ත්ම අභිමානය කියන්නේ තමා පිළිබඳව තමා තුලම ඇති වන ගෞරවනීය හැඟීමටයි. ප්‍රීතිමත් ජිවිතයක් ගත කිරීමට ආත්ම අභිමානය ඔබට උපකාර කරනවා. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත මේ ගැන ලිපියක් ගෙන එන්නට තීරණය කළා.



1 ඔබේ හැකියාවන් වෙත ඔබේ අවධානය යොමු කරන්න

බොහෝ දෙනා ආත්ම අභිමානයක් නොමැතිව ජිවත් වීමට හේතු වන්නේ තම හැකියාවන් නිසි ලෙස හඳුනා නොගැනීමයි. සංගීතයට දක්ෂ පුද්ගලයෙක් සංගීත අංශයෙන් ඉදිරියට ගොස්, රටම දන්නා ගායකයෙකු බවට පත් වුවොත් ඔහු තුල ආත්ම අභිමානය වර්ධනය වෙනවා. නමුත් සංගීතයට දක්ෂ අයෙකු ඒ ගැන සැලකිලිමත් නොවී, ඉංජිනේරුවෙකු වීමට උත්සාහ දරා පරාජය වුවොත් ආත්ම අභිමානය වේගයෙන් පහල බසිනවා. ජිවිත කාලය පුරාවට දුක් වෙමින් සිටින්නට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ මෙය විය හැකියි.

2 ඔබට සතුටු හිතෙන දේවල් කරන්න. අසතුටු දේවල් නොකර සිටින්න

ඔබ සතුටින් සිටින විට ඔබේ ආත්ම අභිමානය වැඩි වෙනවා. ඒ නිසා ඔබේ සිතට සතුටක් ගෙන එන දේවල් වල නිරත වන්න දෙවරක් සිතන්න එපා. ඒ වගේම තමයි පිටස්තර පුද්ගලයන් බල කල පමණින් ඔබ අසතුටු දේවල් කරන්න යන්න එපා. ඔබ අකමැති දෙයක්, ඔබේ අකමැත්තෙන් ඔබට කරන්නට සිදු වුවොත් ඔබේ ආත්ම අභිමානය පහල බසිනු ඇත.

3 ඔබේ රූපය ගැන සැලකිලිමත් වෙන්න

ඔබ ලස්සනට සිටීමේ ප්‍රතිඵලය අනිත් ඇයගේ ආකර්ෂණය ඔබට ලැබීම පමණක්ම නෙවෙයි. ඔබ ලස්සනට ඉන්නකොට ඔබේ සිත සතුටට පත් වී, ඔබේ ආත්ම අභිමානය ඉහල යනවා. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්නට පුරුදු වන්න. ඔබ භාවිතා කරන අත් බෑග්, කුඩ ලස්සනට තියා ගන්න. ඇඳුම් වලට ගැලපෙන ලෙස ආභරණ, ඔරලෝසු තෝරා ගන්න.

4 ඔබේ මුල්‍යමය හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න

ඔබේ ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් අධික ලෙස වැඩ රාජකාරි වල යෙදීමෙන් ඔබේ මානසික ශක්තිය අඩු විය හැකි බව තේරුම් ගන්න. ඔබේ රැකියාවට අමතරව පහසු ආදායම් මාර්ගයක් සකසා ගන්න. නිවසක් කුලියට දීම, ආයෝජනයක් කිරීම වැනි වෙහෙස වීමට අවශ්‍ය නැති අතිරේක ආදායම් මාර්ගයක් සකසා ගන්න.

අනිවාර්යයෙන්ම මසකට යම් ප්‍රමාණයක් ඉතිරි කරන්න. ඔබේ ඉතිරි කිරීම් ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට ඔබේ ජිවිතයේ බොහෝ අවදානම් පහව යන බවත්, ඔබේ ආත්ම අභිමානය ඉහල යන බවත් ඔබට දැනේවි.

ණය ගැනීමේදී කල්පනාකාරී වෙන්න. බැංකුවක් වැනි ස්ථානයකින්, ඔබට ගෙවිය හැකි ප්‍රමාණයේ ණයක් ලබා ගන්න. පෞද්ගලික ණය ලබා ගැනීමේදී පොලිය ගැන සැලකිලිමත් වන්න. ඔබට ගෙවිය නොහැකි තරඟ ණය එක් රැස් වූ විට, පුද්ගලයන් ඔබෙන් ණය ඉල්ලමින් කරදර කරන විට ඔබේ ආත්ම අභිමානය පහල බැසීමේ අවදානම ඉහලය.

5 මිතුරු ඇසුරේදී කල්පනාකාරී වන්න

සෘණාත්මක ආකල්ප දරණා මිතුරන් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් වන්න. නිතරම “බැහැ” කියා ගත්තු ගමන් ඉන්නා පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ඔබේ සිත තුලත් සෘණාත්මක අදහස් ඇතුළු විය හැක. සෘණාත්මක අදහස් සිතට ඇතුළු වූ විට ආත්ම අභිමානය පහල බසිනවා. ඒ වගේම නිතරම ඔබව විවේචනය කරන, ඔබේ වැරදි ගැන පවසන මිතුරන් ඇසුරු කිරීමෙනුත් ඔබේ ආත්ම අභිමානය පහල යනවා. ඔබ සතුටින් සිටීමට උත්සාහ කරද්දී ඔබේ සතුට නැති කිරීමට පැමිණෙන විවිධ බලවේග ඔබට හමු වේවි. තැනින් තැන ඔබ ගැන විවේචනය කරන මිතුරන් ගැන ඔබට ආරංචි වේවි. ඒවාට නොසැලී සිටීමට ඔබ පරිස්සම් විය යුතුයි.

6 ඔබේ යහපත් ගතිගුණ ගැන නිතර මෙනෙහි කරන්න

අපි හැමෝම තුල යහපත් ගතිගුණ තිබෙනවා. ඔබ තුල ඇති යහපත් ගතිගුණ ගැන හොඳින්ම දන්නේ ඔබයි. ඔබ දවස තුල යම් කෙනෙක්ට කරුණාවෙන් කතා කළා නම්, යම් පුද්ගලයෙක්ව ඔබේ සිනහවකින් සතුටු කළා නම්, දුප්පත් පුද්ගලයෙක්ට ඔබ රුපියලකින් හෝ ආධාර කළා නම් ඒ ගැන මෙනෙහි කරන්න. ඔබේ යහපත් ගතිගුණ ගැන ඔබ සතුටු වන විට ඔබේ ආත්ම අභිමානය ඉබේටම ඉහල නගිනු ඇත.


SHARE