සැබෑ ආදරය ඇතුලෙදි කවදාවත් පෙම්වතා හෝ සැමියා රජ වෙලා, පෙම්වතිය හෝ බිරිඳ දාසියක් වෙන්නේ නැහැ. හොඳ පිරිමියෙක් තමන්ගේ බිරිඳටත් රැජිනක් වෙන්න උදව් කරනවා. ඇත්තටම ඒ තමයි හොඳ පිරිමියෙකු ඔහුගේ සැබෑ ආදරය පෙන්වන ස්වරූපය. නෙත්මි කියන දඟ කෙල්ලගෙයි, අකලංක කියන ආදරණීය තරුණයාගෙයි ආදර අන්දරයත් ඒ වගෙයි.




“එතකොට මොකද්ද තිබුණු දුක? දිස්නලා කතා නොකරන එකද? ” මඳ වෙලාවකින් සර් අයෙත් ඇහුවා.

“ඒක විතරක් නෙවේ සර්. සර් තරහින් ඉන්න විදිහටත් මට දුකයි. මම කියපු දේවල් ගැන මටම ගොඩක් අමාරුයි.” මම කිව්වා.

“ඕක කාට හරි කියන්න ඕනෙම නම් ගෙදර කාට හරි කියන්න තිබ්බා, නැත්තම් ඇවිත් මට කතා කරන්න තිබුණා. වැරැද්ද වුණේ ඔයාගේ අතින් වගේම, මම ඔයාගේ ගුරුවරයා නිසා ඔයාට මට කතා කරන්න යුතුකමක් තියෙනවා. ඔයා ඇවිත් කතා කලා නම් මම කතා නොකර ඉන්නේ නෑ. ඔයාගේ වරද තේරුම් කරවන්න කතා නොකර අත ඇරියා මිසක්, හිතේ තරහක් තිබුණේ නෑ. මෙතන හෝම් වර්ක් නොකර ඇවිත් මට පේන්න පොත තියන් ඉන්නවා, පන්තියට පරක්කු වෙලා ඇවිත් මම ඇතුලට කතා කරයිද බලන් ඉන්නවා වගේ විකාර වැඩ කර කර හිටියා මිසක් කල යුතු දේ කලේ නෑනේ.” ඔහු කිව්වේ මාව අපහසුතාවයට පත් කරමින්.

“ඇයි හිතුවේ මට ඔයාගේ මායම් තේරෙන්නේ නෑ කියලද? හරි, ඇයි ඕක කුමුදු මිස්ටම කියන්න ගියේ? ආ?” සර් ඇහුවේ මගේ මුහුණට එබෙමින්.

“අපේ අම්මා නැති නිසාද කොහෙද සර්, මට කුමුදු මිස්ව හැම තිස්සෙම දැනුනේ අම්මා වගේ.” මගේ උත්තරෙන් සර්ගේ ඇස් තිගැස්සෙනවා මම දැක්කා.

“නෙත්මි හෙට ඉස්කෝලේ එනවද?” සර් එක පාරටම ඇහුවේ මම කියපු දේට කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක්.

මම මොහොතකට කලින් හිත හිත හිටියේ ආයේ ස්කොලේ එන්නේ නෑ කියලනේ. ඒ නිසා මට පුදුමත් හිතුණා සර් එහෙම දෙයක් අහද්දී.

“මගේ අතින් වුනු හැමදේටම මට සමාවෙන්න සර්.” මම එහෙම කියන ගමන් පහත් වෙලා සර්ගේ කකුල් දෙක අල්ලලා වැන්දා.

මොහොතක් ගත වුනත් සර් මුකුත් කිව්වේ නෑ. මම ඔලුව උස්සල බලද්දී සර් මම දිහා බලාගෙන හිටියා.එත් ඒ මුහුණේ කිසිම හැගීමක් තිබුණේ නෑ. තරහක්වත්, හිනාවක්වත් නැති සර්ගේ මුහුණ දිහා මමත් බලාගෙන හිටියා.

“නැගිටින්න නෙත්මි. මම ඇහුවේ හෙට ඉස්කෝලේ එනවද කියලනේ.” ඔහු හෙමිහිට කිව්වා.

සර්ගේ ප්‍රතිචාරය ගැන මට පුදුමත් හිතුණා. මම නැගිටලා හිට ගත්තත් සර්ගේ ප්‍රශ්නයට මට උත්තරයක් දී ගන්න බැරි වුණා.

“ඔයාගේ ප්‍රශ්න වලින් පැනල යන්න එපා. ඒවාට මුහුණ දීලා ඒවා විසඳ ගන්න. ඒ නිසා හෙට ඉස්කෝලේ එන්නේ නැතුව ඉන්න එපා.

මට මැදිහත් වෙලා පන්තියේ ලමයින්ගේ ප්‍රශ්නේවත්, කුමුදු මිස්ගේ ප්‍රශ්නෙවත් විසඳන්න බෑ නෙත්මි. එත් ඒ දේවල් හොඳ විදිහට විසදෙයි.”

කියපු සර් ඉස්සර වුණා. මමත් සර්ගේ පිටිපස්සෙන් ගිහින් පන්තියට ඇතුලු වුණා. සර් ගණන් කියා දෙන අතරේ එහා පන්තියේ ලමයෙක් අපේ පන්තියට ආවා. ඇය ආපු ගමන්ම මගේ දිහා බලල මාත් එක්ක හිනා වුණා. ඊට පස්සේ එයා සර් ගාවට ගිහින් මොනවදෝ කිව්වා.

