ප්‍රේමය මිහිරි වුවත් එය කිසිදාක සර්වසම්පුර්ණ වන්නේ නැහැ. එයට හේතුව තමයි ප්‍රේමයේ පැටලෙන යුවල මනුෂ්‍යයන් වීම. අපි හැමෝම දන්නවා මනුෂ්‍යයන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. හැම මනුෂ්‍යයෙක් තුලම අඩුපාඩු අඩු වැඩි වශයෙන් තිබෙනවා. ඉතින් මනුෂ්‍යාගේ අඩුපාඩු ප්‍රේමයේ පිවිතුරු බවට අහිතකර ලෙස බලපානවා. ප්‍රේම කිරීමේදී කෙනෙකුගේ අඩුපාඩු නිසා, අනිත් කෙනාට අඬන්න වෙන්නේ ඒ නිසායි. එත් ඔබ අවබෝධ කර ගත යුතු දෙයක් තමයි අඩුපාඩු නොමැති මනුෂ්‍යයෙක් මිහිපිට නොමැති බව. ඔබ ප්‍රේම කිරීමට තෝරා ගත යුත්තේ අඩුපාඩු අවම පුද්ගලයෙක්වයි. හැබැයි ඔබ තෝරා ගත පුද්ගලයා තුල ඇති අඩුපාඩු දුටු විගස තවත් පුද්ගලයෙකු තුල ඒ අඩුපාඩුව නැති බව කියමින් දෙදෙනාව සංසන්දනය කරන්නට යන්න එපා. අනෙක් පුද්ගලයා තුල ඔබේ සහකරු තුල පවතින අඩුපාඩුව නැති වුනාට, වෙනත් බොහෝ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියක්.




ඇය අහිංසක යුවතියක්. ඇයගේ පෙම්වතා ඇයට හොඳින් සලකන, නිතරම ත්‍යාග ගෙනත් දෙන, දුකේදී සනසන තරුණයෙක්. නමුත් ඔහුගේ එක් අඩුවක් තිබුණා. ඒ ඇයට ඇගේ මිතුරු මිතුරියන් සමඟ ට්‍රිප් යාමට බාධා කිරීමයි. දහසක් ප්‍රශ්න අසනා ඔහු ඇයට අවසර දෙන්නේ ඉඳ හිටයි. ඔව්. ඇත්තටම නීති දමන පෙම්වතෙක් කරදරයක්. ඒත් ඇය ඔහුව අත හරිනවා නම් එය කල යුත්තේ හොඳ අවබෝධයකින්.

මේ ගැටලුව දැන ගත් තවත් තරුණයෙකු ඇයට කිට්ටු වුණා.

නමුත් අලුතින් පැමිණෙන මිතුරා ඇගේ ජිවිතයේ තිබුණු හිස් තැන පුරවන්න ගත්තා බොහොම ඉකමනට. ඒ කියන්නේ මේ වගේ කතා කියමින්.

“මම නම් කවදාවත් මගේ ගෑනු ළමයට ඔහොම නීති දාන්නේ නැහැ. කාන්තාවන්ට තමන් කැමති දේ කරන්නට අයිතියක් තියෙනවා.”

කාන්තා විමුක්තිය, කාන්තා අයිතිය වගේ බර බර වචන ඔහුගේ වචන තුල තිබුණා.

ඔව්, ඉතින් ඇගේ ජිවිතේ තිබුණු ලොකුම හිස් තැන/ සිත් තැවුල ඔහු මඟින් පුරවා ගත හැකි බව ඇයට දැනුනා.

හැබැයි ඇය අලුත් මිතුරාගේ අනිත් ගතිගුණ එකක් ගැනවත් දන්නේ නැහැ. කාන්තාවගේ තීරණ ගැනීමේ අයිතියට ඔහු ඉඩ දෙන බව විතරයි ඇය දෙන්නේ. ඇයට තමන්ගේ පෙම්වතා වෙනස් කිරීමේ තීරණය ගන්න, ඇයට ඔහුගේ ඒ එක ගතිගුණය (කාන්තාවගේ තීරණ ගැනීමේ අයිතියට ඔහු ඉඩ දීම) ඇති වුණා. ඇය ඔහු ගැන දන්නා ඒ එකම ගුණය පදනම් කරගෙන ඔහුව නව පෙම්වතා විදිහට භාර ගත්තා.

ඒත් මාසයක් ගත වෙද්දී ඇයට දැනුනා අලුත් පෙම්වතා ලඟත් හිස්තැන් කිහිපයක්ම ඇති බව. කලින් පෙම්වතා නිතර ඇයව හමු වන්න එන කෙනෙක්. නමුත් නව පෙම්වතා ඇයව බලන්න එන්නේ ඉඳ හිට. ඇය සමඟ සුරතල් කතා බහක යෙදෙමින් ආදරය කරන්න නව පෙම්වතා කැමැත්තක් නැහැ. ඔහු කිව්වේ ඒවා බොළඳ වැඩ කියලයි.

ඉතින් අවසානයේදී ඇය දැන ගත්තා, හැමෝම ගාව හිස් තැන් ඇති බව. එක් අයෙකු නිසා ජිවිතයේ ඇති වුනු හිස් තැනක් නැති කර ගන්න, තවත් හිස් තැන් සහිත මිනිසෙකුගෙන් නොහැකි බව ඇය අවබෝධ කර ගත්තා.

පළමු පෙම්වතා තමාට නොගැලපෙන බව ඇය විසින්ම අවබෝධ කරගෙනයි ඇය ඔහුව අත හරින්නට තිබුනේ. එසේ නොමැතිව තවකෙකුගෙන් ඒ හිස් තැන පිරවෙන ආකාරය දැක නොවේ.

ඒ වගේම තමයි, එකම කරදරයේ වැටුණු තරුණයකුගේ කඳුළු පිසින්නට පිරිස අඩු වුවත්, එම කරදරයේම වැටුණු තරුණියකගේ කඳුළු පිසින්නට ඕනෑ තරම් අය ඉන්නවා. මේ කඳුළු පිසීම අවංකව සිදු වෙනවා නම් වරදක් නැත. නමුත් අවාසනාව වන්නේ බොහෝ කඳුළු පිසීම් වල යටි අරමුණක් පැවතීමය.

ආදරය අඩුවෙන් ලබන, පෙම්වතා සමඟ ගැටළු ඇති යුවතියන්ට උපකාර කරන්නට, උපදෙස් දෙන්නට සහ සවිමත් කරන්නට බොහෝ අය පෙරමුණ ගනී.

ඉතින් හොඳින් මතක තබා ගන්න. “ප්‍රේමයේ හිස් තැන් පිරවීම බොහොම පරිස්සමින් කරන්න”

  • TAGS
  • 1
SHARE