මේ
ලෝකයේ හොඳ මිනිස්සු ඉන්නවා. ඒත් සමහරු සීමාව ඉක්මවා හොඳ වෙන්න ගිහින් ගැටළු ඇති කර ගන්නවා. සිත් රිදවීම් ඇති කර ගන්නවා. ඔවුන්ගේ දැක්මට අනුව ඔවුන් අනිත් අය වෙනුවෙන් ගොඩක් දේවල් නිර්ලෝභීව කැප කරනවා. ඒත් අනිත් අය ඔවුන් වෙනුවෙන් කිසිම දෙයක් කැප කරන්නේ නැහැ. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්න.



“මම අනිත් අය වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරලා තියෙනවද? මම එක වතාවක් මගේ විභාගෙට සතියක් තියෙද්දී මගේ යාලුවෙකුගේ වෙඩින් එකකට එයාලගේ ගෙදර ගිහින් නැවතිලා උදව් කළා. මට හරියට පාඩම් කරන්න ලැබුනේ නැහැ. මම ගෙදර ඉඳන් පාඩම් කළා නම් මීට වඩා ලකුණු ගන්නත් තිබුනා. හරි, ඒකට කමක් නැහැ. ඒත් ඒ යාලුවා මගේ වෙඩින් එකට ආවේ වත් නැහැ. එයා කිව්වේ එයාට හස්බන්ඩ් එක්ක ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා. ඉතින් ඔය ට්‍රිප් එක වෙන දවසක යන්න තිබුනෙම නැද්ද ?”

 

ඉහතින් සඳහන් වුනේ එක්තරා යුවතියක් නගපු මැසිවිල්ලක්. මේ සිදුවීම හිත රිදවන සිදුවීමක් වගේ පෙනුනත් අපිට පුළුවන් මේ සිදුවීම පුංචි පුංචි කොටස් වලට බෙදා වෙන් කරගෙන, ඇයට වැරදුනේ කොතනද කියලා හොයලා බලන්න.

 

අපි හැමෝටම ජිවිතයේ ප්‍රමුඛතාවයන් තියෙනවා. ඒවා නිවැරදිව හඳුනා ගන්න අපොහොසත් වෙන ඕනෙම කෙනෙක්ට විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ඇය කියනවා ඇය මිතුරියගේ විවාහ උත්සවයට උදව් කරන්න යෑම වෙනුවෙන් ඇගේ විභාගය සඳහා පාඩම් කිරීමට තිබුණු කාලය කැප කල බව. විභාගයක් කියන්නේ ජිවිතයේ කඩ ඉමක්. ඒ කඩ ඉම සාර්ථකව පසු කළා නම් ඇයගේ ජිවිතයට අනිවාර්යයෙන්ම ඉහල සුදුසුකමක් එකතු වෙනවා. ඒ කියන්නේ “විභාගය” කියන්නේ ජිවිතයේ ප්‍රමුඛතාවයක්. නමුත් මේ තරුණිය එය හරි හැටි හඳුනා ගත්තේ නැහැ.

ඒ අවස්ථාවේදී ඇගේ මිතුරියගේ ජිවිතයේ ප්‍රමුඛතාවය වුනේ ඇගේ විවාහයයි.

මේ තරුණිය ඒ මොහොතේ ඇගේ ජිවිතයේ තිබුණු ප්‍රමුඛතාවයට ඉඩ නොදී, ඇගේ මිතුරියගේ ජිවිතයේ ප්‍රමුඛතාවයට ඉඩ දුන්නා.

 

නමුත් දෙවැනි අවස්ථාවේදී මේ තරුණියගේ ජිවිතයේ ප්‍රමුඛතාවය ලෙස ඇගේ විවාහය කරලියට එද්දී ඇගේ මිතුරිය එය මඟ හැරියා. ඒ අවස්ථාවේදී මිතුරිය ඇගේ ජිවිතයේ ප්‍රමුඛතාවය ලෙස හඳුනා ගත්තේ තමාගේ ස්වාමිපුරුෂයා සමඟ විනෝද චාරිකාවක් යාමයි.

එය මේ තරුණියගේ සිත රිදවන කරුණක් වුවත් එයින් උගත යුතු සුවිශේෂී පාඩමක් තිබෙනවා.

අපි හැමෝම අපේ ජිවිතයේ පවතින ප්‍රමුඛතාවයන් නිසි ලෙස හඳුනා ගන්න පුරුදු වෙන්න ඕනේ. අපේ දේවල් කැප කරලා අනිත් අයට උදව් කරන එක ගොඩක් හොඳ වැඩක් තමයි. ඒත්, ඒ කැප කිරීමේ සීමාවක් තියෙන්නම ඕනේ. නැත්නම්, ඔබටත් නොදැනීම ඔබේ දේවල් අහිමි වෙලා යාවි. ඒ වගේම ඔබේ ජිවිතයේ ප්‍රමුඛතාවයන් වලට අනිත් අය ප්‍රමුඛතාවය ලබා දේවි යැයි ඔබට බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ ඔවුන්ට ඔවුන්ගේම ප්‍රමුඛතාවයන් පවතින නිසයි.

 

ඉතින් ඇත්තටම වැරැද්ද ඔබ ඔබේ ජිවිතයේ ප්‍රමුඛතාවයන්ට මුල් තැන නොදීමද, අනිත් අය තමන්ගේ ජිවිත වල ප්‍රමුඛතාවයන්ට මුල් තැන දීමද කියලා හිතන්න ඔබටම භාරයි.  

        


SHARE