සැබෑ ආදරය ඇතුලෙදි කවදාවත් පෙම්වතා හෝ සැමියා රජ වෙලා, පෙම්වතිය හෝ බිරිඳ දාසියක් වෙන්නේ නැහැ. හොඳ පිරිමියෙක් තමන්ගේ බිරිඳටත් රැජිනක් වෙන්න උදව් කරනවා. ඇත්තටම ඒ තමයි හොඳ පිරිමියෙකු ඔහුගේ සැබෑ ආදරය පෙන්වන ස්වරූපය. නෙත්මි කියන දඟ කෙල්ලගෙයි, අකලංක කියන ආදරණීය තරුණයාගෙයි ආදර අන්දරයත් ඒ වගෙයි.




ඉන් පසු එලඹුනේ මගේ පාසැල් ජීවිතයේ නරකම දවස් කීපය කිව්වොත් මම නිවැරදියි. පසුදා මා දකින දකින තැන ගස්සා, අහක බලාගෙන යන මිතුරියන් විසින් මගේ හදවත රිදවූයේ වරක් දෙවරක් නෙවෙයි. දිස්නා නම් මාව දැක්කම ගැස්සුවේ, රැව්වේ නැහැ. එයා ඒ වෙනුවට මාව දකින හැම වෙලාවේම මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැතුව බිම බලාගෙන යන්නට පුරුදු වුණා. අනිත් අය මාව දකින හැම වෙලාවේම මට පෙනෙන්නම ගස්සා අහක බලා ගත්තේ දරුණු මිනීමරුවෙකු දැකලා හැසිරෙනවා වගේ.

උදේ රැස්වීමට යද්දී වෙනදා මාත් එක්ක යන දිස්නා මාව මඟ ඇරලා එහි යන්න පටන් ගත්තා.

ඒ හැම දේටම වඩා මම හොඳටම වඩා බය වෙලා හිටියේ සර් මොන වගේ පියවරක් ගගනියිද හිත හිත. ප්‍රින්සිපල්ට, අනිත් ටීචර්ස්ලට මගේ හැසිරීම ගැන කියයි කියල මම හොඳටම බය වෙලයි හිටියේ. එත් උදේ පීරියඩ් වල උගන්නන්න ආපු අනිත් ටීචර්ස්ලගේ කිසිම වෙනසක් තිබුණේ නෑ. දවල් වෙනකොට මට තේරුනා සර් කාටවත් මගේ හැසිරීම ගැන කියල නෑ කියල. මට සර් ගැන පොඩි ගෞරවයක් දැනෙන්න ගත්තේ මටවත් හිතා ගන්නත් බැරි විදිහට.

එත් ගණන් පීරියඩ් එක ලන් වෙද්දී මගේ පපුව ගැහි ගැහි තිබුණේ. පීරියඩ් එක මඟ ඇරල කොහෙවත් යන්න තිබුණා නම් කියල මට දහස් වරක් හිතුණ.

“හොඳින් ඉද්දිත් මට බැනපු සර්, මම ඉගෙන ගන්න ගුරුවරයෙක් ඕනේ නෑ කියපු නිසා මට එලියට යන්න කියයිද?” සැරින් සැරේ ඒ වගේ සිතුවිලි හිතට ඇවිත් මාව බය කලා

සර් එද්දී අනිත් ලමයි එක්කම මාත් නැගිට්ට. සර් පාඩම උගන්නන ගත්තේ ඊයේ වුනු දේ මතකයක්වත් නැටි විදිහට. ටික වේලාවකින් සර් අපිට හදන්න ගණන් කීපයක් දුන්නා. ටික වෙලාවකින් සර් ලමයින්ගේ ලඟට ඇවිත් පොත් බලන්න පටන් ගත්තා. සර් අපේ පේලිය ලඟට එනකොට මට දාඩිය දාල තිබුණේ හොඳටම. එත් සර් මගේ පොත ඇරෙන්න අනිත් දෙන්නගෙම පොත් බලල පිටිපස්සේ පේලියට ගියා. මට දැනුනේ ලොකු දුකක්. මම පොත දිහා බලාගෙන ඔහේ හිටියා.

ඊට පස්සේ සර් අයෙත් ඉගැන්නුවා. ගණන් හදන්න දුන්නා. පීරියඩ් එක ඉවර වෙන්න ලන් වෙද්දී සර් පන්තියේ උප නායිකාව වුනු උමේෂාට කිව්වා පොත් ටික එකතු කරල සර්ට ගෙනත් දෙන්න කියල. මගේ ඇස් වලට කඳුලු පිරුණේ මටත් නොදැනීම. මොකද සර් වෙනදට ඒ වැඩේ පවරන්නේ පංති නායිකාව වෙච්ච මට. උමේෂා ලඟට ආවම මම මගේ පොතත් දුන්නා.

හවස් වෙද්දී සර් අක්කා කෙනෙක්ගේ අතේ අපේ පොත් ටික ආයෙත් එව්වා. දිස්නාගේ පොතේ රතු පෑනෙන් හරි වැරදි ලකුණු කරල තිබුණා. එත් මගේ පොත සර් ලකුණු කරල තිබුණේ නෑ. අඩු තරමේ රතු පාටින් වැරදිලාවත්, එක තිතක්වත් සර් තියල තිබුණේ නෑ. මම පොත වහල දාල බාත් රූම් එකට දිව්වා. මගේ හිතේ දුක අඩු වෙනකම්ම මම දොර වහගෙන අඬලා තමයි මම ආයේ ආවේ. මම එනකොට සමාජ අධ්‍යනය ටීචර්, කුමුදු මිස් පාඩම උගන්නනවා.

