නිතරම අපිට වෙනස්වීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අද අපි සතුව තිබුණු බැඳීම් හෙට අපට අහිමි වෙන අවස්ථා තියෙනවා. අප සතුව තිබුණු ධනය, වස්තුව, තත්වය සුළු මොහොතකින් අපට අහිමි වෙන අවස්ථා තියෙනවා. වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණයි කියලා දැන දැනත් අපි අප වටා සිදුවන වෙනස්වීම් ගැන දුක් වෙනවා. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා මේ වෙනස්වීම් වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියල ඔබව දැනුවත් කරන්න තීරණය කළා.




01. ඔබේ හැගීම් පිට කරන්න.

හදිසියේ අපිට වෙනසකට මුහුණ දෙන්න වුණාම ඒක වේදනාවක්. ඒත් ඒක හිතේ හිර කරගෙන ඉන්න එපා. ගොඩක් වෙලාවට වේදනාව පිටතට නොපෙන්වා හිර කරගෙන ඉන්නේ පිරිමි අය. එහෙම හිර කරගෙන හිටියම පසු කාලීනව මානසීක අවපීඩනය, විෂාදය වැනි තත්වයනට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒ හැගීම් මේ විදිහට පිට කරන්න ඔබට පුළුවන්.

  • ඔබේ දුක විශ්වාසවන්තයෙක් එක්ක බෙදා ගන්න.
  • ඔබ මුහුණ දුන් සිදුවීම කොලයක ලියන්න.
  • අඬන්න. හැඩීම කියන්නේ දුක පිට කරන මාර්ගයක් මිසක් දුර්වල කමේ සලකුණක් නෙවෙයි. ඒ නිසා අඬන්න ලැජ්ජ වෙන්න එපා.

02. වෙනස්වීම කියන්නේ හැම කෙනාටම පොදු දෙයක් බව හෙමිහිට ඔබේ සිතට අවබෝධ කරලා දෙන්න.

  • සමීපතමයන් මිය යන්නේ ඔබේ පවුලේ විතරක් නෙවෙයි. මේ ලෝකයේ හැමෝම ඒ වේදනාව විඳලා තියෙනවා.
  • ප්‍රේම සම්බන්ධතා බිදී ගිය එකම කෙනා ඔබ විතරක් නෙවෙයි.
  • මුදල්, රැකියාව අහිමි වී ගිය එකම කෙනා ඔබ නෙවේ. රජ මැදුරක උපත ලබා, පසුකාලීනව සිඟා කන තත්වයට වැටුණු මිනිසුන් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා.

03. සිදුවීම දෙස ඔබ බලන දෘෂ්ටිකෝණය වෙනස් කර ගන්න.

ඔබ මුහුණ දුන් සිදුවීම දෙස ඔබ බලන්නේ වේදනාවෙන්. ඒ නිසා ඔබට පෙනෙන්නේ එකේ නරක පැත්ත විතරයි.

  • ප්‍රේම සම්බන්ධතාවයක් බිදී ගියා නම් ඔබට හිතන්න පුළුවන්, වෙන් වීමෙන් යහපතක් වූ බව. අනෙකා ඔබව හැර ගියේ හිතේ ඔබ ගැන කැමැත්තක් නැති නිසයි. හිතේ කැමැත්තක් නැතුව බාහිර කරුණක් නිසා එකට ඉන්න සිදු වුණා නම් එය දෙදෙනාටම වේදනාවක්. දැන් ඔබ දෙදෙනාටම වෙන් වෙන්ව ජීවිතේ සතුටින් ගතකළ හැකියි. ඔබට නිවැරදිව ගැලපෙන කෙනාව දැන් ඔබට සොයා ගත හැකියි.
  • රැකියාව සහ මුදල් අහිමි වුණා නම්, ඒ ඔබට ජීවිතය නැවත පටන් ගැනීමට අවස්ථාවක්. අළුත් රැකියාවක් සොයා ගන්න. ඔබේම ව්‍යාපාරයක් ගොඩ නඟා ගන්න. මුදල් සොයන නව ක්‍රම ඔබට මුණ ගැසේවි.
  • විවිධ ආගම් අනුව “මිය යාම” අර්ථ දක්වන්නේ මෙහෙමයි. සමහර ආගම් වලට අනුව මිය ගිය තැනැත්තාගේ ආත්මය දෙවියන් වෙත යනවා. තවත් ආගමකට අනුව ඒ ආත්මය වඩාත් යහපත් තැනක උපත ලබනවා. ඔබේ දුක අමතක කර මිය ගිය තැනැත්තාගේ ආත්මයට ශාන්තිය පතන්න.

සියලුම වේදනාත්මක අත්දැකීම් ඔබව ශක්තිමත් කිරීමට ස්වභාවධර්මය විසින් ඔබට ලබාදුන් අවස්ථාවන් ලෙස දකින්න.


04. කාර්යබහුල වන්න.

සිදු වූ සිදුවීම් අමතක කිරීම අමාරුයි. ගෙදරට වෙලා නිකන් ඉන්නකොට ඒ දේ මතක් වෙනවා වැඩියි. ඒ නිසා කාර්යබහුල වෙන්න. ඒක ඔබේ සෞඛ්‍යයටත් ඉතා හොඳයි.

  • ව්‍යායාම් වල හෝ යෝගා වල නිරතවන්න.
  • භාවනා කරන්න.
  • මිතුරන් හමුවීමට යන්න. විනෝද චාරිකා වලට සහභාගී වන්න.
  • ඔබේ විනෝදාංශ වල නිරතවන්න.

ඔබේ අවධානය එවැනි දේට යොමුවන විටදී, ඔබට ඉබේම ඔබේ වේදනාත්මක අත්දැකීම් අමතක වී යනු ඇත.


05. ජීවිතයට ඉලක්කයක් ඇති කර ගන්න.

ප්‍රභල ඉලක්කයක් ඇති කරගත් විට එය අත්පත් කරගැනීම වෙනුවෙන් ඔබේ මනස ක්‍රියා කරනවා. එතකොට ඔබේ මනස ඉබේම පසුගිය අත්දැකීම් මතකයෙන් බැහැර කරනවා.

  • වඩාත් හොඳ රැකියාවක් සොයා ගැනීම.
  • යම් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම.

06. යහපත් අරමුණු වලට කැපවන්න.

ඔබ යහපත් යමක් සිදු කරන විට ඔබට ආත්ම තෘප්තියක් ලැබෙනවා. යමෙකුට උදව්වක් කරන විට එය ඔබේ සතුටට හේතු වෙනවා. ඔවුන් පෙරලා ඔබට ස්තූති කරන විට ඔබේ මනස තෘප්තිමත් වෙනවා. මේ තෘප්තිමත් බව සමඟ ඔබට ඔබේ වේදනාවන් අමතක වෙනවා.

  • උදව් ලැබිය යුතු අසරණ අයට උදව් කරන්න.
  • සුරතලෙකු ඇති දැඩි කිරීමට පටන් ගන්න.
  • ඔබ කැමති ක්ෂේත්‍රයක ස්වේච්චාවෙන් වැඩ කරන්න.
SHARE