සැබෑ ආදරය ඇතුලෙදි කවදාවත් පෙම්වතා හෝ සැමියා රජ වෙලා, පෙම්වතිය හෝ බිරිඳ දාසියක් වෙන්නේ නැහැ. හොඳ පිරිමියෙක් තමන්ගේ බිරිඳටත් රැජිනක් වෙන්න උදව් කරනවා. ඇත්තටම ඒ තමයි හොඳ පිරිමියෙකු ඔහුගේ සැබෑ ආදරය පෙන්වන ස්වරූපය. නෙත්මි කියන දඟ කෙල්ලගෙයි, අකලංක කියන ආදරණීය තරුණයාගෙයි ආදර අන්දරයත් ඒ වගෙයි.




මම පන්තියට ගිහින් මේසයේ ඔලුව ගහ ගත්තා.

හදිසියේම මට දැනුනේ කවුරු හරි මගේ හිසට අත තියනවා වගේ. මම ගැස්සිලා බලද්දී කුමුදු මිස්.

“ඇයි පුතේ අසනීපෙන්ද?” ඇය මගෙන් ඇහුවේ ආදරෙන්.

“නෑ මිස්.” මම නැගිටල උත්තර දුන්නා.

“පුතේ කවදාවත් නැතුව ඔයාගේ ටෙස්ට් එකට ලකුණු අඩු වේලානේ?” ඇය කිව්වේ කලින් දවසේ දීපු ටෙස්ට් එක ගැන.

ඇය හරි. මම ඒක ලිව්වේ වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවේ. මම එදා හිටියේ පන්තියේ ලමයි කතා නොකරන වේදනාවෙන්.

“මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහගන්න.” ඇය එහෙම කියල ඉස්සරහට ගියා. එත් ඇය කියපුවා අහගෙන හිටපු ඉස්සරහ පේලි වල අය හිනා වෙන්න ගත්තා.

මේ හැමදේම මම කර ගත්තේ විහින් කියල දන්න නිසා මම ඒවා ඉවසන්න උත්සාහ කලා.

ඇත්තටම ඒ වෙද්දී ලමයි මට කරන නපුරුකම් වලට වඩා, මගේ හිත නොසන්සුන් කරල තිබුණේ සර්ගේ නිහඬ බව.

මම ගෙදර ගිහින් දිගින් දිගටම කල්පනා කලේ මේ ප්‍රශ්න විසඳ ගන්න විදිහක්. අවසානයේදී මට මතක් වුණා කුමුදු මිස්ව. මගේ පුංචි කාලෙදීම අම්මා මාව දාල ගිහින් තිබුණා. කුමුදු මිස් සමහර වෙලාවට ආදරෙන් කතා කරද්දී මට හිතිලා තියෙනවා මිස් මගේ අම්මා වුණා නම් කියල. මේ හැම දේම මිස්ට කියල හිතට සහනයක් ගන්න මට හිතුණා. පාඩම් වල අමාරු තැනක් තිබුනොත් අහ ගන්න කියල මිස් කියපු එකේ, මේ දේවල් මිස්ට කියන්න මම තීරණය කලා.

ඉතින් ඊලග දවසේ මම මිස්ට කිව්වා කතා කරන්න ඕනා කියල. මිස් මාව එක්ක ගෙන ස්ටාෆ් රූම් එකේ අයිනේම තියෙන මේසයක් ගාවට ගියා. තව පොඩි පංති වලට උගන්න මිස්ල කීප දෙනෙක් තම තමන්ගේ කතා වල යෙදීලා හිටියා. මම කතාව පටන් ගන්න හදද්දිම දොරෙන් මතු වුනු අකලංක සර්ගේ රුව දැකල මම බය වුණා. මගේ වෙනස් වුනු මුහුණ දැකල කුමුදු මිස් හැරිල බැලුවා.

“ආ අකලංක සර්.” ඇය කියද්දී සර් ඇයත් එක්ක හිනා වෙලා යන්තම් හිස වැනුවා. ඇය ආයෙත් මගේ පැත්ත හැරෙද්දීම සර්ත් මගේ දිහා විමසිල්ලෙන් වගේ බැලුවා.

“කියන්න පුතේ.” කුමුදු මිස් කියද්දීම මම පුටුවෙන් නැගිට්ටුණා.

“කමක් නෑ මිස් මම පස්සේ කියන්නම්.” මම වචන පැටලි පැටලි කියා ගත්තා.

“නෑ නෑ දැන්ම කියන්න. බය වෙන්න එපා.මම ඔයාට ඉන්නවනේ පුතේ. ගෙදර ප්‍රශ්නයක්ද?”

“නෑ මිස්.”

“දැන් කියන්න. කිසිම දෙයක් හිතේ තියාගෙන දුක් විඳින්න එපා දරුවෝ.” ඇය කියද්දී මම ආයෙත් වාඩි වුණා.

සර් පොතක් පෙරලගෙන මොනවද කියවන්න ගත්තා. මම හෙමිට හෙමීට වුනු දේවල් කියද්දී මිස්ගේ මුහුණ වෙනස් වුණා. අන්තිම දවසේ වුනු දේ කියල ඉවර කරනවත් එක්කම මිස් එක පාරම මගේ කම්මුලට ගැහුවේ මටවත් හිතා ගන්න බැරි මොහොතක. මට හයියෙන් ඇඩුණා එක පාරටම.

මිස්ව විස්වාස කරල මම කර ගත්තේ ලොකු මෝඩ කමක් කියල මට දැනුනා.

