විවාහය යනු ඔබේ ජීවිතයේ සුන්ඳරම දිනය වියහැකි. එය දෙවැනිවෙතොත්, ඒ ඔබ මවක් වූ දිනට පමණි. මීට වසර 10යකට පෙර විවාහයක් සඳහා වැයවුණු මුදලට වඩා දෙතුන් ගුණයක් අද විවාහයකට වැයවෙනවා. අලුත් “අංග” රැසක් අද විවාහ උත්සවයකට එකතුවෙලා. විවාහයක් සඳහා යන වියදම සිහියට එන විටම “විවාහය” ගැන අපිට බියක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.



∗ සමාජ පීඩනය

“ලොකුවට” විවාහ උත්සවයක් ගැනීමට හේතුවෙන මූලිකම සාධකයක් ලෙස සමාජ පීඩනය හඳුන්වන්න පුළුවන්. එනම්, සමාජය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ “ලොකුවට” විවාහය ගැනීමයි. මේ හේතුව නිසාම, අද විවාහ උත්සවයක් ගැනීමේදී එයට සහභාගී වෙන අමුත්තන්ට “අලුත්ම අත්දැකීමක්” ලබාදීම සඳහා තමයි වැඩි අවධානයක් යොමුවෙන්නේ. නව තාක්ෂණයත් විවාහයට අද මුසුවෙලා. විවාහ උත්සවය අද ගොඩක් සංකීර්ණ වෙලා. විවාහයේ අරමුණ පවා අමතක වුණු යුගයක් ලෙස අද හැඳින්විය හැකියි. “ලස්සනට” විවාහය ගැනීම වැරදියි කියන එක මින් අදහස් කෙරෙන්නේ නෑ. නමුත්, සීමාව ඉක්මවා කෘතීම වීම අභාවයට යාමක් ලෙස පැවසිය යුතුයි. මාධ්‍යයත් මීට යම් දුරකට වගකිව යුතුයි.


∗ සන්සන්දනය කිරීම හා අමුත්තන්ගේ බලාපොරොත්තු

සන්සන්දනය කිරීම අප සතුව ඇති දුර්වලකමක්. හැමෝම හිතන්නේ, “අපි තමයි ලොකුවටම විවාහය කරන්න ඕනේ” කියලයි. කවුරුත් කාටවත් දෙවනි වෙන්න කැමති නෑ. “අපි ඒගොල්ලන්ට වඩා ලොකුවට අපේ දුවගේ විවාහය ගන්න ඕනේ”. “අම්මේ, ඒගොල්ලො ගත්ත උත්සවයට වඩා මගේ විවාහ උත්සවය ලොකුවෙන්න ඕනේ”. මේවා තමයි අද මිනිසුන් තුල පවතින සන්සන්දනාත්මක අදහස්.

අනිත් අතින් ගත් කල, විවාහයකට පැමිණෙන අමුත්තන් පවා බලාපොරොත්තු වෙන්නේ “ලොකු දෙයක්”. නැතිනම් ඔවුන් එකිනෙකා කතා වෙනවා “අපෝ, මේ මොන විවාහයක්ද” කියලා. මේ පීඩනයන් අද සමාජයේ වැඩිවෙලා.


∗ විවාහ වියදම

පෙර සඳහන් කළ පරිදි, මාධ්‍යත් මේ සඳහා යම්තාක් දුරකට වගකිව යුතුයි. සමහර ටෙලිවිශන වැඩසටන් මඟින් ඔබව පොළඹවන්නේ විවාහය “සුපිරියටම” කිරීම සඳහායි. “විවාහ සංවිධායකයන්” විසින් විවිධාකාරයේ දේවල් හඳුන්වාදෙනවා. මේවා කිරීමට ඔවුන් ජනතාව පොළඹවනවා.

විවාහ උත්සවයක් සඳහා අද වනවිට ලංකාවේ කොතරම් මුදලක් වැයවේදැයි හරියටම කිව නොහැකි තරම්. එය මිලියන ගණනාවක් පවා විය හැකියි. විවාහය “ලොකුවට” ගැනීමට ණය වෙන අවස්තා පවා ඇතිබව ඔබටත් අත්දැකීම ඇති.


∗ විවාහයක් “මිළ අධික” විය යුතුමද?

මීට ඇත්තේ බොහොම සරල උත්තරයක්. ඒ, “නෑ” කියන එකයි. විවාහයක් සාර්ථක වීමට එයට යටකරන වියදම බලපාන්නේ නෑ. ඇත්ත වශයෙන්ම කීවොත්, විවාහය මිළ අධික නෑ, මිනිසුන් තුල ඇති ආකල්ප තමයි මිළ අධික. සරල විවාහ උත්සවයක් ඔබට “අති සාර්ථක” විවාහයක් බවට පත්කළ හැකියි. “අරුම පුදුම හා ඔබට පමණක් ආවේණික” විවාහ උත්සවයක් ගැනීමටම හිතන්න එපා. සරල හා සාම්ප්‍රදායික විවාහ උත්සවයක් තමයි වඩා සුන්ඳර. ඔබේ මංගල මුදුව දියමන්ති මුදුවක් වීම අනිවාර්ය නෑනේ.

මේ සරල බව ඇතිවීම සඳහා මනාලයා හා මනමාලිය පමණක් සරල වීම ප්‍රමාණවත් නෑ. විවාහයට සහභාගීවෙන අමුත්තන් විශේෂයෙන්ම සරල ලෙස සිතිය යුතුයි. විවාහ උත්සවය විවේචනය කිරීමට අමුත්තන්ට කිසිම අයිතියක් නැති තරම්.


∗ සාරාංශය

විවාහ උත්වයක් සාර්ථක වීමට එය “මිළ අධික” විය යුතු යන මතය සමාජය විසින් ගොඩනගා ගත් වැරදි මතයක්. මාධ්‍යය හෝ විවාහ සංවිධායකයන්ගේ පෙළඹ්වීම් වලට ඔබ රැවටෙන්න එපා. ඔබ කළ යුත්තේ, ඔබ සතුටට පත්වෙන දෙයයි. අමුත්තන් සතුටට පත්කිරීමට කියා ණය ගෙන “ලොකුවට” විවාහයක් ගැනීමට පෙළඹෙන්න එපා. ඒ කිසිම අමුත්තෙක් ඒ ණය ගෙවීමට ඔබට උපකාර කරන්නේ නෑනේ. විවාහය යනු ඔබේ ජීවිතයේ ඇති සුන්ඳරම හා වැදගත්ම දිනය වෙන්න පුළුවන්. නමුත් ඒ සුන්ඳර බව රඳා පවතින්නේ ඔබේ මංගල ඇඳුමේ මිළ හෝ මංගල මුදුවේ ඇති වටිනාකම මත නොවේ. විවාහයකට පැමිණෙන කළ යුත්තේ, ඔබට ආරාධනාව ලැබුණු පසුව එම උත්සවයට සහභාගී වී අලුත් යුවලට සුභපැතීම හා ආශිර්වාද කිරීමයි. විවේචනය නොවේ.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here