තුටින් ඉන්න අපි කවුරුත් ගොඩක් කැමතියි. අපිට සතුටින් ඉන්න බැරි වෙනකොට අපි ඒ වැරැද්ද පටවන්නෙත් බාහිර පුද්ගලයෙක්ට. එහෙම නැත්තම් බාහිර සිදුවීමකට. ඒත්, අපේ සතුට තියෙන්නේ අපි තුලමයි. තමන්ගේ පුරුදු වෙනස් කර ගැනීමෙන් තමන්ට අවශ්‍ය සතුට සහ සැනසීම පහසුවෙන්ම ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.



 

1 ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ඔබේ සතුට තියෙන්නේ මුදල් වල කියලා හිතාගෙන ඔබ නින්දක් නොලබා මුදල් පස්සේ දුවමින් සතුට හොයන්න උත්සාහ කලොත් නම් ඔබ අනිවාර්යයෙන්ම වෙහෙසට පත් වෙනවා. ඔබේ මනසට සහ කයට දැනෙන දැඩි විඩාවත් එක්ක ඔබේ සිතට ඉබේටම සෘණාත්මක හැඟීම් ඇතුළු වෙනවා.

2 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න

සතුට රස ආහාර වල සැඟවිලා තියෙනවා කියලා තමයි ගොඩක් දෙනා හිතන්නේ. ඒත් එම ආහාර සෞඛ්‍යයට අහිතකර නම් ඔබට ලැබෙන සතුට බොහොම තාවකාලික එකක් වන බව නොඅනුමානයි. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගෙන, නිරෝගී දිවියක් ගත කිරීමට ලැබීමෙන් ඔබේ සතුට ඔබට පහසුවෙන්ම සොයා ගත හැකි වේවි.

3 ඔබට හොඳින් සලකන්න

ඔබට ඔබ සලකන්නේ නැති නම් කවුරු සලකන්නද? අනිත් අය ඔබට සලකනකම් බලාගෙන ඉන්නේ නැතුව, ඔබ ඔබටම හොඳින් සලකන්න. ඔබට මහන්සි වෙලාවට ඔබට විවේකයක් ලබා දෙන්න. ඔබ කැමති තැන් වල යෑම, ඔබ කැමති ආහාර වේලක් ලබා ගැනීම ආදී ඔබව සතුටට පත් කරවන දේවල් මසකට වතාවක්වත් කරන්න.

4 ඇවිදින්න

ඔබ කැමති ස්ථාන බැහැ දකින්නට යන්න. ඔබ පොත් කියවන්න කැමතියි නම් පුස්තකාල වලට, පොත් ප්‍රදර්ශන වලට යන්න. ඒ වගේ තැන් වලට එන ඔබේ ආශාවන් සහ විනෝදාංශම ඇති තවත් මිතුරු මිතුරියනුත් ඔබට මුණ ගැහේවි. ඔවුන් හා එක් වී ඔබ සතුටු දේවල් කරන්න.

5 ධනාත්මක, හිනා යන චිත්‍රපට නරඹන්න

සතුටින් ඉන්න උදව් කරන්නේ ඔබේ මනසේ ඇති වන ධනාත්මක සිතිවිලි සහ ඔබව හිනා ගස්සන හැඟීම්ය. සමහරු පුරුදු වෙලා ඉන්නවා දුක හිතෙන, භය හිතෙන චිත්‍රපට නරඹන්න. ඇත්තෙන්ම ඔබ කරන්නේ ඔබේ ජිවිතයේ ඇති ප්‍රශ්න මදිවට චිත්‍රපටි වල ඇති ප්‍රශ්නත් ඔබේ ජිවිතයට ඇද ගැනීමයි. ඉතින් ඔබට සතුටින් ඉන්න ලැබෙන්නෙම නැහැ. හොඳ අවසානයක් තියෙන, ධනාත්මක සිතිවිලි ඇති කරවන, හිනා වීමට උදව් කරන චිත්‍රපටි නරඹන්න.

6 ඔබ ප්‍රිය කරන පුද්ගලයන් සමඟ ජිවත් වන්න

ඔබට ප්‍රශ්න ඇති කරන, ඔබ ප්‍රිය නොකරන පුද්ගලයන් එක්ක දිගින් දිගටම ජිවත් වෙන්න ගියොත් ඔබේ ජිවිතයේ ඇති සතුට අතුරුදහන් වෙලා යනවා. ඔබේ සතුට නැති වීමට හේතුව ඔබට පීඩා කරන මිනිසුන් නොවේ. එහි වරද ඔබට පීඩා කරන මිනිසුන්ගෙන් ඈත් වීමට ශක්තියක් නැති ඔබ අතේමයි. මේ නිසා ඔබට පීඩා කරන මිනිසුන්ගෙන් ඈත් වීමට අදම තීරණය කරන්න. ඒ වගේම ඔබට සහනයක් සලස්වන, ඔබේ සිතට සතුට ගෙන ඒමට උපකාර වන පුද්ගලයන් ඔබේ ජිවිතයට සමීප කර ගන්න.

7 සෑම උදෑසනකම ධනාත්මක සිතුවිල්ලක් ඔබේ සිතට ඇතුල් කර ගන්න

ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා ධනාත්මක සිතුවිලි සොයන්න. එසේත් නැතිනම් ධනාත්මක සිතුවිලි පළ කරන සමාජ ජාලා ගිණුම් සමඟ එක් වන්න. නැති නම් ධනාත්මක සිතුවිලි එස්. එම. එස් හරහා එවන දුරකථන සේවාවකට ලියාපදිංචි වන්න. එවිට සෑම උදෑසනකම ඔබට ධනාත්මක සිතුවිල්ලක් ලැබෙනු ඇත.

8 ඔබ සතු දේවල් ගැන මෙනෙහි කර සතුටු වෙන්න

බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ට නැති දේවල් ගැන මෙනෙහි කරමින් දුක් වෙන්නයි. නමුත් ටිකක් කල්පනා කරලා බැලුවොතින් ඔබට නොලැබී ඇති දේවල් වලට සාපේක්ෂව ලැබී ඇති දේවල් ගොඩක් වැඩියි. ඉතින් පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඔබට ලැබිලා තියෙන දේවල්, ඔබේ දක්ෂතා ගැන මෙනෙහි කරලා තනිවම සතුටු වෙන්න පුරුදු වෙන්න.


SHARE