අනිත් ටීචර්ස්ලා එක්කම සර්ත් අපි දිහා බැලුවෙ බය වෙලා වගේ.

“අකලංක සර් ඇයි මෙයා මේ විදිහේ ලමයෙක් කියල අපිට නොකිව්වේ?” ඇය සර් දිහාට හැරිල ඇහුවා. සර් එක පාරම අසුනින් නැගිටල අපි දිහාට ආවේ පුදුම වේගෙකින්. ඔහුගේ මුහුණ හොඳටම වෙනස් වෙලා තිබුණා.

“ඇයි කුමුදු මිස්? මොකද්ද ප්‍රශ්නේ?” අනිත් ටීචර්ස්ලා අහද්දීම සර් එයාල දිහාට හැරුනා.

“නෑ. නෑ. මුකුත් ප්‍රශ්නයක් නෑ මිස්.” සර් කියද්දී ඒ මිස්ල මුහුණින් මුහුණට බලා ගත්තා. සර් අපි වාඩි වෙලා හිටපු මේසෙන් පුටුවක් ඇදගෙන වාඩි වුණා.

“කුමුදු මිස්, මිස් කියන්නේ මොන දේ ගැන වුනත් කමක් නෑ. ඔය දේ මෙතන කතා කරන්න එපා. මම කැමති නෑ අපිව ඉස්කෝලේ හැමෝටම මාතෘකාවක් වෙනවට.” ඔහු තදින් වගේ කිව්වා.

“එත් සර් මෙයාට කොහොමද එච්චර හයියක් ගුරුවරයෙක්ට එහෙම කතා කරන්න. මෙයා…”

“හරි මට තේරෙනවා මිස් කියන්නේ මොකද්ද කියල. නෙත්මිගේ අතින් හදිසියේ කියවුනු දෙයක් ඒක. නෙත්මි හිතල කියපු දෙයක් නෙවේ ඒක. ඒ නිසා මම මිස්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මේ දේ මෙතනින් එහාට කාගෙවත් කනට යන්න දෙන්න එපා.” සර් කියද්දී මට දැනුනේ පුදුම වේදනාවක්.

එක පාරටම සර් කතාව නවත්තල මම දිහා බැලුව.

“නෙත්මි ටිකක් යන්න එලියට.” සර් කිව්වා.

මම පුටුවෙන් නැගිටලා මඳක් දුර යද්දීම මට ඇහුනා සර් කියනවා “තිබුණු කලබලේට නෙත්මි මෙතන ඉන්නවා කියලත් මට අමතක වුණා. ඒකයි මම එක පාරටම කියාගෙන ගියේ..” කියලා.

ඉතින් මට ඕනේ වුනේ කොහෙට හරි ගිහින් මුලු ලෝකෙන්ම හැංගෙන්න. එත් ඊට කලින් මට ඕනේ වුණා සර්ගෙන් සමාව ඉල්ලන්න. මම විශ්වාසෙන් මගේ දුක කියන්න හදපු කුමුදු මිස් මාව තේරුම් ගත්තේ නැහැ. ඒත්, සර් මැදිහත් වෙලා මගේ නම කැත වෙන්න නොදී මාව බේරුවා. සර් හිටියේ නැති නම් කුමුදු මිස් මේ වෙනකොට අනිත් ටීචර්ස්ලාටත් මේ ගැන කියලා ඉවරයි මේ වෙද්දී.

ආයෙ කවදාවත් ඉස්කෝලේ එන්නේ නෑ කියල මම හිතා ගත්තා.

ඉස්කෝලේ ලමයි මදිවට අදින් පස්සේ කුමුදු මිස් පවා මට නපුරුකම් කරයි කියල මට හිතෙන්න ගත්තා.

මට අඩි 2ක් වත් ඉස්සරහට යන්න ලැබුනේ නෑ. සර් ඉක්මන් ගමනින් ඇවිත් මගේ ගාවින් නැවතුණා.

“ඊලගට තියෙන්නේ ගණන් නේද? තව ටිකකින් බෙල් එක ගහයි. එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නේ නැතුව පන්තියට යන්න එන්න.” කී ඔහු ඉස්සර වුණා.

මම සර්ගේ පස්සෙන් ගියේ රූකඩයක් වගේ. පඩිපෙළ දිගේ බාගයක් නැගපු සර් එක පාරම හැරිල මම දිහා බැලුවේ තරහින්. ඒ බැල්මට මාව පස්සට විසි වුණා.

“මොන එහෙකටද ඕක පත්තරේ දාන්න ගියේ? ඔලුව හොඳ නැද්ද?”

“අනේ සර් මට මේ දුක දරාගෙන ඉන්න බැරි වුණා. කාට හරි කියල හිත නිදහස් කර ගන්න ඕනේ වුණා.” මම කිව්වේ දෑසින් කදුලු ගලද්දී.

“ඇයි මොකද්ද තියෙන දුක? තියෙන දුකක් දිස්නට කියලා හිත නිදහස් කර ගන්න බැරි වුනාද?”

“දිස්නවත්, පන්තියේ කිසිම ලමයෙක්වත් මාත් එක්ක එදායින් පස්සේ කතා කලේ නෑ සර්.” මම බිම බලාගෙන කෙඳිරුවා.

“කතා කලේ නෑ?” සර් පුදුමෙන් වගේ ඇහුවා.

මම නෑ කියන්න ඔලුව වැනුවා. සර් අහක බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

SHARE