වි

වාහය කියන්නේ නීති පොතට පමණක් සීමා වුනු දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ ප්‍රායෝගිකව ඔබ මුහුණ දිය යුතු දෙයක්. ඉතින් සැමියෙක් විවාහය නම් බැඳීම ඇතුලේ හැසිරෙන ආකාරයෙන් පවුලේ සමඟිය සහ ආදරණිය බව අඩක්ම තීරණය වෙනවා කිව්වොත් නිවැරදියි. මේ නිසා අද අපි තීරණය කළා පිරිමි පාර්ශවයට වැදගත් වෙන මේ ලිපිය ඉදිරිපත් කරන්න. ඔබ ළඟ මේ ගතිගුණ  නැති නම් ඔබට පුළුවන් මේවා ඔබේ ජිවිතයට එකතු කර ගන්න.



1 තමාට ආදරය කිරීම

හොඳ සැමියෙක් දන්නවා තමන්ගේ බිරිඳට ඉන්න ලොකුම සම්පත තමන් කියලා. බිරිඳට ආදරය කරන එක, බිරිඳව ආරක්ෂා කරන එක තමන්ගේ වගකීමක් කියලා ඔවුන් දන්නවා. ඉතින් ඔවුන් කවදාවත් තමන්ව අනතුරේ හෙලාගෙන තමාගේ බිරිඳගේ ජීවිතය අනාරක්ෂිත කරන්නේ නැහැ. බිරිඳට සැබෑ ලෙසටම ආදරය කරන සැමියෙක් තුල මත්පැන් පානය කිරීම, දුම්වැටි භාවිතය වැනි අනාරක්ෂිත පුරුදු නැහැ. මොකද ඔවුන් දන්නවා තමන් අසනීප වුනොත් එය තමන්ගේ බිරිඳට සිදු වන මහත් වූ හානියක් කියලා.

2 තමන්ගේ බිරිඳට ආදරය කිරීම

හොඳ සැමියෙක් තමන්ගේ බිරිඳට අවංකවම ආදරයෙන් බැඳෙනවා. ඔබ ඔබව රැක බලා ගන්න විදිහටම ඔබේ බිරිඳවත් රැක බලා ගත යුතුයි. ඔබ ඔබට රිදව ගන්නේ නැහැ නේද? එහෙනම් ඔබ කිසිම මොහොතක ඔබේ බිරිඳට රිදවන්නත් එපා. යම් සැමියෙකු තමන්ගේ බිරිඳට පහර දීම, බැන වැදීම සිදු කරනවා නම් ඔහු යහපත් සැමියෙකු නොවේ.

3 බිරිඳ පිසින ආහාර රස විඳිනවා

බහුතරයක් ස්වාමි පුරුෂයන්ගේ වරද තමයි තමන්ගේ බිරිඳගෙන් සර්ව සම්පුර්ණ කෝකියෙකුගේ චරිතය බලාපොරොත්තු වීම. කෑම රස දවස් වලදී නිහඬවම ආහාර ගන්න ඔවුන්, කෑම වල රස අඩු වුනු දවසකදී නම් තමන්ගේ බිරිඳට බැන වදිනවා. බිරිඳ දහසක් රාජකාරි කරන අතරතුරේදී ඉඳ හිට කෑම වල ලුණු අඩු වීම, පමණට වඩා රොස් වීම සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. බිරිඳ තමාට ලබා දෙන ආහාර විෂ සහිත නැති නම්, ඒවායෙන් තමාට හානියක් නොවන බව විශ්වාස නම් එහි ඇති සුළු සුළු අඩුපාඩු වලට අමනාප වන්නේ කුමකටද?

4 ඉවසීම ප්‍රගුණ කරනවා

බිරිඳගේ අඩුපාඩු වලදී, බිරිඳට අමනාප සිතක් පහල වන අවස්ථාවකදී ඉවසන්න හොඳ සැමියෙකුට හැකි වෙන්න ඕනේ. ඔසප් වීම, ගැබ් ගැනීම වැනි අවස්ථා වලදී කාන්තා සිරුරේ ඇති වන විවිධ හෝමෝන වෙනස්කම් වලට අනුව ඇගේ හැසිරීම් රටාව වෙනස් වෙන්න පුළුවන්. එවැනි අවස්තාවලදී ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනෑම ආදරණිය සැමියෙක් සමත් වෙනවා.

5 සැබෑ නායකයෙක් ලෙස පවුලේ සැමට මඟ පෙන්වනවා

ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ විට තිබෙන්නේ පිතෘ මුලික සමාජයක්. පවුලේ පියා නිතරඟයෙන්ම පවුලේ නායකයා බවට පත් වෙනවා. හැබැයි ආදරණිය සැමියෙක් මෙය අවස්තාවක් විදිහට භාර ගන්නේ නැහැ. දරුණු නායකයෙකු ලෙස පවුලේ සාමාජිකයන්ව පාගාගෙන ඉන්නට ඔවුන් පෙළඹෙන්නේ නැහැ. ඔහු පවුලේ නායකයා බවට පත් වන්නේ පවුලේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම හරහායි. තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරමින්, වචනයෙන් නොව ක්‍රියාවෙන් සැබෑ නායකයෙකුගේ කටයුතු ඉෂ්ඨ කරමින් පවුලේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනා ගන්නවා.

6 බිරිඳගේ නෑදෑයන්ට වෙනසක් කරන්නේ නැහැ

බිරිඳගේ දෙමව්පියන්ට හොඳ පුතෙක් වෙන්න, බිරිඳගේ සහෝදර කැලට හොඳ සහෝදරයෙක් වෙන්න ආදරණිය සැමියෙක් කවදාවත් පසුබට වෙන්නේ නැහැ.

7 අහංකාර වෙන්නේ නැහැ

සමහර පිරිමි තමන්ගේ බිරිඳට අහංකාරකම් පානවා. ගොඩක් වෙලාවට මේ වගේ පිරිමි කියන්නේ රැකියාවක් කරලා නිවසට මුදල් ගෙනත් දෙන්නේ තමන් නිසා තමන් අහංකාර වුනාට කමක් නැහැ කියලා. නමුත් අහංකාරකම් පාන්නට යාම නිසා දෙදෙනා අතර ඇති ආදරයේ ගුණාත්මක භාවය පලුදු වී යනවා.

8 සුවිශේෂී දිනයන් අමතක කරන්නේ නැහැ

කාන්තාවන් හරිම දක්ෂයි දින මතක තියාගෙන ඉන්න. ඇයට දෙදෙනා මුලින්ම හමු වුන දිනයේ ඉඳන් වර්තමානය දක්වා සිදු වූ හැම විශේෂිත සිදුවීමකම දිනයන් මතකයි. ඇය තමන්ගේ සැමියාගෙනුත් මේ මතක තබා ගැනීම බලාපොරොත්තු වෙනවා. නමුත් අවාසනාවකට පිරිමි මොලය මේ වගේ පුංචි පුංචි දේවල් මතක තියා ගන්න පුළුවන් විදිහට සැකසිලා නැහැ. නමුත් වර්තමානය වෙද්දී තාක්ෂනය දියුණුයි. ආදරණිය සැමියෙක්ට පුළුවන් තමන්ගේ දුරකතනයේ මෙවැනි සුවිශේෂී දින ගබඩා කර ගෙන අදාළ දිනයේදී ඇයට සුභ පතන්න.   


SHARE