සර්ටත් එක පාරටම බැලුනේ මගේ දිහා. එත් ඊට පස්සේ සර් ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සර් මොනවා හරි ඇයට කිව්වා. ඇය ඊට පස්සේ අපේ පන්තියෙන් ගියේ බය වෙලා වගේ.

සිද්ධ වුනු දේ එක්ක මට හරි බයක් හිතට ආවා.මොනවා හරි මට සම්බන්ධ සිදුවීමක් කියල මගේ හිත කිව්වා.

උගන්නන ගමනුත් සර් සැරින් සැරේ කල්පනා කරනවා මම දැක්කා.

“නෙත්මි ටිකක් මෙහෙ එන්න.” ටිකකින් ගුරු මේසය ගාවට ඇවිත් වාඩි වුනු සර් මම දිහා බලල අඩ ගැහුවා. මම අසුනින් නැගිට්ටේත්, අනිත් ලමයි පුදුම වෙලා සර් දිහා බැලුවෙත් එකටම වගේ. ඊට පස්සේ ඒ ඇස් ඔක්කොම යොමු වුනේ මගේ දිහාට. මම බිම බලාගෙන එයාලා අතරින් සර් ගාවට ගියා.

“නෙත්මි ඔයාට කුමුදු මිස් එන්න කියල පණිවිඩයක් එවල තියෙනවා.” සර් කියද්දීම මට හොඳටම බය හිතුණා.

“බය වෙන්න එපා.මම කියපු දේ මතක තියාගෙන ගිහින් එන්න.

ප්‍රශ්න වලින් පැනල යන්නේ නැතුව, මුහුණ දෙන්න.”සර් හෙමීට කිව්වා. මම හිස වනල අයෙත් ස්ටාෆ් රූම් එක පැත්තට ගියා.

කුමුදු මිස් හිටියේ රකුසු මුහුණකින්. එත් මම ඇය ගාවට ගියා.

“දැක්කනේ අකලංක සර් කොයි තරම් හොඳද කියල. තමුන් සර්ට එච්චර ලොකු වරදක් කරලත්, සර් මට පුන පුනාම කිව්වේ වෙන කිසිම ටීචර් කෙනෙක්ට මේක දැන ගන්න දෙන්න එපා කියලා..”

මිස් කියද්දී මම හෙමිහිට හිස වැනුවා.

“දැන් සර් ඉන්නේ පන්තියේද?”

“ඔව් මිස්.”

“මම කියන දේ හොදට අහ ගන්නවා. තමුන් සර්ට අපහස කලේ පන්තියේ ලමයි ඉස්සරහ. ඒ නිසා තමුන් ඒ ලමයි ඉස්සරහම සර්ට වැඳල සමාව ගන්න ඕනේ. මේ දැන්ම. පන්තියට ගිහිල්ලා කෙලින්ම යන්න ඕනේ සර් ගාවට. ගිහින් වඳින්න ඕනා. තේරුනාද?” ඇය කෝපයෙන් කිව්වා. මම හා කියල එලියට ආව.

මිස් කියපු දේ ඇත්ත කියල මටත් හිතුණා.

“ඇත්තටම මම සමාව ඉල්ලන්න තිබුණේ පන්තියේදී. සර්ත් මම සමාව ඉල්ලද්දී මුකුත්ම නොකිව්වේ ඒ නිසා වෙන්න ඇති.” මම දුකෙන් කල්පනා කර කර ආවා. එත් පඩිපෙලෙන් හැරෙද්දීම උඩ අත් දෙකත් බැඳගෙන ඉන්න සර්ව දැකල මට පුදුම හිතුණා.

“මොනාද කිව්වේ කුමුදු මිස්?” සර් මාව දැකපු ගමන් ඇහුවා.

මම සර් ගාවට ගිහින් මිස් කියපු දේවල් කිව්වා.

“මම හිතුවා ඔහොම මඟුලක් කියල එවයි කියල” සර්ට එක පාරටම කියවුනා.

“මම එහෙම කරන්නම් සර්”

“අනේ පිස්සු නටන් නැතුව ඉන්නවා. විකාර නම් කරන්න හදන්න එපා.”

“නෑ සර්. ඒක ඇත්තනේ. මම හැමදේම කලේ පන්තිය ඉස්සරහනේ.” මම දුකෙන් කිව්වා.

“අනවශ්‍ය වැඩ කරල ගුටි කන්න හදන්න එපා. මම සීරියස් කියන්නේ නෙත්මි. මිනිස්සුන්ගේ හැටි, මිනිස්සු හිතන හැටි මම හොඳට දන්නවා. ඕකෙන් වෙන්නේ ප්‍රශ්න විසඳෙන එක නෙවේ. තවත් වැඩි වෙන එක.. අමතක වේගෙන යන දෙයක්, ළමයින්ට ආයේ අලුතින් මතක් වෙන එක.” සර් කියද්දී මම බය වෙලා බලන් හිටියා.

“ඕක නොකළොත් ඔයාට මිස් බනියි කියලත් බය ඇතිනේ. එක මම මිස් එක්ක බලා ගන්නම්. ආයෙත් මේ හොඳින් කියන්නේ ඔය වැඩේ කරන්න හිතන්නවත් එපා.” කියපු සර් මාවත් දාල පන්තියට ගියා.

මම ටිකක් වෙලා කල්පනා කරල තීරණය කලා සර් කියන දෙයක් කරන එක තමා හොඳම දේ කියල.

ඉතින් මම සද්ද නැතුව පන්තියට ගිහින් වාඩි වුණා.

SHARE