ප්‍රශ්න කියන්නේ අපේ මනස අවුල් කරවලා දාන, අපේ හිතේ සැනසීම අතුරුදහන් කරවලා දාන දෙයක්. ඒත් ප්‍රශ්න කරදර අපි නොහිතන වෙලාවල් වලදී අපේ ජිවිත වලට කුණාටුවක් වගේ හඹා ගෙන ඇවිත් යනවා. මේ වෙලාවට නොවැටී ඉන්නට නම් හිත ශක්තිමත්ව තිබිය යුතුමයි. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත මේ සම්බන්ධ ලිපියක් ගෙන එන්නට තීරණය කළා.




1 ප්‍රශ්න ඇති වුනාම කල්පනා කිරීම පරිස්සමින් කරන්න

ප්‍රශ්නයක් ඇති වුනාම ඔබ දිගින් දිගටම කල්පනා කරන්නට පෙළඹෙනවා. අවාසනාවට ඔබේ කල්පනාවට එන්නෙම ඔබ වෙත පැමිණි කරදරය සහ ඉන් පසුව සිදු විය හැකි නරක ප්‍රතිඵල ගැනයි. ප්‍රශ්නයක් ඇති වූ විට ඔබේ කල්පනාවට “මේ ප්‍රශ්නේ විසඳෙන්න ඉඩ තියෙනවා, මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්.” වගේ ධනාත්මක සිතුවිලි ඇති වෙන්නෙම නැති තරම්. ඔබේ සිතට එන්නෙම සෘණාත්මක සිතිවිලි වීමට වැඩි ඉඩක් තිබෙනවා. මෙයින් වෙන්නේ තව තවත් ඔබේ සිත දුර්වල වීමයි. මේ නිසා සෘණාත්මක සිතුවිලි වලට වහල් නොවී පරිස්සම් වෙන්න ඔබ සැලකිලිමත් විය යුතුයි.

2 ප්‍රශ්න ඇති වූ විට ඔබ අවට ඇති බඩු භාණ්ඩ සහ පුද්ගලයන් එයට වන්දි ගෙවිය යුතු නැති බව අවබෝධ කර ගන්න

ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගෙනත් තමන්ගේ බිරිඳට බැන වදින, දරුවට පහර දෙන පුද්ගලයෙක් වීමෙන් ඔබ වැළකිය යුතුයි. ඔබට ප්‍රශ්න ඇති වූ විට ඔබ ඒවා අනෙක් මිනිසුන් හරහා යවන්නේ නම් ඔබ අවට පරිසරය අසුන්දර තැනක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් සමහරු තමන්ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුනම ෆෝන් එක පොලවේ ගැසීම, සිම් පත කඩා විසි කිරීම වැනි බොළඳ ක්‍රියා වල නිරත වෙනවා. හදිසි ආවේගය මත ඔබ සිදු කරන මෙවැනි ක්‍රියා වලින් පාඩු සිදු වන්නේ ඔබටමයි. තරහව නිවුණු පසු ඔබට සිදු වන්නේ ඔබේ නපුරුකම් නිසා බිඳී ගිය ඔබේ ආදරණිය සබඳතාත්, බිඳී ගිය බඩු භාණ්ඩ වල මිල ගැන සිතමින් දුක් වීමටත් නම් ඔබ අසාර්ථකයි.

3 තීරණ ගැනීමෙන් වලකින්න

මිනිසුන් කෝපයෙන්, වේදනාවෙන් සිටින අවස්තාවලදී ගන්නා හදිසි තීරණ නිසා පසුව පසුතැවෙන්නට සිදු වන අවස්ථා එමටයි. ඇතැම් හදිසි තීරණ නිසා සිදු වන්නේ තිබෙන ප්‍රශ්නය තවත් වැඩි වීම වෙන්නට පුළුවන්. වැරදි තීරණ නිසා පසුතැවෙනවාට වඩා අයහපත් තත්වය සමනය වන තුරු ඉවසා සිටින්න. තීරණ ගැනීම ඔබ මඳක් සංසුන් වූ පසුව සිදු කල හැකියි.

4 සිත සංසුන් කර ගැනීමේ ක්‍රියාවලිය පටන් ගන්න

සිත සංසුන් කර ගැනීමට හොඳම ක්‍රමය භාවනාවයි. විවිධ භාවනා ක්‍රම අතරින් ඔබට ගැලපෙන පහසු භාවනා ක්‍රමයක් තෝරා ගන්න. නිසංසල පරිසරයක ඇවිදින ගමන්, අවට පරිසරයේ ශබ්ද වලට සවන් දෙන ගමන්, දෑස් වසාගෙන ඔබේ ආශ්වාස ප්‍රාශ්වාස රටාවට හිත යොමු කිරීමෙන් ඔබට පුළුවන් කෙටි කාලයක් ඇතුලත ඔබේ සිත සංසුන් කර ගන්න.

5 හිත මඳකට වෙනතකට යොමු කරන්න

ඔබේ ප්‍රශ්නයේ වේදනාව මඳකට සමනය කර දිය හැකි සරල සංගීතයකට සවන් දෙන්න. හිනා යන පුංචි වීඩියෝ එකක් නරඹන්න. මොනවා හරි රස කෑමක් ආහාරයට ගන්න. සින්දුවක් දාගෙන පොඩ්ඩක් ඩාන්ස් කරන්න. එහෙම නැත්තම් ව්‍යායාම කරන්න. එවිට ඔබේ සිත මඳකට වෙනතකට යොමු වේවි. එවිට ඔබේ සිතේ ඇති පැටලුම් ලිහා ගැනීමට පහසු වේවි.  

6 ඔබේ ගැටලුව දෙස පිටස්තරයෙකු බලන ඇසින් බලන්න

ඔබේ ගැටලුව ඔබේ නෙවෙයි කියලා උපකල්පනය කරන්න. පිටස්තර පුද්ගලයෙකුට එම ගැටලුව ඇති වී ඇති බවත්, ඔහු ඒ ගැන ඔබට පැවසු බවත් සිතා ගන්න. ඔබ ප්‍රශ්නය කොටසින් කොටසින් විග්‍රහ කර ගන්න. පිටස්තර පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් විග්‍රහ කරලා, එයට විසඳුම් ලබා දෙන්න අපට අපහසු නැහැ. එහෙනම් ඒ විදිහටම තමාගේ ප්‍රශ්නයටත් පිළිතුරු සොයන්න තමාටම පුළුවන් බව අවබෝධ කර ගන්න.

    

SHARE