මිනිස් මොලය ස්නායු ජාලාවකින් සැදුම් ලත් ඉන්ද්‍රියයක්. මතකය රැක ගන්නේ මොළය නමැති ඉන්ද්‍රියයෙනුයි. මතකය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කෙටි කාලීන මතකය, දිගු කාලීන මතකය හා සංවේදී ඉන්ද්‍රියයන් නිසා හට ගන්නා මතකය යනුවෙනුයි. ජිවිතයේ මතක තබා ගත යුතුම, වැදගත් දේවල් අමතක වීම ඇතැම් අයට පවතින බරපතල ගැටළුවක්. වයස්ගත වීමත් සමඟ අමතකවීමේ ගැටළු ඇති වීමේ ප්‍රතිශතය වැඩියි. ඉතින් අද අපි තීරණය කළා මේ ගැටළුව සඳහා අනුගමනය කල හැකි ප්‍රතිකර්ම කීපයක් ගැන myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබට කියා දෙන්න.




වැදගත් දේවල් ලියා ගන්න

රාජකාරි කටයුතු, උපන්දින, දවස තුල කල යුතු දෑ වැනි වැදගත් දේ ලියා තැබීමට වෙනම පොතක් තබා ගන්න. එමෙන්ම විශාල කොටු සහිත කැලැන්ඩරයක් භාවිතා කරන්න. එවිට ඔබට පුළුවන් දිනයට අදාළ කොටුව තුල ඔබ කල යුතු දෑ හා වැදගත් තොරතුරු ලියා තබන්න. එවිට ඔබ උදෑසන කැලැන්ඩරය හෝ ඔබේ සටහන් පොත බැලීමෙන් කල යුතු දේ ඔබට මතකයට නැගේවි. වර්තමානයේ ජංගම දුරකථන වලත් මතක තබා ගත යුතු දේවල් සිහි කැඳවීම සඳහා මෘදුකාංග නිර්මාණය වී තිබෙනවා.   

මෙමරි ගේම්ස්

මතකය වැඩි දියුණු කර ගැනීමට උපකාරී වන ක්‍රීඩා ඕනෑ තරම් අන්තර්ජාලය හරහා බාගත කර ගත හැකියි. ඒ සඳහා පරිඝනකයක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඔබ සතු ස්මාර්ට් දුරකතනයෙන් වුවද මේ ක්‍රීඩා බාගත කර ගන්න පුළුවන්.

ගණිත ගැටළු

ගණිත ගැටළු විසඳීම මතකය දියුණු කර ගැනීමට උපකාරී වන තවත් එක් ක්‍රමයක්. නිතරම ගණිත ගැටළු විසඳන අයෙකුගේ මතකය ආරක්ෂා වෙනවා. මේ සඳහා ඔබට ගණිත ගැටළු පොත් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්.

එකවර වැඩ 2ක් නොකිරීම

ආහාර

ගොටුකොළ, රටකජු, කජු , විටමින් B සහිත ආහාර මතක ශක්තිය වැඩි කර ගැනීමට උදව් කරනවා. ගොටුකොල පත්‍රයේ සහ මොළයේ පෙනුම එක සමාන බව පැවසෙනවා.

භාවනාව

සිත එකඟ කර ගැනීමත් මතක ශක්තිය වැඩි කර ගැනීමට ඇති එක් ක්‍රමයක්. අවුල් වූ සිතක් ඇති අයට අමතකවීම් සිදු වීම බහුලයි. සංසුන් මනසක් සහ සිතක් මතකය රැක ගැනීමට අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඇති සුදුසුම ක්‍රමය භාවනාවයි. හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම සරලම භාවනා ක්‍රමයක්. මීට අමතරව ඔබට කල හැකි විවිධ භාවනා ක්‍රම ගැන අන්තර්ජාලය හරහා සොයා බලන්න.

කොටස් වශයෙන් මතක තබා ගැනීම

එකවර මතකයන් විශාල ප්‍රමාණයක් සිතේ රඳවා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. මෙයට ඇති හොඳම විසඳුම තොරතුරු කොටස් වලට බෙදා මතකයේ රඳවා ගැනීමයි.

උදා :අද දවස කල යුතු රාජකාරි වලට මුල් තැන, දුරකථන අංක කොටස් වලට බෙදා මතක තබා ගැනීම, මේ මාසයේ ඇති උපන්දින මතක තබා ගැනීම.

අවධානයෙන් සිටීම

ඒ මොහොතේ සිහියෙන් සිටීම වැදගත්. යමෙක් පවසන දෙයක් අවධානයෙන් සහ උනන්දුවෙන් අසා සිටීමෙන් එය අමතක වීමේ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. එම නිසා සෑම මොහොතකම අවධානයෙන් සිටිය යුතු වෙනවා. වෙනත් කල්පනාවන් වල ගිලී සිටීමෙන් මේ මොහොතේ අවධානය ගිලිහෙනවා. එක වර වැඩ කිහිපයක් කිරීමට පුරුදු වී සිටීම නිසාත්, එක් වැඩකට යොදන අවධානය නැති වීමේ අවදානමක් පවතිනවා.    

විවේකය සහ නින්ද

මතකය ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ නින්දක් සහ විවේකයක් අත්‍යවශ්‍යයි. මොලය විසින් ලබා ගෙන තිබූ තොරතුරු නින්දේදී තැම්පත් කරනු ලබනවා. විවේකයක් නැති විට මානසික ආතතිය ඇති වීමට වැඩි ඉඩක් ඇති අතර, මානසික ආතතිය මතකය අඩු වීමට බරපතල ලෙස බලපානවා.

දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය වලින් වළකින්න

දුම් වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති අහිතකර ප්‍රතිඵල වලින් එකක් තමයි මතක ශක්තිය අහිමි වීම. දුම්පානය නිසා මොලයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මත්පැන් වල බලපෑම නිසා කෙටිකාලීන මතකය අහිමි වෙනවා. මතක ශක්තිය වඩවන තයමින් (විටමින් B1) වල ඌණතාවයක් ඇති වීමට මත්පැන් බලපානවා.  

SHARE