ජීවිතයට ආදරෙන් – 4 කොටස

අපේ ගෙවල් කිට්ටුව දරුවෝ දෙන්නෙක් ඉන්න පවුලක් තිබෙනවා. දෙදෙනාම රැකියා කරන දෙමහල්ලෝ. වයස තිස් ගණන් වල මැද ඉන්න යුවලක්. මේ බිරිඳ හැම වෙලාවේම ඉන්නේ මහා පීඩනෙන් කියල මට පෙනී තිබෙනවා. ගෙවල් දොරවල් හැඩි වෙලා. කිසි දෙයක් නිසි පිළිවෙලට නැහැ. මා එහි ගිය වෙලාවක ඒ පුද්ගලයා අපි ඔහුට සරත් කියමු දරුවන්ට පාඩම් උගන්වමින් හිටියා. ඔහු මේ දරු පැටවුන්ට ඉගැන්නුවෙත් බොහොම සැරෙන්. ඒ බිරිඳ ඉන්න තැනම මේ මනුස්සයා මගේ පැත්තට හැරිලා කිවුවා

“ මුන්ට කොච්චර ඉගැන්නුවත් මොලයක් නැහැ නංගි. ඇයි මහ ගෑනිගේ මෝඩ මොලේ එහෙම්ම පිහිටලා. සාමාන්‍ය පෙළ විතරක් කරපු ගෑනියෙක් බඳිද්දී මට හිතන්න තිබුනා “

කියා ඔහු එහෙම පිට කෙනෙක් වුන මට කියද්දී ඒ අක්කට මොනවා හිතෙන්න ඇතිද?

මේ වගේ මනුස්සයෙක්ට දරුවන්ට ඉගැන්වීම, කතා බහ කිරීම, බිරිඳට සැලකීම වගේ දේවල් ගැන කියා දෙන්න මට හිත දුන්නේ නැහැ. එදා සිට මම ඔහුගේ මූණවත් බැලුවේ නැහැ. නමුත් අඹු සැමි සම්බන්ධයේදී බිරිඳට ගෞරව කිරීම කියන්නේ කොයි වගේ දෙයක්ද කියා ලියා තබන්න හිතුනා.

1) ඔබත් බිරිඳත් යනු එක කණ්ඩායමක්

විවාහයෙන් පස්සේ ඔබ සහ බිරිඳ කියන්නේ එකම ශක්තිමත් ඒකකයක් ලෙස සැලකෙනවා. ඇයට නින්දා කළා කියල වෙන්නේ ඔබේ තත්වය ඉහල යාමක් නෙවෙයි. තව පහත වැටීමක්. “අපෝ එයාගේ වයිෆ් හෙන මෝඩයි…හැම වෙලේම ඉතින් බැනුම් අහනවා. එයාට උයන්න බැහැ”, ඔය වගේ දේවල් ඔබ පිට අය සහ ඔබේම පවුලේ අය එක්ක කීවහම ඒකෙ අගෞරවය බිරිඳට විතරක් නෙවෙයි ඔබටත් එනවා. එයින් හෑල්ලු වෙන්නේ ඔබමයි.

පිට මිනිස්සු විශේෂයෙන් ගැහැණු ඔය වගේ තත්ව වලදී ඔබේ බිරිඳට හිනා වේවි. එයින් හානිය ඇයට විතරක් නෙවෙයි. ඔබටත් අඩු නැතුව එනවා.


2) නිතරම පිට අය වගේම පවුලේ අය ඉදිරියේ ඇගේ පැත්ත ගත යුත්තේ ඔබයි

ඔබේ මව ඇයට කැමති නැතුව ඇති. නමුත් ඔබ අමතක කළ යුතු නැහැ ඇයගේ ස්වාමියා ඔබ බව. හැම දේකින්ම ඇයව ආරක්ෂා කරන්න බැඳුන වීර නයිට් වරයා ඔබ විය යුතු බව. පුද්ගලිකව දෙන්නා වරදකට අවවාද ලබා දීම වෙනම දෙයක් නමුත් පිට අය සහ ඔබේම පවුලේ අය ඉදිරියේ නිතරම ඇගේ ගුණ සහ යහපත පමනක් කතා කිරීම ඔබේ වගකීමක්.

ඔබේ සහෝදරියෝ හරි අම්මා හරි ඇයට දොස් නැගුවොත් ඇයට හරියට ළමයි හදන්න බැහැ කියල. ඔබ කළ යුත්තේ “ අනේ අම්ම එහෙම කියන්න එපා. එයා ඉතින් රස්සාවට ගිහිල්ලත් මහන්සි වෙනවනේ. අනික අම්මලාගේ කාලේ වගේ නෙවෙයි දැන් දරුවෝ හදන්න ඕනේ අලුත් ක්‍රමේට……….ඒ වගේම අම්ම ඉතින් අම්මගේ දරුවෝ හැදුවනේ. එයාට කැමති විදිහට එයාගේ දරුවෝ හදා ගන්න දෙන්නකෝ “…වගේ වචන වලින් නිතරම ඇයට සුරක්ෂිත බවක් ලබා දිය යුතුයි.


