චන වලට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඔබ නොසිතා කියන දේවල් වලින් ඔබේ සහකරුගේ හිත රිදෙන්න පුළුවන්. ඔබේ සහකරු හේතුවක් නැතිවම ඔබෙන් මඳින් මඳ දුරස් වන බව ඔබට දැනෙන්න පුලුවන්. මොන තරම් කල්පනා කළත් ඔබෙන් වුණු අඩුපාඩුව ඔබට හිතා ගන්න බැරුව ඇති. ඒත් සමහරවිට මේ දුරස් වීම පිටුපස තියෙන්නේ ඔබ දුර දිග නොබලා පිට කළ වචනයක් වෙන්න පුළුවන්. ඒ නිසා වචන පිට කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කතා කරන එක තමයි සුදුසු. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




ඔය ඇඳුම ඇන්දම ඔයා මහත පාටයි. හරිම කැතයි.

කවුරුත් කැමති නෑනේ තමන්ගේ පෙනුම කැතයි කියලා කියනවට. ඇත්තටම ඔබට කියන්න ඕනේ ඒ ඇඳුම ඔබේ සහකරුට ගැලපෙන්නේ නෑ කියලා. ඒත් ඔබ ඒ අදහස ඔය වචන වලින් කිව්වම අනිත් කෙනාගේ හිතට යන්නේ තමන් අවලස්සනයි කිව්වා වගේ හැඟීමක්. ඒ වෙනුවට “ඔය ඇඳුමට ඔයාගේ ලස්සන පේනවා මදි. අර ඇඳුමට නම් ඔයාගේ හැඩ හොඳට පේනවා.” වගේ දෙයක් කියන්න පරිස්සම් වෙන්න.


ඔයාට වෙන කවුරු හරි ඇති.

විවිධ හේතු නිසා මිනිස්සු කාර්යබහුල වෙනවා. කාර්යාලයේ වැඩ, එදිනෙදා ගැටළු වල පීඩනය එක්ක ඔවුන්ගේ අවධානය තමන්ගේ සහකරුගෙන් මිදෙනවා. ඇත්තටම ඒ ආදරයේ අඩුවක් නෙවෙයි. කාර්යබහුලත්වය සමඟ සිදු වූ තාවකාලික ඈත් වීමක්. ඉතින් කාලයත් එක්ක සමහරුන්ට දැනෙන්න ගන්නවා දෙන්නා අතර පෙර තිබූ සමීප බව දැන් නැති බව. ඉතින් ඊට පස්සේ ඒ හැඟීම දැනුන කෙනා අනිත් කෙනාට ලං වෙන්න හදනවා.

“ඔයා ඉතින් දැන් මට ආදරේ නෑනේ. ඔයාට වෙන කවුරු හරි ඇති.”

ඒත් ඔබ අනෙකාට ලං වෙන්න උත්සාහ කරන්නේ මේ වගේ දේවල් කියලා නම්, අනිත් කෙනාට මේ වචන ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ දෙදෙනා තව තවත් දුරස් වීමයි.


ඔයාට මම ආදරෙයි කියා කියා හැම වෙලේම කිය කිය ඉන්න ඕනෙද ?

විවාහයෙන් පස්සේ ආදරය ප්‍රකාශ කිරීම ගොඩක් අය අතපසු කරනවා. ඉතින් “ඔයා මට ආදරෙයිද?” කියලා එක්කෙනෙක් අහද්දී, අනිත් කෙනා “ඔයාට මම ආදරෙයි කියා කියා හැම වෙලේම කිය කිය ඉන්න ඕනෙද ?” වගේ උත්තරයක් දෙන එක සුදුසු නැහැ.

මීට අමතරව තමන්ගේ සහකරු ආදරය ගැන කතා කරද්දී, “නාකි සමයන්, මළ සමයන්, පිස්සුද” වගේ උත්තර දෙන අයත් ඉන්නවා.

ආදරය ගැන කතා කරන්න, ප්‍රකාශ කරන්න නියමිත වයසක් හෝ කාලයක් නැහැ.


ඔන්න ඉතින් පටන් ගත්තා.

බිරිඳ ආසයි සැමියා එක්ක දොඩමළු වේවි ඉන්න. ඒක කාන්තාවකගේ අහිංසක ආශාවක්. ඒත් සැමියා “ඔන්න ඉතින් පටන් ගත්තා, කන්කරච්චලේ” වගේ දෙයක් කිව්වොත් බිරිඳගේ හිත බිඳෙනවා. තමන්ගේ හැඟීම් සහ අසනීප හිර කරගෙන, හංග ගන්න ගොඩක් බිරින්දෑවරු පෙළඹෙන්නේ මේ වගේ වචන වලින් ඇගේ හිත තුවාල වුනාමයි.

ඇතැම් විට මේ වරද බිරිඳගේ අතින් සිදු වෙන අවස්ථාත් නැතුව නෙවෙයි. සැමියා තමන්ගේ ගැටළුවක් ගැන කියන්න හදද්දිම, මේ වගේ වචන පාවිච්චි කරලා ඔහුගේ කට වස්සවන කාන්තාවනුත් ඉන්නවා.


ඔයාව බැන්දට වැඩිය හොඳයි මම ගෙදරින් කියපු කෙනාව බැන්දානම්.

ළඟම ඉඳන් ආශ්‍රය කරන කෙනාගේ වැරදි අඩුපාඩු පෙනුණාම වෙන කෙනෙක්ව බැන්දානම් කියලා හිතන මිනිස්සු ඉන්නවා. හිතනවා විතරක් නෙවෙයි, ඒ වචන තමන්ගේ සහකරුට කියලා එයාගේ හිත හොඳටම රිදවනවා. ගොඩාක් අය තමන්ගේ සහකරුගේ අඩුපාඩුවක් දැක්කම, මේ විදිහේ වචන පාවිච්චි කරන්නේ එයාව හදා ගන්න. ඒත් ඒකෙන් වෙන්නේ සහකරුගේ හිත සම්පුර්ණයෙන්ම බිඳිලා යන එක.


ඔයා කවද්ද හරියට වැඩක් කළේ ?

දවසට මනුස්සයෙක් වැඩ රාජකාරි මොන තරම් කරනවද ? ඒ වැඩ වලින් සමහරක් වැරදුණා කියලා, හැම වැඩේම වරද්දනවා කියලා චෝදනා කරන එක ගොඩාක් හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ දරුවෝ එක්කත් අනිත් කෙනාව විවේචනය කරනවා.

“ඔයාලගේ අම්මා කවද්ද හරියට රහට බතක් ඉව්වේ?”

“ඔයාලගේ තාත්තා කවද්ද ගෙදර වැඩකට උදව් කළේ?”

මේ වගේ දේවල් වලින් දරුවන්ගේ හිත් වලටත් විෂබීජ ඇතුළු වෙනවා. දරුවෝ ඉස්සරහා විවේචනයට ලක් වීම නිසා ඔබේ සහකරුගේ සිතේ ඔබ ගැන නොරිස්සුමක් ඇති වෙන්න පුළුවන්.

  • TAGS
  • 3
SHARE