පෙ
රුම් පුරාගෙන ආදරයෙන් බැඳෙන යුවලකට සදාකාලිකවම ආදරයෙන් බැඳිලා ඉන්න පුළුවන් නම් එය වාසනාවක්. ඒත් සමහර ආදර කතා නම් පහු පහු වෙද්දී කොහු වෙලා යනවා කියලා අපි හැමෝම දන්නවා. එහෙම නොවී ඔබේ ආදර කතාවත් සදාකාලිකව, වෙනසක් නොමැතිව පවත්වා ගැනීමට myfamily.lk වෙතින් සාර්ථක උපදෙස් 5ක් ඉදිරිපත් කරන්න අද තීරණය කළා.


1 අදහස් බෙදා ගැනීම

ආදර කතාවක් ප්‍රශ්න නොමැතිව ඉදිරියට ගෙන යන්න ඔබට උදව් වෙන දෙයක් තමයි සාර්ථක සන්නිවේදනයක් කියන්නේ. ඔබට යමක් ගැන හැඟෙන ආකාරය, ඔබට දැනෙන හැඟීම් ඔබේ සහකාරයාට නොසඟවා පැවසීමෙන් ඔබේ සහකරුට ඔබව තේරුම් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනවා. එහෙම නැතුව ඔබට හිතෙන දේවල් සඟවාගෙන ඉඳලා, ඔබේ සහකරු ඔබව තේරුම් ගත යුතු යැයි ඔබ සිතනවා නම් එය සිදු වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ඔබත් ඔබේ සහකරුව හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කල යුතුයි. ඔබේ සහකරු ඔබට යමක් කියනකොට එයට හොඳින් සවන් දෙන්න. ඔබේ සහකරු ඔබට යමක් පවසද්දී ඔබ ෆෝන් එක දිහා බලාගෙන අනවධානයෙන් සිටිනවා නම්, ඔබට ඔබේ සහකරුවාව නිවැරදිව තේරුම් ගැනීමට අවස්තාව ලැබෙන්නේ නැහැ.

 

2 ඉල්ලන්න කලින් දීලා බලන්න

සමහර පෙම්වතුන්ගේ අඩුපාඩුවක් තමයි අනිත් පාර්ශවයෙන් තමන්ට ලැබෙන්නේ කොයි වගේ ආදරයක්ද යන්න නිරීක්ෂණය කරලා, ඒ ප්‍රමාණයට ගැලපෙන්නට ආදරය ලබා දීම. සාමාන්‍යයෙන් නම් ආදරයක් කොන්දේසි විරහිත විය යුතුයි. ඒත් බහුතරයක් පෙම්වතුන් තමන්ගේ  ආදරයට කොන්දේසි දා ගන්න ගිහින් වැඩ වැරැද්ද ගන්නවා. අනෙකා තමාට වියදම් කරන ප්‍රමාණය, තමාට ලබා දෙන ත්‍යාගයේ වටිනාකම බලලා එයට ගැලපෙන්නට ආදරය කිරීම සුදුසු නැහැ. ආදරය දිනා ගත හැකි හොඳම සහ පහසුම ක්‍රමය ආදරය ලබා දීමයි. ඔබ වැඩියෙන් ආදරය ලබා දෙද්දී, ඔබට අඩුවෙන් ආදරය කරන්නෙකු පවා ඔබට තවත් ආදරය ලබා දීමට පෙළඹෙනවා ඇත.

 

3 විශ්වාස කිරීම සහ නිදහස ලබා දීම

සමහර පෙම්වතුන් අනිත් කෙනාට කිසිම නිදහසක් නොදී කොටු කර තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ ඔවුන්ට අනෙකාව විශ්වාස නැති නිසයි. එහෙම නැති නම් වැඩි ආරක්ෂාව පිණිස කියමින් අනෙකාට නීති දැමීමට පෙළඹෙනවා. බොහෝ විට එය අනෙකාට දැනෙන්නේ කරදරයක් ලෙසයි. ප්‍රේමය ඇරඹුණු මුල් කාලයේදී නීති පිළිපදින්නට උත්සාහ කලත් පසුකාලීනව එය කරදරයක් බව හැඟී ප්‍රේමය නිමා කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙනු දකින්න පුළුවන්. මේ නිසා  අනෙකාව විශ්වාස කරන්න. ඔබත්, ඔබේ සහකරුත් එක පුද්ගලයෙකු නොව පුද්ගලයන් දෙදෙනෙකු බව වටහා ගන්න. තවකෙකුගේ නිදහස සීමා කරන්නට යාම සිත් බිඳීම් ඇති වීමට ප්‍රධානතම හේතුවක් වෙනවා. තමන්ගේ සහකරු තමන්ව සැක කරන බව දැනෙනා විට සිත් රිදවීම් ඇති වෙනවා.

 

4 වැරදි සිදු වීම සාමාන්‍ය දෙයක් බව වටහා ගැනීම

අප ඕනෑම කෙනෙකු අතින් වැරදි සිදු වීම ඉතාමත් සාමාන්‍ය දෙයක්.පරිපුර්ණ පුද්ගලයන් මේ ලෝකය තුල ජිවත් වෙන්නේ නැහැ. නමුත්,බොහෝ පුද්ගලයන් මේ බව දැන දැනම තමන්ගේ සහකරු තුලින් පරිපුර්ණත්වය සොයනවා. සුළු වරදක් වූ විට, එය ගැන ඕනාවට වඩා සිතනවා. තවකෙකුගේ සුළු අඩුපාඩුවක්වත් ඉවසිය නොහැකි පුද්ගලයා නිතරම ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙනවා. ඔබේ සබඳතාවය තුල ඔබ මේ අඩුපාඩුව සිදු කරනවා නම්,එය බිඳී යාමට ඇති අවදානම වැඩියි. මේ නිසා ඔබේ සහකරු දෙස සාමාන්‍ය මනුෂ්‍යයෙකු දෙස බලනා ආකාරයෙන් බලන්න.ඔබේ සහකරුගේ සුළු සුළු වැරදි අඩුපාඩු වලට සමාව දෙන්න.නිතරම කාරුණික වන්න.  

 

5 ප්‍රශ්න විසඳා ගන්න නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්න

ප්‍රශ්න ඇති නොවන සබඳතාවයක් නැති බව ඔබ දන්නවා. බොහෝ ආදරයෙන් වෙලී  යුවලවල් අතරත් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඔවුන්ගේ සදාකාලික ආදරයේ රහස ඔවුන් ඒවා විසඳා ගැනීමට නිවැරදි  ක්‍රමවේදයන් අනුගමනය කිරීමයි. කෝපයෙන් ප්‍රශ්න විසඳීමට නොයා කෝපය නිවෙන තුරු සිටීම, සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම මේ නිවැරදි ක්‍රමවේදයන් වෙනවා.

 


SHARE