වි

ෂ සහිත මිතුරන් කියන්නේ ඔබේ ජිවිතයට නොගැලපෙන, ඔබේ ජීවිතය දුකට පත් කිරීමට සමත් වන මිතුරන්ය. ඔබට මේ මිතුරන් හඳුනා ගැනීම එතරම් පහසු නැහැ. නමුත් ඔබට මේ මිතුරන් එක්ක කල් ගත කිරීමේදී විවිධ ගැටළු වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු වෙන එක නම් නොඅනුමානයි. විටෙක ඔබේ මානසික පීඩනය ඉහල දමන්නටත්, තවත් විටෙක ඔබේ සිතුවිලි අවුල් කර දමන්නටත් මේ මිතුරන් සමත් වෙනවා. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ විෂ සහිත මිතුරන් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.



1 ඔබව අනවශ්‍ය ලෙස විවේචන කරන මිතුරන්

මිතුරෙක් ඔබව විවේචනය කරන එක ඔබේ යහපතට කරනවා වෙන්න පුළුවන්. අපි ඔබට කියන්නේ නැහැ ඔබව විවේචනය කරන හැම මිතුරෙක්ම විෂ සහිත මිතුරන් කියලා.

සැබෑ මිතුරෙකු ඔබව විවේචනය කරන්නේ ඔබේ අඩුපාඩු නිවැරදි කර දීමේ අරමුණින් වුවත්, විෂ සහිත මිතුරන් ඔබව විවේචනය කරන්නේ ඔබව රිදවීමේ අරමුණින්මයි. ඔබට රිදෙනු දැකීමෙන් මේ විෂ සහිත මිතුරන් සතුටට පත් වෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ ගන්නා හැම පුංචි තීරණයකටම මේ මිතුරන් බාධා එල්ල කිරීමයි. ඔබ අලුතින් අඳින ඇඳුම, ඔබ අලුතින් හදාරන්නට හදන පාඨමාලාව, ඔබ විවාහය සඳහා තෝරා ගන්නා සහකරු ආදී ලොකු කුඩා සෑම තීරණයක් ගැනම ද්වේශ මුඛයෙන් කතා කිරීම මේ ගණයේ මිතුරන්ගේ විශේෂ ලක්ෂණයක් වෙනවා.

2 ඔබව පාලනය කිරීමට උත්සාහ දරන මිතුරන්

සමහර මිතුරන් ඉන්නවා ඔබව යටත් කරගෙන ඉන්න හදන. ඔබේ මිතුරා ඔබ කෙරෙහි කිසිදු අයිතිවාසිකමක් නැති පිටස්තරයෙක් වුවත්, තමාට අවශ්‍ය පරිදි ඔබව මෙහෙයවීමට මේ මිතුරන් උත්සාහ දරනවා. ඔබේ තීරණ විවේචනය කරනවා පමණක් නොව, ඒවා වෙනස් කරවාලන්නටත්, මිතුරාගේ තීරණ පිලිගන්නටත් ඔබව මෙහෙයවනු ලබනවා.

3 මිතුදම වරින් වර වෙනස් කරන මිතුරන්

වරෙක ඔබට පණ දෙන්නට මෙන් සිටින මේ මිතුරන්, ඊළඟ දිනයේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. මොවුන් වරින් වර වෙනස් වන්නේ නිශ්චිත හේතුවක්වත් නොමැතිවයි. ඔබේ මිතුරා ඔබ සමඟ තරහ වෙලාද, නැද්ද කියලාවත් ඔබට තේරුම් ගන්න බැරි තත්වයක් උදා වෙනවා.

4 ඔබ ගැන කතා පතුරන මිතුරන්

මිතුරෙකුගේ රහස් රකින්නට හැමෝටම බැහැ. රහස් රකින්නට බැරි මිතුරන්ට අපි අපේ රහස් කියන්නෙත් නැහැ. හැබැයි විෂ සහිත මිතුරන් ඔබේ විශ්වාසය දිනාගෙනයි ඉන්නේ. කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු දීලා ඔබේ රහස් අහ ගන්න මේ අය හරිම දක්ෂයි. හැබැයි මේ අය පහසුවෙන්ම ඔබේ රහස් පිට කරන්නේ ඔබටත් නොදැනීමයි. ඔබේ විශ්වාසය දිනා ගෙන, ඔබේ පැත්තට කතා කරලා, වෙනත් තැනක ගිහින් ඔබට හිනා වේවි, ඔබේ රහස් හෙළි කරන්න මේ අය පෙළඹෙනවා. ඉතින් මේ බවක් ආරංචි වුනු විගසම මෙවැනි මිතුරන්ව ඉවත් කර දමන්න දෙවරක් හිතන්න එපා.

5 කෝප වන මිතුරන්

ඔබෙන් සිදු වන සුළු සුළු අඩුපාඩු වලට අසීමිතව කෝප වන මිතුරනුත් ඔබට ගැලපෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වල ආතතිය ඔබ පිට පටවන්න හදන මිතුරන්වත් හෙමිහිට ඈත් කර දමන්න. අනෙකාට අනුකම්පා කරමින්, ඔහුගේ කෝපයට ගොදුරු වෙමින් ඒ මිතුදමේ දිගින් දිගටම රැඳී සිටින්නට උත්සාහ කලොත් නම් ඔබ කල් ගත වන්නට පෙර මානසික පීඩනයට ලක් වේවි.

6 ඔබව බාහිර පුද්ගලයන් සමඟ සසඳන මිතුරන්

ඔබේ ස්වභාවය පිළිගන්නට බැරි මිතුරන්ගේ මිතුරුකම් ඔබට ගෙන එන්නෙත් හානියක්. ඔබව සෙසු පුද්ගලයන් හා සසඳමින්, ඔබට වඩා වෙනත් පුද්ගලයන් හොඳ බව කියන්නට හදන මිතුරනුත් ඔබට ගැලපෙන්නේ නැහැ. හොඳ මිතුරෙක් කවදාවත් ඔබව සෙසු පුද්ගලන් එක්ක සසඳමින් ඔබේ සිත රිදවන්නට උත්සාහ කරන්නේ නැහැ.

7 ඔබේ අවශ්‍යතා නොසලකා හරින මිතුරන්

තමන්ගේ උවමනාවන් වලට පමණක් ඔබව ලං කර ගන්න, ඔබට ඔබේ මිතුරාව අවශ්‍ය වන මොහොතේ පැත්ත පළාතේ නොඑන මිතුරනුත් ඉන්නවා. ඔබ දෙදෙනා යම් වැඩක් කිරීමට සැලසුම් කලත්, අවසාන මොහොතේදී එය මඟ හරින, ඔබේ අවශ්‍යතා වලට තැනක් නොදෙන මිතුරනුත් ඔබට ගැලපෙන්නේ නැහැ.

      


SHARE