ජී

විතය කියන්නේ සමහර වෙලාවට හරි සංකීර්ණ දෙයක්. සැනසීම හොයා ගන්න එක පහසු නැහැ කියලා ඔබට තදින්ම දැනෙන අවස්ථා ඕනෑ තරම් ඇති. අපේ ජීවිතය තුල සැනසීම සොයා ගන්න නම් අපි සමබරතාවය අගය කල යුතුයි. ඒ කියන්නේ අපේ ජිවිතයේ උන්නතියට හේතු වෙන හැම සාධකයකටම එක සේ වැදගත්කමක් ලබා දිය යුතුය යන්නයි.  ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන කතා කරන්න.



පවුල

පවුල කියන්නේ අපේ ජීවිතය පටන් ගත්තු තැන. ලෝකය ඇතුලේ අපිට වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයන් කිහිප දෙනා තමයි මේ පවුල ඇතුලේ ඉන්නේ. නමුත් සමහර පුද්ගලයන් වෙනත් වෙනත් සාධක වලට මුල් තැන දෙමින් පවුල කියන සාධකය අමතකම කරලා දානවා. ඒත් පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන හිතේ සැනසීම, ආදරය සහ රැකවරණය පිටින් ලබා ගන්න බැරි බව වැටහෙනකොට ඔවුන් ගොඩක් ප්‍රමාද වැඩියි.  

අධ්‍යාපනය

අධ්‍යාපනය කියන්නේ පාසලෙන් අවසන් වන දෙයක් නෙවෙයි. මම අධ්‍යාපනය ලබලා ඉවරයි කියලා ඔබ සතුටු වෙනවා නම් ඔබ අසාර්ථකයි. අපිට එදිනෙදා ජීවිතයේදී ඉගෙන ගැනීමට බොහෝ දේවල් තියෙනවා. ඔබ දන්නා දෙයට අමතරව අලුත් යමක් සෑම විටම ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. ඔබ ඉගෙන ගන්නා දේ ඔබට කවදා හෝ උදව්වට එනවා. ඉංග්‍රීසි පත්තර කියවන ගමන්, ඉංග්‍රීසි පුවත් වලට සවන් දෙන ගමන් ඔබට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ආයතනය තුල ඔබට අදාළ රාජකාරිය කරන අතරතුරේ වෙනත් රාජකාරි පිළිබඳවත් දළ අවබෝධයක් ලබා ගන්න ඔබට පුළුවන්. ඒ නිසා ඉගෙන ගැනීම නවත්වන්න එපා.

රැකියාව

මානසික සහනය සහිතව ජිවත් වෙන්න හොඳ ආර්ථික තත්වයකුත් තියෙන්න ඕනේ. ජිවත් වෙන්න ආදරය විතරක් ඇති කියලා හිතන ගොඩක් දෙනෙක්ට ආදරයෙන් කුසගින්න නිවෙන්නේ නැති බව පස්සේ වැටහෙනවා. මේ නිසා ඔබ ඔබේ රැකියාවටත් ඔබේ ජිවිතයේ සම ස්ථානයක් ලබා දිය යුතුමයි.

අධ්‍යාත්මික කටයුතු

අධ්‍යාත්මික කටයුතු ඔබේ මානසික සැනසුම අත් කර ගන්න ඉවහල් වෙනවා. අධ්‍යාත්මික කටයුතු කියලා අදහස් කරන්නේ ආගමක් අදහන එකම නෙවෙයි. ආගම් මඟින් ඔබට කියා දුන්නු යහපත් කටයුතු වල නිරත වීම ඔබේ අධ්‍යාත්මික දියුණුවට උපකාර කරනවා. අන් අයට සෙත සලසමින් ජිවත් වන යහපත් මනුෂ්‍යයෙකු වීමෙන් ඔබට අත් වන්නේ පුදුමාකාර මානසික සහනයක්.

අවට සමාජය සහ පරිසරය

අවට සමාජයට ඔබේ අසල්වාසීන්, මිතුරන් අයිති වෙනවා. ඔවුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙන් සහනයක් අත් වන්නේ ඔබටමයි. සමාජයේ පොදු වැඩ වලට සහභාගී වෙන්න. ඔබ ජිවත් වන සමාජයේ ඇති සමිති සමාගම් වලින් එකකට හෝ බැඳෙන්න. එවිට ඔබේ සබඳතාවයන් තර වෙනවා. ඒ වගේම ඔබ අවට පරිසරය ගැන සැලකිලිමත් වන්න. එය පිරිසිඳුව තබා ගන්න. පිරිසිඳු පරිසරයක් සෑම විටම ඔබට ගෙන එන්නේ සහනදායි හැඟීම් ගොන්නක්.   

සෞඛ්‍ය තත්වය

සෞඛ්‍ය තත්වය අයහපත් වූ තැනැත්තෙකුගේ මනස සංසුන් නැහැ. තමාගේ අයහපත් සෞඛ්‍යය ගැන නිතරම වේදනාවෙන් සිටින තත්වයකට පත් වෙනවාට වඩා, හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට වෙහෙසීම හොඳ නැද්ද? ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම, ව්‍යායාම කිරීම, මානසික සහනය වෙනුවෙන් භාවනාවේ නිරත වීම ඇතුළු සෞඛ්‍යසම්පන්න පුරුදු වල නියැලෙන්න.


SHARE