑනේ. මොකද වඳ පිරිමියෙක්ව භාර ගන්න කිසිම ගෑනියෙක් කැමති වෙන්නේ නෑනේ. ඔන්න අම්මා මට හොඳින් සලකලා තිබුණා නම්, මම පහන්ව භාර ගන්නවා.” නතාරි කියද්දී සුජාතා අඬාගෙන ඇගේ දෙපා මුල ඇදගෙන වැටුණා.

“අනේ මගේ රත්තරන් දුවේ, මේ පව්කාර අම්මට සමාව දෙන්න. මගේ පුතාව දාලා යන්න එපා.”

“රත්තරන් දුව? කවද්ද අම්මට මාව රත්තරන් දුවෙක් වුනේ?” තරහෙන් අහපු නතාරි ඉවතට හැරුණා. හදිසියේම තමන්ගේ හිස කවුදෝ අත ගානවා දැනුනු නතාරි පුදුමයෙන් පිටිපස්සට හැරුණා.

“දු පරිස්සමින් ගෙදර ගිහින් එන්න. දැන් තරහෙන් තීරණ ගන්න බෑනේ. අම්මලා එක්කත් කතා කරලා හොඳ තීරණයක් ගන්න දුවේ.” පහන්ගේ තාත්තා අතුල කියද්දී නතාරිට හයියෙන් ඇඩුණා.

“මට මේ ගේ ඇතුලේ සහනයකට හිටියේ තාත්තා විතරයි. පහන් වුනත් කලේ ලස්සනට දෙපැත්ත බැලන්ස් කරපු එක.” කියමින් අතුලගේ දෙපා වැඳපු නතාරි වේගෙන් නිවසින් පිට වුණා.

ටීශා ඇගේ පිටිපස්සෙන් දිව්වේ පහන් කියපු දේ ඇයට කියන්න බලාගෙන.                             

SHARE