3) බිරිඳට ගරු නොකරද්දී ඔබට වෙන විපාක

ඔබ බිරිඳට නිසි ගෞරවය දෙන්නේ නැත්නම් වෙන්න පුළුවන් අවැඩ මෙහෙම කියන්න පුළුවන්. පලමුව ඇය දුක් වෙනවා. ඇගේ ආත්ම විශ්වාසය පලුදු වෙනවා. එවිට කිසිම දෙයක් සාර්ථකව කර ගන්න මානසික මට්ටමක් බිරිඳට නැති වෙනවා. ඕනෙම කෙනෙක් සාර්ථක වෙන්න ආත්ම විශ්වාසය ලොකු හේතුවක්.

ඒ වගේම මා හොඳින් දැක තිබෙනවා බිරිඳක් වෙන කෙනෙක් එක්ක පැනලා ගියපු, අනියම් සබඳතා පවත්වපු ස්ථාන වල බොහෝ විට ප්‍රශ්නයේ මුල ඉන්නේ ස්වාමියා. ඇයට නිසි ගෞරවය, ආරක්ෂාව නොලබෙද්දී තව කෙනෙක් වෙතට තල්ලු වෙන එක හරිම ස්වාභාවිකයි. බයිබලයේ තිබෙනවා තමන්ගේ ලිඳේ ඇති ජලය බොන්න නැත්නම් ලිඳ උතුරලා ළඟ තිබෙන වතු වලට යනවා කියල. එහි තේරුම ඔබේ බිරිඳගේ ආදරය නිසි ලෙස විඳින්නේ නැති වෙද්දී, ඇයට ඒ ආදරය දෙන්න පසුබිමක් නොහදද්දී ඇයගේ ප්‍රේමය වෙන වෙන තැන් වල යනවා. පසුව දහ අතේ සාප කරලා වැඩක් නැහැ. පළමුව ඇයට ඇවැසි ආදරය සහ ගෞරවය දෙන්න.

ඒ වගේම ඔබේ දරුවෝ උනත් ඉගෙන ගන්නේ ඔබෙන්. ඔවුන් වුනත් ලොකු වෙලා ජීවිත අවුල් කර ගනීවි ඔබ නිසි ලෙස ඔවුනට ආදරය කරන පිලිවෙල කියා නොදුන්නොත්.


4) ඇයට නිසි ගෞරවය දෙන්නේ කොහොමද?

ඔබ සැම විටම භාර්යාව ට ආදරෙන් ආමන්රණය කරන්න. නරක වචන වලින් කොහෙත්ම කතා කරන්න එපා. අපි ජීවත් වෙන කෙටි කාලේ මොකටද නපුරු වදන් කතා කරන්නේ? විශේෂයෙන්ම මුළු ජීවිතේම ඔබ වෙනුවනේ කැප කළ කෙනා වෙනුවෙන්.

භාර්යාවට ඇති ප්‍රශ්න ගැටළු වලට සවන් දෙන්න. ඔබ සවන් දෙන්නේ නැත්නම් කවුද ඇයගේ ප්‍රශ්න වලට සවන් දෙන්නේ?

ඇයගේ අදහස් පවුලේ වැඩ වලදී ලබා ගන්න. දෙන්නා සාකචචා කරලා හැමදේම කරන්න.

ඇය ලස්සන බව, ඇගේ වැඩ වල ඇති යහපත් දේවල් ඇය ඉදිරියේ, ඒ වගේම පිට අය ඉදිරියේ වර්ණනා කරන්න. මේකට මුදලක් වැය වෙන්නේ නැහැ. තව තව සැලකිලි ඔබට ලැබේවි.

ඇය ඔබව තෝරා ගත්තේ තව විශාල පිරිමි සංඛ්‍යාවක් ඉවත් කරලා. එහි ගෞරවය ඇයට දෙන්න. ඇයට ඇති දුබලතා අමතක කරන්න. ඔබත් සර්ව සම්පූර්ණ නැති බව නිතරම සිහියට ගන්න. ඔබ නිතරම ඇය ගේ පෙම්වතා කාලයේ ඇයට සැලකු ආකාරයෙන්ම සලකන්න උත්සහ කරන්න එවිට ඇයත් පෙම්වතිය කාලේ වගේම ජීවත් වේවි. ජීවත් වෙන කෙටි කාලයේ ලොකුම අරමුණ සතුටින් සිටීම නෙවේද?