“කොහෙද පුතේ ගියේ? යාලුවොත් ගිය තැනක් දන්නේ නෑ කිව්වා. ඉක්මනට ඇවිත් වාඩි වෙන්න.” ඇය කිව්වේ මාත් එක්ක හිනා වෙන ගමන්. දවසේම හිනාවක් දකින්නේවත් නැතුව හිටපු මට ඒ හිනාව ගෙනාවේ සතුටක්. මාත් මිස් එක්ක හිනා වෙලා ඉක්මනින්ම වාඩි වුණා.

ගෙදර ගිහින් ඔහේ ඉන්නකොට මට හිතුණා සර් දීපු හෝම් වර්ක් නොකර යන්න. සර් සාමාන්‍යයෙන් උගන්නන අතර තුරේ ලමයින්ගේ හෝම් වර්ක් බලනවා. සර් මගෙන් හෝම් වර්ක් කලේ නැත්තේ ඇයි කියලා අහයි කියල මට පොඩි බලාපොරොත්තුවක් ආවා.

පහුවෙනිදා උදේ මම ඉස්කෝලේ ගේට්ටුවෙන් එනකොටම ඉස්සරහට සර්ව හම්බුනා. මම සර්ට “Good morning සර්” කියල කිව්වා. සර්ත් හිනාවක් නැති මුහුනකින් Good morning කියල මාව පහු කරගෙන ගියා.

ගණන් පීරියඩ් එකේදී සර් පන්තියේ හෝම් වර්ක් කරලද කියල බලාගෙන එද්දී උත්තරය නොලියපු, ප්‍රශ්නය විතරක් ලියල තිබුණු හිස් පිටුව සර්ට පේන්න හරවලා තිබ්බා. සර් ලඟට එද්දී මම හෙමිට සර් දිහා බැලුවා. සර්ගේ ඇහැ මගේ පොතට යොමු වුනත්, එත් එක්කම සර් දිස්නගේ පොත අරන් බැලුව. මොන දේ කලත් කිසිම වෙනසක් සර්ගෙන් වෙන්නේ නෑ කියල මට තේරුණා. මම පොත දිහා බලාගෙන ඉද්දි මගේ කඳුලු බින්දුවක් ගලාගෙන ඇවිත් පොත උඩට වැටුනා.

ඊට පස්සේ මට එක පාරම මතක් වුනේ කලින් දවසේ මම පන්තියට පරක්කු වෙලා එද්දී කුමුදු මිස් හිනා වෙලා මට පන්තිය ඇතුලට අඬ ගහපු හැටි.

ඊලඟ දවසේ මම ගණන් පීරියඩ් එකට කලින් හිතලම වොෂ් රූම් එක පැත්තේ ටිකක් කැරකිලා ටිකක් පරක්කු වෙල ආවා. මම හිතපු විදිහටම සර් ඇවිත් ගාණක් කියා දිදී හිටියා. සර් මාව දැක්කත් නොදැක්කා වගේ දිගටම ගාන තේරුම් කරමින් හිටියා. මම කෙටි බිත්තිය ලඟට වෙල සර් කියා දෙන ගාන අහගෙන හිටියා.

සර් ගාණක් හදන්න දීලා වාඩි වුණා. මට මොනවා කරන්නද කියල හිතා ගන්න බැරි වුණා. සර් වාඩි වෙලා ඉන්න ගමනුත් මම දිහා බැලුවා. එත් මට ඇතුලට එන්න කියල කිව්වේ නෑ. ටිකකින් සර් වෙනද විදිහටම පන්තිය වටේ ඇවිදලා ලමයින්ගේ පොත් බැලුවා. පන්තියේ පිටි පස්සෙන් යද්දිත් සර් ආයේ මම දිහා බලාගෙනයි ගියේ. මට තේරුණා මාව සර් දැක්කත් සර් ඉන්නේ නොදැක්කා වගේ කියල.

කර ගත්තේ මෝඩ වැඩක්ද කියල හිත හිත මම හිටියා. සීනුව නාද වුණේ මටත් නොදැනීම. සර් පොත් ටිකත් අරන් ආවා එලියට. සර් මගේ ගාවින් යද්දී ඉබේම මට බිම බැලුණා. එත් ඒ දෙපා මගේ ලඟ නතර වෙනවා දැක්කම මම පුදුමයෙන් හිස එසෙව්වා.

“නෙත්මි, ඉගෙන ගන්න ගුරුවරයෙක් අවශ්‍ය නැති ඔයාට පන්තියට යන්න ගුරුවරයෙක්ගේ අවසර ඕනේ වෙන්න විදිහක් නැනේ.” සර් සන්සුන් හඬින් කියල දැම්මේ මාව අඬවමින්.

“අනේ සර්” කියල මම හැඬුම් බරව ඔහුව ඇමතුවත්, සර් එතනින් ගියේ ඒක නෑහුණු ගානට.

SHARE